Tuesday, March 19, 2013

ඇත්ත සිදුහත්....!!!





බුදු දහම නිදහස් චින්තනය අගය කරන දර්ශනයක්.විශ්වාසයෙන් යුතුව ඇදහීමකට වඩා කරුණු නුවණින් විමසා බැලීමට මඟ පෙන්වන්නක්.නමුත් බෞද්ධ වූ පමණින් සෑම කෙනෙක්ම මේ නිදහස් චින්තනයට හුරුවක් නැහැ. සාම්ප්‍රදායිකව එන දෙය ඒ ලෙසටම බාරගන්න අය වැඩියි, තමන් විසින්ම නුවණින් විමසා බලන්න පෙළඹෙන අයට වඩා.

සිදුහත් චරිතය සහ බුද්ධ චරිතය හැදෑරීම කෙනෙකුට විශාල බුද්ධිමය ආස්වාදයක්,ජීවිත අවබෝධයක්, ආදර්ශයක් ගෙනදෙන කාර්යයක්.නමුත් පොත් පත්වල ඇති මේ චරිත කථාවල අඩුපාඩු ගොඩක් තියෙනවා. භක්තිය විසින් එකතු කළ සාහිත්‍යමය කොටස් වලින් නියම චරිත කථාව වැසී ගිහින්. යථාර්තවාදීව සිදුහත් චරිතය දිහා බලන්න, හදාරන්න එය බාධාවක්.

සැබෑවටම සිද්ධාර්ථ ගේ ජීවිත කථාව කෙබඳු වන්නට ඇත්ද? මාටින් වික්‍රමසිංහයන් සිදුහත් චරිතය  නවකථාවකට නැඟුවා. ඒ "බවතරණය". එය නිර්මාණයක්. පැරණි පොත පතේ සඳහන් දේ හදාරා ඒ අනුවත් සිය පරිකල්පනයෙන් මැවූ සිදුවීම් ඇසුරිනුත් වඩා යථාර්තවාදී සිදුහත් චරිතයක්   මාටින් වික්‍රමසිංහයන් විසින් "බවතරණයෙන්" අප වෙත ගෙන එනවා.

මෙය ලියැවී ඇත්තේ 1973 දී. මාටින් වික්‍රමසිංහයන්ගේ අවසන් නවකථාව.ඔහුගේ ලේඛක ජීවිතයේ වඩාත් පරිණත අවදියකදී තමයි ඔහු මේ බැරෑරුම් කාර්යයට අත ගසන්නේ.



මේ මාටින් වික්‍රමසිංහයන් ලියූ පෙරවදනින්...

"රහත් බව ලැබූ තෙරුන් අතර කැත්, බමුණු කුලවල ජනයා පමණක් නොව සැඬොලුන්, දාසයන් හා අපරාධකාරයන්ද වූ බව ථෙර ගාථාවලින් හා සූත්‍ර දේශනාවලින් හෙළිවෙයි. බුදුන්ගේ දහම නිසා පොදු ජනකාය අතර පිබිදුමක් හා විප්ලවයක්ද ඇතිවිය. සිදුහත් ගිහිගෙය හැරගියේ උපත,ජරාව, මරණය නිසා හටගත් කළකිරීමෙන් තමාගේ ආත්මය ගලවා ගැනීමට නොවන බව එයින් හෙළිවෙයි.කුලබේදය හා අසමාන සමාජ ජීවිතය ද නිසා අපමණ දුක් පීඩා විඳිමින් ජීවත්වන ජනකායට එකසේ උචිත මාර්ගයක් සොයනු පිණිස සිදුහත් ගිහිගෙය හැරගිය බවද මේ නවකථාවෙන් හෙළි කරන්නට මම වෑයම් කළෙමි."


------------------------------------------------------------------


මේ නිර්මාණයේදී යසෝදරා සහ සිදුහත් අතර වන අවබෝධය වඩාත් ගැඹුරු දෘෂ්ටියකින් විවරණය වෙනවා.

යසෝදරා නින්දෙන් අවදි වූ රහල් කුමරා වඩාගෙන සිප අනතුරුව කුඩා මවගේ දෝතෙහි තැබුවාය.

"පියා පුතාත් අම්මාත් හැර වල් වදින්ට යනවා" යි කියමින් ගෝතමී, සිනාසෙන බිළිඳාගේ කම්මුල සිම්බාය.


"පුතා ටිකක් ලොකු නම් පුතාත් එක්ක මමත් පියා සමඟ තපසට යනවා" කියමින් යසෝදරා සිනාසුණාය.

"අම්මා තමයි පියාට අනුබල දෙන්නේ" කියමින් ගෝතමී යසෝදරාව දෙස බැලුවේ අමනාපයෙනි.

"කුඩම්මා සිදුහත් සමඟ තුන් හතර දවසක් කථා කළහොත් ඔය අදහස් වෙනස් කරගනීවි" යි යසෝදරා කීවාය.


----------------------------------------------------------------------------

  අකුරැටියේ අමරවංශ හිමියන් පොත වෙනුවෙන් ලියූ පසුවදන...

"සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසී භාෂාවලින් ලියූ බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹු වන අයුරු ලියා තිබීම ආශ්චර්යජනකය.
         බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්ටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින් සුදුසුය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන් ඇතිකළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නෙකුට උගත හැකිය."

----------------------------------------------------------------------------- 

අහසේ සක්මන් කරමින්, නාසයෙන් කටින් ඇඟෙන් ජල කඳ ගිනිකඳ පිට කිරීම් වැනි  සිදුවීම්වලින් බුදුන්වහන්සේගේ ජීවිත කථාව පුරවා උන් වහන්සේ දෙවියෙකු, ඊශ්වරයෙකු කරන්නට තැත්දැරීම උන් වහන්සේට කරන නිගාවක්. 

 වඩාත් යථාර්තවාදීව බුදුන් වහන්සේව හඳුනා ගැනීම, ඇදහීමෙන් ඔබ්බට ගොස්, එතුමන්ගේ දර්ශනය වඩාත් ගැඹුරින් හැදෑරීමට අපට පෙළඹවීමක් ඇති කරනවා.

 

4 comments:

  1. මා දන්න කියන ආගම්, දර්ශන සලකලා බැලුවම, නිදහස් චින්තනයට, ගවේශණයට වැඩිපුරම රුකුල් දෙන දර්ශනය බුදුදහමයි. ඇත්තටම බුදුහාමුදුරුවන් යනු ලොව පහල වූ ශ්‍රේෂ්ඨතම නිදහස් චින්තකයා යනු මා ගේ විශ්වාසයයි.
    ඒතුමා සමකාලීන බොහෝ විශ්වාසයන් බොහොමකට එක එල්ලේ නිවැරදි අකාරයේ අභියෝගයක් එල්ල කල අතර සමහරක් ඇතැම් විශ්වාස සOකල්ප තම දර්ශනයට පවා ඇතුලත් කලා.ඒ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රේෂ්ටත්වයයි.
    මෙසේ නිදහස් චින්තනයට, ගවේශණයට , කපා කොටා බැලීමට තම ධර්මය විවර කිරීමට බුදුහාමුදුරුවන්ට හැකි වූයේ , එම ධර්මයේ තිබූ පැහැදිලිතාවය නිසාමයි..ඒ නිසා කොතරම් වෙනස් කිරීම් , ආදේශ කිරීම් , අලුත් විවරන ධර්මයට එකතු කලත් , පටිච්ච සමුප්පාදය හමුවේ මේ සියලු දුර්මත හිරු දුටු පිණි බිදු සේ වියලී යනවා..


    බුදුදහමේ නිදහස් චින්තනයට මේතරම් උදාහරන තියෙද්දී , දරදඩු නීතී, නිදහස් චින්තනය සීමා කිරීම් මගින් බුදුදහම ර්‍රැකගැන්මට යැයි කියා ඇතැම් පුද්ගලයන් දරන උත්සහයන් අනුකම්පාවට ලක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි මය්යා. බුදු දහමිනුත්, බුද්ධ චරිතයෙනුත් ජීවිතවලට එක්කරගත හැකි දේ අපමණයි. නිදහස් හා ස්වාධීන චින්තනය ඒ අතරින් ප්‍රධානම කාරණයක්.

      Delete
  2. සමහර දේවල් අතිශයේක්තයෙන් වර්නනා කරන්නේ එවන් විශේෂ පුද්ගයන් ගැන උසස් තත්වයෙන් කියවන්නා හෝ අසන්නා තුල ගෟරවයක් ඇතිකිරිම සදහායි. ඔබ සටහන් කළා වගේ අප කල යුත්තේ එහි හරය අධ්‍යාත්මික වශයෙන් වටහාගෙන ඊට අනුකූලව කටයුතු කිරිමය

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ ඇත්ත.විශේෂයෙන්ම මේ පොත පත ලියවුණු කාලවල ජනතාවගේ දැනුම, බුද්ධිය, අවබෝධය ට ගැලපෙන ලෙස මේ වර්ණනා ලියවුණා වෙන්නට ඇති. නමුත් වර්තමානයට ගැලපෙන්නට වඩා යථාර්තවාදීව, විශ්වාසනීයව බුද්ධ චරිතය ලියවෙනවානම් වටිනවා.මාටින් වික්‍රමසිංහ එය අපූරුවට ඉටුකොට තිබෙනවා.

      Delete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters