Monday, May 14, 2012

විසි වසරකට පසු.....





 වර්ෂය 1992........

එය රණසිංහ ප්‍රේමදාස විසින් මේ රට පාලනය කළ යුගයයි. තමන් "වන් මෑන් ෂෝ" පාලකයෙක් බව ප්‍රසිද්ධියේ පැවසූ ප්‍රේමදාස අනෙකුත් සියළු මැති ඇමැත්තන් නිකමුන් ලෙස තබාගෙන ඒකාධිපති, අත්තනෝමතික සහ මර්දනකාරී පාලනයක් පවත්වාගෙන ගියේය.

ජේවීපී භීෂණය අවසන් වී තිබුනද, රාජ්‍ය භීෂණය නැවතී නොතිබුණි.ආණ්ඩුවට විරුද්ධව කට ඇරීමට පවා මිනිසුන් බියවූහ. නිල නොලත් රාජ්‍ය මැර හමුදාවලින් පැහැර ගැනීමට හෝ ඝාතනයට ලක්වීම විරෝධය පෑම්වලට ලැබෙන ප්‍රතිචාරය විය.
 
රිචඩ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණි.

ඒ.ජේ. රණසිංහ බඳු ජනපති සුරතලුන් "ජනාධිපතිගේ සෙරෙප්පු සුප් පවා බොන්නෙමි" යි වාචාලකම් දොඩමින් හිතූ හිතූ ලෙසින් පිස්සු නටමින් සිටියෝය.

ඒ අතර ප්‍රේමදාස පුත් සජිත් රාජ්‍ය බලය යොදා ගනිමින් රට පුරා නිධන් හාරන බවට කටකථාද පැතිරෙන්නට වී

රටේ යම් යම් සංවර්ධන වැඩ කටයුතු නොකෙරුණේ යැයි පැවසිය නොහැකි මුත් මිනිසුන් බියපත් කරගෙන පාලනය ගෙනයමින් කරන සංවර්ධනය කෙරෙහි ජනතාවගේ ප්‍රසාදයක් නම් නොවීය.


සාමාන්‍ය ජනතාවට පමණක් නොව විපක්ෂයේ ප්‍රබල තනතුරු හිමිකරගෙන සිටි දේශපාලන නායකයන් කියා ගත්තවුනටද මේ තත්වයට එරෙහි වීමට නිර්භීතකමක් නොතිබුණි. විපක්ෂයේ බල බිඳී තිබුණි. ඔවුන්, ඔවුනොවුන් අතර බල අරගලයේ නිරතව සිටියහ.







 ඒ මොහොතේදී සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොබියව ඉදිරියට පැමිණියේය.සැබෑ නායකයන්ට වැඩ කිරීමට, ප්‍රබල තනතුරු අනවශ්‍ය බැව් ඔහු ඔප්පු කළේය.විපක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් වූ බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, ඒකාධිපතිවාදයට හා රාජ්‍ය භීෂණයට එරෙහි ජනතා විරෝධය කුළු ගැන්වීමට  කතරගම පාද යාත්‍රාව සංවිධානය කිරීමට පෙරමුණ ගත්තේය.

1992 මාර්තු 16 දා කොළඹින් ඇරඹි පාද යාත්‍රාව දින 19 ක් ගමන්කර කතරගම ට පැමිණියේය.රාජ්‍ය මර්දනයට විරෝධය පෑම පාද යාත්‍රාවේ ප්‍රධානම සටන් පාඨය විය.

එය ජනතාව පිබිදවීය. බියපත්වී, මුළුගැන්වී සිටි සාමාන්‍ය ජනතාවගේ බිය දුරුකර ඔවුන්ගේ විරෝධය එළිපිට ප්‍රකාශ කිරීමට, පාරට බැසීමට තරම් නිර්භීතබවක් ඔවුන්ට එන්නත් කළේය.


විය යුතු පරිද්දෙන්ම මේ නිර්භීත නායකත්ව භූමිකාව හේතුවෙන්, ප්‍රාදේශීය නායකත්ව භූමිකාව ඉක්මවා ජාතික මට්ටමේ නායකයෙක් ලෙස ජනතාව අතර පිළිගැනීම ලැබීමට බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සමත් විය.

ප්‍රබල යූ.ඇන්.පී ආණ්ඩුවට එරෙහි ජන පෙළ ගැස්මේ ඇරඹුම එය විය.....



 -------------------------------------------------------------------------------------------
 වර්ෂය 2012........




 "ඉතිහාසය චක්‍රීය" යැයි කවුදෝ පඬිවරයෙක් කියා ඇත.


1992 සහ 2012 සංසන්දනය ඔබට බාරය. 
 
ප්‍රේමදාස පාලනය තරම් දුරකට මහින්ද පාලනය ගොස් නැතැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.
 
ප්‍රේමදාස සතු නොවූ පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ද, 
ජනපති ධූරය දැරීමට හැකි වාර ගණන දෙකක් දක්වා වූ සීමාව ඉවත් කරගෙන තිබීමද ,
දේශපාලන බලය සියළු අතින් මිටි කරගත් පවුලක ශක්තියද සැලකූ විට
මහින්දගේ බලය ප්‍රේමදාසගේ බලය ඉක්මවා යන්නකි. 



ශ්වේත වර්ණ වෑන්,
බල රහිත කෙරුණු මැති ඇමති නිකමුන්,  
එක්නැළිගොඩ බඳු අතුරුදන් වන මාධ්‍යවේදීන්,
හඬක් නැති, බල බිඳුණු විපක්ෂය, 
මර්වින් බඳු ජනපති සුරතලුන්ගේ අමන ක්‍රියා වලට අමතරව
දැන් නිදන් හෑරීමත්...


වසර 20 කට පසු අප සිටින්නේ යළිත් පාද යාත්‍රාවක් අවශ්‍ය පසුබිමකද?


 

3 comments:

  1. එක් එක් නායකයා සැසදීමේදී ඔහු කල කී දෑ වල විශාලත්වය සංසන්දනය කල යුත්තේ අදාල පාලන සමයේ පවතින තත්වයන් මත ප්‍රක්ෂේපනය කිරීමෙනි. ප්‍රේමදාස මහතා රට භාරගත්තේ සිවිල් යුද්ධය රට පුරා පැතිරී තිබූ සමයකය. දකුණේ පැවති යුද්ධය 94වනවිට මුළුමනින්ම අවසන් වූ අතර උතුරේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය(දේශපාලනිකව) මහින්ද මහතාට හිමිවිය යුතුය.

    ඔබ ඉහතින් සදහන් කර ඇති කාරණා, නායකයන් දෙදෙනා සමග සංසංදනයේදී පේමදාස මහතා තරම්ම වත්මන් ජනාධිපතිතුමාට අදාල චෝදනා කලහැකිය.

    එහෙත් රටේ සිදුවන වංචා, දූෂණ සහ සෑම ක්ෂේත්‍රයකම පවතින දේශපාලන මැදිහත්වීම සැලකීමේදී නිදහසින් පසු බිහිවූ අසාර්ථකම ආණ්ඩුව මෙය බව මගේ හැගීමයි.

    ReplyDelete
    Replies
    1. @රාජ්: උතුරේ යුද්ධය ජයගත් මහින්දට වීරයෙකුගේ ප්‍රතිරූපය හිමි වූවද, දකුණේ යුද්ධය ජය ගත් ප්‍රේමදාසට උරුම වූයේ දුෂ්ටයෙකුගේ ප්‍රතිරූපයයි.පරාජය වූයේ අවිගත් දෙමළ තරුණයාද නැත්නම් අවිගත් සිංහල තරුණයාද යන කාරණය මේ ප්‍රතිරූප වෙනස තීරණය වූ සාධකය විය.

      Delete
  2. ඉතිහාසය නැවත සිදුවේ කියන එක ඉතිහාසය තුළින්ම ඔප්පු වෙලා තියෙන දෙයක්. නමුත් ඒ දේ සිදුවී අවසානයක් වෙනකම්ම මහජනතාවට ඒක නොතේරෙන එක තමා ගැටළුව

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days