Monday, October 29, 2012

ගෞතම බුදුනි..මේ ඔබ වෙනුවෙනි...!



පෝය දවසේ බුදුන් වහන්සේ ගැන කල්පනා වුණා.එතුමන්ගේ ඉගැන්වීම් තියරටිකලි ගත්තාම ඉතාම ඉහළයි  විතරක් නෙමෙයි; බුද්ධ චරිතය හදාරණ කොට අර තියරි ඔක්කෝම ප්‍රැක්ටිකලි ඔප්පු වෙනවා.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අතරින් මා කැමතිම ඉගැන්වීම තමයි "අටලෝ දහමින් කම්පා නොවන්න" කියන එක.මේක ඉගෙන ගත්තේ පොඩි කාලේ දහම් පාසලෙන් සහ ඉස්කෝලේ බුද්ධාගම පාඩමෙන්. ඒ කාලේනම් මේවා ඉගෙන ගෙන මතකයට ගත්තේ බුද්ධාගම විෂයට ඉහළ ලකුණු ගන්න.නමුත් මේ දර්ශනයේ අගය වැටහෙන්නේ සමාජයේ ජීවත් වෙනකොට..සතුට සේම දුකද ප්‍රශංසාවන් සේම නින්දාවන්ද උරුම ජීවිතය විඳිද්දී.

ඕනෑම දෙයක් නොසැලී දරාගන්න අවශ්‍ය පදනම ලබාදෙන දැනුමක් විදිහට, මේක මටනම් මාරයි...

නිකම් දේශනාව විතරක් නෙමෙයිනේ; බුද්ධ චරිතය ගත්තත් ඒක ප්‍රායෝගිකව පේන්න තියෙනවානේ. කොයි තරම් ශ්‍රේෂ්ට, විශිෂ්ට මනුස්සයෙක් වුණත් ගෞතමයන්ටත් කොයිතරම් නින්දා, අපහාස, දුක් කම්කටොළු විඳින්න වුනාද ;ගෞරවයන්, ප්‍රශංසාවන් වාගේම.නමුත් කිසිවකට නොසැලී, සන්සුන් මනසින් උන් වහන්සේ ඒවාට මුහුණ දුන් ආකාරය තම දේශනාවට ප්‍රායෝගික වටිනාකම එක් කළා. තියරි එක වාගේම ප්‍රැක්ටිකල් වලිනුත් බුදු හාමුදුරුවෝ මේ විෂන් එකේ අගය ඉහළින්ම පෙන්වා දුන්නා.

තවත් කැමතිම තැනක් තමයි කාලාම සූත්‍රය.

"කාලාමයෙනි, යමක් ඇසූ පමණින් හෝ පොත පතෙහි සඳහන් වන්නේ යැයි කියා හෝ මෙය මෙසේ වීයැයි කියා හෝ පරපුරෙන් පරපුරට නොනැසී, නොසිඳී පැවත ආවේ යයි කියා හෝ තර්කය හේතු කොටගෙන හෝ න්‍යාය හේතු කොටගෙන හෝ මේ අපගේ ශාස්තෘවරයා විසින් දේශන කරන ලද්දකැයි ගුරු ගෞරවයෙන් හෝ නොපිළි ගත යුතුය.

එය නුවණින් මෙනෙහි කර ස්වීය චින්තනයට යොමු කර සත්‍ය යයි තමන්ට වැටහෙන්නේ නම් පමණක් පිළිගත යුතුය"

පූර්ණ නිදහස් චින්තනය පිළිබඳ මෙවන් ඉගැන්වීමක් කොයි තරම් ශ්‍රේෂ්ටද? බෞද්ධ දර්ශනය හෝ විවේචනය කිරීමට, එරෙහිව තර්ක කිරීමට බාධා පමුණුවා නැහැ.

මෙහි අගය කොතරම් දැයි වැටහෙන්නේ නිදහස් චින්තනයට ඉඩක් නැති, ආගමික/දේශපාලනික දර්ශන ගැන සිතා බලන කොට.

සාගරයක් වගේ විශාල බෞද්ධ දර්ශනයේ කථා කළ යුතු තැන් අසීමිතයි.

ඒත් අදට මේ ඇති :)

Sunday, October 21, 2012

"සංකාරා" ගෙනා ප්‍රසන්න ජයකොඩිගෙන් "කර්ම"...


ප්‍රසන්න ජයකොඩිගේ අලුත් සිනමා පටය පිළිබඳව ප්‍රචාරක පෝස්ටරයක් හදිස්සියේ නෙත ගැටුණි. ඉතින් "සංකාරා" මතකයට ඒම පිළිබඳව අමුතුවෙන් කිව යුතුද? අපූර්ව වූ රසයක් විඳි "සංකාරා" නිර්මාණය කළ ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයක් නම් නැරඹීමට දෙවරක් සිතිය යුතුද? එනිසාවෙන් අද හවස රීගල් සිනමා හලට ගොඩ වැදුනේ "කර්ම" විඳ ගන්නටය.




ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා ඉහළය."හොඳ සිංහල චිත්‍රපට" නරඹන්නට ඇත්තටම ලංකාවේ විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිති."සංකාරා" තුළින් ප්‍රසන්න ජයකොඩි ඇති කරගත් ප්‍රතිරූපය මෙයට ප්‍රේක්ෂකයන් ඇදගන්නට උත්තේජනයක් සපයන්නටද ඇත.

නමුත් මෙය ලියවෙන්නේ අසතුටෙනි. "කර්ම" නැරඹීමෙන් "හොඳ නිර්මාණයක් රස විඳීමේ" මගේ බලාපොරොත්තුව කඩවිය.[අවංකවම මෙය මගේ රස වින්දනයේ අඩුවක් විය හැක.තව කෙනෙකුට මෙය උසස් නිර්මාණයක් විය හැක. නමුත් මා ලියන්නේ මට හැඟුණු දෙයයි.]

මෙය "බලහත්කාරයෙන් සම්භාව්‍ය " කිරීමට තැත් දැරූ නිර්මාණයක් බවයි මටනම් හැඟුනේ. 




අඩු දෙබසින් යුතුව, රූප වලින් කථාව කීම ප්‍රසන්න ජයකොඩිගේ සිනමාව බව අපි "සංකාරා" හිදී අත් දැක්කෙමු.නමුත් එය මෙහිදී අපූර්වත්වය මවනු වෙනුවට "බොරු සම්භාව්‍ය" බවක් මවයි. 

මේ කථාව වුව ඇඟට දැනෙන ගතියක් නැත. අහසේ පාවෙන, හුදෙකලා, මුල් නැති, ඕපපාතික වැනි වදන්
භාවිතා වෙන්නේ මෙවන් නිර්මාණ වලට යැයි සිතමි.

නමුත් මෙය අගය කළ හැකි දෙයක් ඇත්තේම නැති වර්ගයේ චිත්‍රපටයක් නොවේ. නිර්මාණශීලී රූප රාමු, අපූර්වත්වයක් ගෙනෙයි. ආලෝකකරණයද,පසුතලද අගනේය.අලුත් නළු නිළියන් යොදාගැනීම අගය කළයුතුය.නමුත් විශේෂයෙන් අගය කළ හැකි මට්ටමේ රංගනයක් ගැන කිව නොහැක.[මිෂෙල් නම් ලස්සනය. එය වෙනම කථාවකි.:)] 

රූප රාමුවලින්ද, දෙබස් වලින්ද විටෙක "හඳගම" සිහිවෙයි.

ප්‍රසන්න ජයකොඩි සුවිශේෂි යමක් සිංහල සිනමාවට දායාද කළ හැකි නිර්මාණකරුවෙක් බවට සැකයක් නැත. තම මුල් නිර්මාණය "සංකාරා" තුලින් ඔහු එය ඕනෑවටත් වඩා ඔප්පු කළේය.විය යුත්තේ "සම්භාව්‍ය එක්ටැම් ගෙවල්" වලින් එළියට ඒමට හිත හදා ගැනීම පමණකි...!!

Popular Posts - Last 30 Days