Wednesday, March 23, 2011

සජිත්..........අනාගත නායකයෙක් ලෙස......



සජිත් ප්‍රේමදාස චරිතය වර්තමානයේ මුහුණදෙන දේශපාලන අවස්ථාව, 90 දශකය මුලදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මුහුණදුන් අවස්ථාවට යම් ආකාරයක සමානකමක් දක්වනවා..

සිරිමාවෝගේ නායකත්වය ආකර්ශනීය නොවී පැවතුන කලක, ශ්‍රි.ල.නි.ප යට නව නායකත්වයක් වුවමනා උනා. නොසෙල්විය හැකිව තිබූ යූ.ඇන්.පී. ආණ්ඩුව පරදවන්නට, අලුත්, ආකර්ශනීය තරුණ නායකත්වයක් එයට අත්‍යවශ්‍ය වුනා...

එයට ගැලපෙන චරිතය ලෙස මතුවූයේ චන්ද්‍රිකායි..බණ්ඩාරනායක නාමධාරී වීම ඇයගේ ප්‍රධානතම සුදුසුකමක් වුනා..ඇය මිනිසුන්ගේ ආකර්ශනය හා ජනප්‍රියත්වය දිනාගත්තා...ඉතා කෙටි කලකින් ඇය බලයේ හිණි පෙත්තට ලඟා වූවා...

නමුත් ගැටළුව වන්නේ ඇය ශ්‍රි.ල.නි.ප. යේ වුවමනාව වූ "පක්ෂය බලයට ගෙන ඒම" කියන කාරණයේදී සාර්ථක වුවත්, සම්ස්තයක් ලෙස රටට ඇගේ ආගමනයෙන් සිදු වූ යහපත කුමක්ද යන්නයි..

සාමය හා සමෘද්ධිය ගෙන එන්නට පොරොන්දු වූ ඇය ඒ දෙකෙන්ම අසාර්ථක වූවා..ඇය යුද්ධය ද ආර්ථිකය ද යන දෙකෙන්ම පරාජය වූවා...අන්තිමේදී 94-2005 වසර 11 ක් රට පාලනය කල ඇය, මේ රටට ඉතිරි කර ගිය සාධනීය ජයග්‍රහණ මොනවාද යන්න ඇත්තටම ගැටළුවක්....

සජිත්ව විමසිය යුත්තේ ද මේ පසුබිමෙනුයි...සජිත් ඉදිරියට ගෙන එන්නේම "දිනන්න පුළුවන් නායකයෙක්" අවශ්‍යයි කියන තර්කයෙනුයි..."පක්ෂය දිනවිය යුතුයි..පාක්ෂිකයා දිනවිය යුතුය.." යන්නයි සටන් පාඨය...නැතිව රට දිනවිය යුතුය යන්න නොවේ....

පරාජයෙන් හෙම්බත් වී ඇති යූ.ඇන්.පි යට අලුත් නායකත්වයකින් නව ජවයක් ලැබිය හැකි බව පිළිගත හැකි කාරණයක්...

එලෙසම අද තනි අශ්වයෙකුගේ රේස් එකක් බවට පත්ව ඇති මහින්දගේ දේශපාලන ගමනට, ප්‍රබල විපක්ෂයක අඩුව තදින් දැනෙන බව සිදුවන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග වලින් පැහැදිලිව පෙනී යන්නක්..
.
එබැවින් සජිත් යු.ඇන්.පී නායකත්වයට පත්වන්නේ නම් යු.ඇන්.පි ය පණ ගසා නැඟිටිනු ඇති බවටද..අලු ගසා දමා යු.ඇන්.පි ය ප්‍රබල විපක්ෂයක් ලෙස නැඟී සිටියහොත්, එය සාධාරණ සමාජ ක්‍රමයක් හා ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් අගයන ජනතාවගේ හිතසුව පිණිස වනු ඇති බවටද සිතන්නට පුළුවන්...

නමුත් මේ වගකීම දරන්නට තරම් සජිත් පරිණත හා දක්ෂ නායකයෙක්ද යන්න ගැටළුවක්...එය හරියටම චන්ද්‍රිකා ට ලබාදුන් අවස්ථාව වගේ වෙන්නට ඉඩක් තියෙනවා.....

Monday, March 21, 2011

ලෝක කුසලානයේ ඊලඟ පියවරට පෙර.....




කණ්ඩායම් තරඟ අවසන්..දැන් ඇත්තේ අර්ධ අවසන් පූර්ව තරඟ(Quarter Final)..බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල කීපයක් ලැබුනත්, දැන් යළිත් කණ්ඩායම් සියල්ල ආරම්භ වූ තැනටම ඇවිත් ඉන්නවා.......Quarter Final සඳහා වඩාත් පරිණත කණ්ඩායම් 8 තේරී තිබෙනවා..

ලකුණු සටහන







A කණ්ඩායමලකුණු B කණ්ඩායමලකුණු
පකිස්තානය 10 ද.අප්‍රිකාව 10
ශ්‍රි ලංකාව 09 ඉන්දියාව 09
ඕස්ට්‍රේලියාව 09 එංගලන්තය 07
නවසීලන්තය 08 බ.ඉ.කොදෙව් 06


මේ කණ්ඩායම් 8 ඇතුලට ඇතුලත් වීමට බංගලාදේශයට ඉතා විශාල අවස්ථාවක් තිබුනත් අවසාන මොහොතේදී එය නූලෙන් වැලකී ගියා.. මෙවර ලෝක කුසලානයේදී අත්දැකීම් අඩුයැයි සැලකෙන කණ්ඩායම් අතින් වඩාත් ප්‍රබල යැයි සැලකෙන කණ්ඩායම් පරාජය වීම හොඳ ප්‍රවණතාවයක්..ඉදිරි ලෝක කුසලානය වනවිට මෙම කණ්ඩායම් වලින් බංගලාදේශය, අයර්ලන්තය වැනි කණ්ඩායම් ප්‍රබල යැයි සැලකෙන කණ්ඩායම් අතරට එක්වී සිටීවියැයි බලාපොරොත්තු වන්න පුළුවන්...එය ලෝක කුසලානයේ තරඟකාරීත්වය තවත් වැඩි කරන්නට හේතුවේවි..

පසුගිය තරඟ දෙස බලන විට එංගලන්තය මුහුණ දුන් තරඟ සියල්ලම වාගේ සුවිශේෂි තරඟ වුනා..බලාපොරොත්තු විය නොහැකි ප්‍රතිඵල ගෙනා, ක්‍රිකට් විස්මය පිරුණු, ආකර්ශනීය තරඟ වුනා..පලමුව ඔවුන් ප්‍රබල ඉන්දියාව සමඟ වූ තරඟය ලකුණු 338 ක් හඹා ගොස් ලකුණු සමකරගෙන අවසන් කලා..ද.අප්‍රිකාව සමඟ තරඟයේදී ලකුණු 171 ක් පමණක් ලැබූ නමුත් ප්‍රබල ද.අප්‍රිකාව ලකුණු 165 කට දවාගෙන එය ජයග්‍රහණය කළා..නමුත් ඔවුන් බංගලාදේශය සහ අයර්ලන්ත වැනි අපරිණත කණ්ඩායම් අතින් පරාජය වූවා..අවසන Quarter Final ආවෙත් බ.ඉ.කොදෙව්. තරඟය යන්තම් ලකුණු 18 කින් දිනාගෙන..

මෙයින් පෙනෙන්නේ ප්‍රබල/දුර්වල හෝ පරිණත/ අපරිණත සාධකය මත ක්‍රිකට් අනාවැකි ඵල කිරීමේ දුෂ්කරතාවයයි..එදා දවසේදී හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායම සහ වාසනාව වැනි සාධක තමයි වඩාත් බලපෑවේ..

අනික් සුවිශේෂි කණ්ඩායම පාකිස්ථානයයි..ඔවුන් මුලදී ඉහලින් නම කියවුනේ නැති කණ්ඩායමක් වූවත් A Group එකේ ප්‍රබලයන් වූ ඕස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාවත් දෙකම පරාජය කර A Group එකේ පළමු තැනට පැමිණියා..

කෙසේ හෝ මෙවර තරඟාවලියේදී අපරාජිත කණ්ඩායම් නැහැ..සියළු කණ්ඩායම් එක් වරක් හෝ පරාජය වී තිබෙනවා..

දැන් තරඟාවලිය සියළු දෙනාට විවෘතයි..ඉහලින් ඇති කණ්ඩායම් 6න් ඕනෑම කණ්ඩායමකට ලෝක කුසලානය දිනිය හැකියි..(නවසීලන්තයට හා බ.ඉ.කොදෙව්වන්ට ඒ සඳහා ඇති ඉඩකඩ ඉතා අඩුයි..)


අර්ධ අවසන් පූර්ව තරඟ

මාර්තු 23 -:{A1-B4} පකිස්තානය - බ.ඉ.කොදෙව් [පකිස්තානය ]
මාර්තු 24 -:{A3-B2} ඕස්ට්‍රේලියාව- ඉන්දියාව [ඕස්ට්‍රේලියාව] ??
මාර්තු 25 -:{A4-B1} නවසීලන්තය - ද.අප්‍රිකාව [ද.අප්‍රිකාව ]
මාර්තු 26 -:{A2-B3} ශ්‍රි ලංකාව - එංගලන්තය [ශ්‍රි ලංකාව]

මෙහි ඕස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට අර්ධ අවසන් පූර්ව වටයේදී මුණ ගැසෙන්නට සිදුවීම ඉතා සුවිශේෂයි..ලෝක කුසලානය මෙවර දිනනවා යැයි ආරම්භයේදී ඉහලින්ම කියවුනු නම් දෙකක් මේ කණ්ඩායම් දෙක..දැන් ඉතින් ඉන් එකකට අර්ධ අවසන් වටයෙන්ම ගෙදර යන්න වෙනවා..:) [මගේ අනාවැකිය, ඕස්ට්‍රේලියාව ජයගනු ඇති බවයි]

ශ්‍රී ලංකා- එංගලන්ත තරඟයත් සුවිශේෂයි..එය ශ්‍රී ලංකාව ජයගැනීමේ සම්භාවිතාවය වැඩි නමුත්, එංගලන්තය මේ තරඟාවලිය පුරා දැක්වූ පෙරළිවල හැටියට, කිසිසේත් තරඟය සුළුවෙන් තකන්න බැහැ..

ක්‍රිකට් වලදී දක්ෂතාවය සේම වාසනාවත් වැදගත් සාධකයක් බව අප දන්නවා..වර්තමාන සැකැස්ම අනුව නම් අපට අවසාන තරඟයට යාමට වැඩි අවස්ථාවක් තිබෙන බව පෙනෙන්නට තියෙනවා..!!! [6493]

Monday, March 14, 2011

2011 අතරතුර...96 මතකය......"අර්ජුන රණතුංග" නම් ඔහු....!





"අර්ජුන රණතුංග".....එය අභිමානවත් නාමයක්..රටකට, ජාතියකට අභිමානය දිනාදුන් මිනිසෙක් ඔහු..96 ලෝක කුසලානය දිනීම සරලව ක්‍රිකට් දක්ෂතාවන්ට ලඝු කරන්නට බැහැ..ඒ පිටුපස වෙනත් බොහෝ දුක් කම්කටොළු, දුෂ්කරතා, අභියෝග තිබුනා..ඒවා ජයගන්නට මේ මිනිසාගේ අසහාය පෞර්ෂය, නායකත්වය ඉවහල් වූ බව කළගුන මතක ඇති අයෙකුට අමතක කරන්නට පුළුවන්කමක් නැහැ..[ ඔහුගේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරකම් හෝ 96 ලෝක කුසලානයෙන් පසු ඔහුගේ හැසිරීම් පිලිබඳව අපට කොතෙකුත් විවේචන තිබිය හැකි වුවත්..]


ඔහුගේ නායකත්වය අසාමාන්‍ය වූවක්.."කැප්ටන් කූල්" ඔහුව හැඳින්වූ අන්වර්ථ නම..ඕනෑම අසීරු හෝ දුෂ්කර මොහොතකදී හෝ ඔහුගේ සන්සුන්බව බිඳී ගියේ නැහැ..සමහර නායකයන් මෙන් අනිත් ක්‍රීඩකයන්ට කෑ ගහන චරිතයක් නෙමෙයි ඔහු..(මේ කාරණය නම් අපේ ක්‍රිකට් නායකයන් බොහෝ දෙනෙකුට අදාලයි..මේ දුර්වලතාවය බොහෝවිට දැකිය හැක්කේ පාකිස්ථානය, ඉන්දියාව වැනි රටවලයී)


තීරණාත්මක මොහොතවල් වලදී ඔහු තම තනි මතයට තීරණ නොගෙන කණ්ඩායමේ ජ්‍යේෂ්ටයන් සමඟ පිටිය මැද සාකච්චා කරමින් තීන්දු තීරණ ගැනීම එකල සුලබ දසුනක්..ඉතා තියුණු, තීරණාත්මක මොහොතවල්වල ඔවුන් එසේ එකමුතුව සැලසුම් සකසන විට නරඹන අපටත් දැනෙන්නේ පුදුම "මොරාල්" එකක්....බොහෝවිට පවතින අසීරු තත්වයන් අනිත් පැත්ත හරවන්නට ඒ සාමූහික තීරණ ඉවහල් වූ අවස්ථා බොහොමයි..


"සින්ගල්" දැමීමේ කලාව හොඳින්ම ප්‍රගුණ කළ අයෙක් අර්ජුන...කඩුළු බිඳ වැටී අසීරුතාවයට පත්වූ විට අර්ජුන බොහෝ විට ඉතිරි වන්නේ මැද පෙළ හෝ පන්දු යවන්නන් වන දුර්වල පිතිකරුවන් සමඟ...අර්ජුන කරන්නේ සෑම පන්දුවකටම වාගේ "සින්ගල්" එක දැමීමේ කලාව..විශාල පහරවලට යාමේදී මෙන් කඩුල්ල බිඳ වැටීමේ අවදානමත් අවමයි..නොදැනීම ලකුණු 5 ක්, 6 ක් ඕවරයට ලැබෙනවා.. මුලදී අති දුෂ්කර යැයි පෙනෙන ඉලක්කයට, අනිත් දුර්වල යැයි සැලකෙන පිතිකරුවන් සමඟ, අනිත් පිලටත් නොදැනීම වාගේ ඔහු ලඟාවී ඇති අවස්ථා විශාල ගනනක් තියෙනවා...අත දිගහැර පහර දී ඔල්වරසන් ලබනු වෙනුවට අර්ජුන බොහෝ විට තෝරාගත්තේ උපායශීලිව, සන්සුන්ව නමුත් ස්ථාවරව ජයග්‍රහණය කරා ගමන් කිරීමේ කලාව....


ඔහු තුල නිර්මාණශීලී නායකත්වයක් තිබුනා..ඒ නිසා තමයි ලෝකයේ වෙනත් කිසිම ක්‍රිකට් කණ්ඩායමක් එතෙක් නොසිතා තිබූ, මුල් පන්දු ඕවරවලට වේගයෙන් පහරදීමේ කලාව ශ්‍රි ලංකා කණ්ඩායම හඳුන්වා දෙන්නේ..එයට සනත් සහ කළු යොදාගන්නේ, ඒ ක්‍රමය අසාර්ථක වුවහොත් කණ්ඩායමේ ඔවුන්ගේ පැවැත්ම පිලිබඳ වගකීම අර්ජුන බාර ගනිමින්..ඔහුට එවන් පෞර්ෂයක්, ශක්තියක් තිබුනා..[එය කෙනෙකුට විවේචනය කල හැක්කක් වුවත්...]..සනත් සහ කළු ඒ අත්හදා බැලීම සාර්ථක කලේ, අනිත් කණ්ඩායම් අන්ද මන්ද කරමින්..පන්දු ඕවර 4ක් 5 ක් යනවිට ලකුණු 50 පසු කරනු දුටු ඒ මුල්ම දවස්...අදටත් සුන්දර මතකයක්...සනත් සහ කළු ට ඒ ප්‍රහාරයේ ගෞරවය ලැබෙන අතරම ඒ පිටුපස තිබූ නිර්මාණශීලී නායකත්වයද අපේ ඇගයීමට ලක්විය යුතුයි.



ඔහුගේ නායකත්වයේ විශිෂ්ටතම මොහොත ඔහු මුරලි වෙනුවෙන් නැගී සිටි මොහොතයි…

.95 කියන්නේ ක්‍රිකට් වලින් අපිට ලොකු පිලිගැනීමක් තිබුනු කාලයක් නෙවෙයි...ආර්ථික, දේශපාලනික ක්ෂේත්‍රවලදී වාගේම ක්‍රීඩාවේදීත් බලවත් ජාතීන්ගේ කෙණෙහිලිකම්වලට ලක්වෙන්නට අපට සිදුවුනා..95 ඕස්ට්‍රේලියානු සංචාරයේදී නැගී එන තරුණ දඟ පන්දු යවන්නෙකු ලෙස මතුවෙමින් ඔවුන්ට අභියෝගයක් වුන මුරලිට මුහුණ දෙනු වෙනුවට, ඔහුව ක්‍රිකට් වලින් ඉවත් කර දැමීමේ අනිසි උපාය මාර්ගයක් ඕස්ට්‍රේලියානුවන් යොදාගත්තා..

ඔහු පන්දු දමා ගසනවා යැයි චෝදනා කරමින්, ඔහුගේ පන්දු "නිපන්දු" ලෙස නම් කෙරුණා..අර්ජුන රණතුංග නම් නායකයාගේ අසහාය පෞර්ෂය සදා අපේ ගෞරවයට පත්වන්නේ මේ සිද්ධියේදී ඔහු හැසුරුණු ආකාරය නිසා..විනිසුරුවරයාගේ අසාධාරණ ක්‍රියාවට එරෙහි වූ අර්ජුන සිය කණ්ඩායම සමඟ පිටියෙන් ඉවත්ව ගියේ ඔහුගේ ක්‍රිකට් ජීවිතය පවා අවදානමේ හෙලමින්..[කාරණය කුමක් වුවත් මෙවන් හැසිරීමක් අයි.සී.සී. යට අනුමත කරන්නට බැරිබව පැහැදිලියි.. අර්ජුන ට අයි.සී.සී යෙන් දඩයක් නියම කෙරුණත් එය අර්ජුනට ගෙවන්නට ඉඩ නොතැබූ කණ්ඩායමේ ක්‍රීඩකයන් එකතු වී එය ගෙවා දැමුවා..]


සියළු දෙනාගේ දැඩි උත්සහයෙන් මුරලිගේ ක්‍රිකට් අනාගතය සුරක්ෂිත කර ගන්නට හැකියාව ලැබුනා..අද දවසේදී ලොව වැඩිම කඩුළු ලාභියා වෙමින් ලෝක පූජිත ක්‍රිකට් තරුවක් බවට පත්වී ඇති මුරලිට එදා ඒ අභියෝගය හමුවේ ක්‍රිකට් වලින් සමුගන්නට සිදු වූවානම්...??? මුරලි රැක ගැනීමේ ගෞරවයෙන් විශාල කොටසක් ඒ ශක්තිමත් සහ අභිමානවත් නායකයාට හිමිවිය යුතු බවට විවාදයක් ඇත්ද?


96 න් පසු ඔහුගේ හැසිරීම සම්බන්ධව බොහෝ විවේචන එල්ල වුනා..

ඒ කෙසේ වෙතත් ඔහු දුෂ්කරතා අභියෝග මැද්දෙන් ඉදිරියට ගොස් රටට අනගිභවනීය ජයග්‍රහණ උරුම කර දුන්න..මේ රටට ආඩම්බර විය හැකි මිනිහෙක්...!!!

Friday, March 11, 2011

2011 ලෝක කුසලානයේ "අරා" ගේ භූමිකාව...





අරවින්ද යනු අපට ලැබිය හැකි හොඳම තේරීම් කමිටු සභාපති..ඔහු සැබෑම සුපිරි ක්‍රිකට් තරුවක් ලෙස ලාංකේය ක්‍රිකට් වලට කල මෙහෙය සියළු දෙනාගේ ගෞරවයට ලක් වූවක්..එබැවින් බොහෝ දෙනාට ඔහු සමඟ වැඩ කිරීම ගැටළුවක් නොවෙයි...

අතීතය විසින් ඔහු කවුදැයි මනාව ඔප්පු කොට තිබෙනවා..ඔහු කොහොමටත් තමන්ගේ වැඩේ හරියට කරන චරිතයක් මිස අනවශ්‍ය බාධක ඇතිකර ගන්න චරිතයක් නොවේ..අර්ජුනට වගේ ඔහුට දේශපාලනික ගැටීම් නැහැ..තිලංග ට වගේ ඔහුට ක්‍රිකට් හරහා "චරිතයක්" වීමේ වුවමනාවක් නැහැ..(ඔහු සැබෑ "චරිතයක්" බව හැමෝම දන්නවා..)..ඔහු ක්‍රීඩා කරන කාලයේ පවා මාධ්‍යවල ප්‍රසිද්ධිය/ ජනප්‍රියත්වය සැලකුවේ නැහැ..සල්ලිකාරයෙක් වන ඔහුට මේකෙන් ගසාකන්න/සල්ලි හම්බ කරන්න උවමනාවක් ඇතැයි සිතන්න බැහැ..[හැබැයි ඒ කාලේ නම් කිව්වේ "මෑන් ඔෆ් ද මැච්" ට කාර් එකක් දෙනවා නම් "අරා" ඒ මැච් එක අතාරින්නේ නැහැ කියලා:)..]

තේරීම් කමිටුව විදිහට , අපට සිටින ක්‍රීඩකයන්ගෙන් හොඳම සංයුතිය සහිත කණ්ඩායම ඔහු ලබාදී තියෙනවා..තේරීම් සම්බන්ධව මත ගැටීම් ඇතිවීම ඉතාම ස්වාභාවික කාරණයක් වුනත්, මෙවර එයට එල්ල වුනු ප්‍රතිවිරෝධතා අවමයි...

අවසාන 15 දෙනාගෙන් "සනත්" , "වාස්" සහ "සුරාජ් රන්දීව්" ඉවත් කිරීමට ගත් තීරණ දුෂ්කර ඒවා බව ඔහු මාධ්‍ය සාකච්චාවකදී පැවසූ අතර, වර්තමාන 15 දෙනා තේරීමේදී ඔවුන් සලකා බැලූ කරුණු පැහැදිලිව ඉදිරිපත් කලා...

විශේෂයෙන්ම "සනත්" සහ "වාස්" ඉවත් කිරීමට සිදුවීම දුෂ්කර මෙන්ම හැගීම්බර තීරනයක් බව පැවසූ ඔහු ලෝක කුසලානය වෙනුවෙන් වූ මිලියන 20 ක ජනතාවකගේ බලාපොරොත්තු වලට තමන් වගකිව යුතු හෙයින් ඒ දුෂ්කර තීරණ ගැනීමට සිදුවූ බව පැවසූවා..සැබැවින්ම එය අගනා ප්‍රකාශයක්...

ඔහුට කල හැකි උපරිමය ඔහු කර තිබෙනවා..( 96 ලෝක කුසලානයේදී අවසාන මහා තරඟයේදී ශතකයක් සමඟ කඩුළු 3 ක් ගෙන මැච් එක ගොඩ දමා දුන්නාක් මෙන්..)

දැන් ඇත්තේ ක්‍රීඩකයන්ගේ වාරයයි...තමන් ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට තරම් සුදුස්සන් බව ඔප්පු කිරීමේ අභියෝගය ඔවුන්ට පැවරෙනවා..

සංගා, මහේල සහ මුරලි කියන්නේ ඒ බව හොඳින් ඔප්පු කොට ඇති ලෝක පූජිත ක්‍රිකට් තරු...ඒ මට්ටමේම නැතත් දිල්ශාන්, තරංග, මැතිව්ස්, මාලිංග, කුලසේකර, මෙන්ඩිස් වැන්නන් තමන් මැච් එකක් ගොඩ දැමීමට සමත් වූවන් බව ඔප්පු කොට තිබෙන ක්‍රීඩකයන්..එය මෙතෙක් ඔප්පු නොකල තිසර, රංගන, දිල්හාර, සමරවීර, චාමර සිල්වා සහ කපුගෙදර ට ඒ අභියෝගය ජයගැනීමේ වගකීම තිබෙනවා....!

Monday, March 7, 2011

ක්‍රිකට් ලෝක කුසලානයට මගේ අනාවැකි...




ක්‍රිකට් වලදී අනාවැකි කීම කොහොමටවත් පහසු දෙයක් නෙමෙයි.....

හිතාගන්න වත් බැරි දේවල් තමයි අන්තිමට සිද්ධ වෙන්නේ....ක්‍රිකට් වල සුන්දරත්වයත් ඒ අවිනිශ්චිත බව නිසාමයි.....

ඕනෑම දෙයක් සිදුවිය හැකියි..ඕනෑම දෙයක් නොසිදුවිය හැකියි....

මෙවර ලෝක කුසලානයේදී අයර්ලන්තය එංගලන්තයට ගහයි කියල කවුද හිතුවේ..? ඒ වගේම ශ්‍රි ලංකා-ඕස්ට්‍රේලියා මැච් එකේදී අවසානයේ ජයගත්තේ වැස්ස...

ඒ කොහොම උනත් දක්ෂතාවයට ජය උරුම නොවෙනවාම නෙවෙයි..ඕස්ට්‍රේලියාව පිට පිට තුන් වතාවක් ලෝක කුසලානය දිනුවේ නිකම්ම නිකම් වාසනාවට නෙමෙයි..ඔවුන් සැබෑ දක්ෂයනුත් වූ නිසායි...

ඉතින් ඒවා මේවා සියල්ල සලකලා තමයි මේ අනාවැකිය.......

හැඟීම්බර නොවී..යථාර්තවාදීව..වියහැකි දේ හැකිතාක් දුරට නිවැරදිව උපකල්පනය කිරීමට දැරූ උත්සහයක් මේක..



මාර්තු 08 -: නවසීලන්තය-පාකිස්තානය [පාකිස්තානය]
මාර්තු 09 -: ඉන්දියාව-නෙදර්ලන්තය [ඉන්දියාව]
මාර්තු 10 -: ශ්‍රි ලංකාව - සිම්බාබ්වේ [ශ්‍රි ලංකාව]
මාර්තු 11 -: අයර්ලන්තය - බ.ඉ.කොදෙව් [බ.ඉ.කොදෙව්]
මාර්තු 11 -: බංගලාදේශය-එංගලන්තය [එංගලන්තය]
මාර්තු 12 -: ඉන්දියාව - ද.අප්‍රිකාව [ඉන්දියාව]
මාර්තු 13 -: කැනඩාව - නවසීලන්තය [නවසීලන්තය]
මාර්තු 13 -: ඕස්ට්‍රේලියාව - කෙන්යාව [ඕස්ට්‍රේලියාව]
මාර්තු 14 -: බංගලාදේශය - නෙදර්ලන්තය [බංගලාදේශය]
මාර්තු 14 -: පකිස්තානය - සිම්බාබ්වේ [පකිස්තානය]
මාර්තු 15 -: අයර්ලන්තය - ද.අප්‍රිකාව [ද.අප්‍රිකාව ]
මාර්තු 16 -: ඕස්ට්‍රේලියාව - කැනඩාව [ඕස්ට්‍රේලියාව]
මාර්තු 17 -: එංගලන්තය - බ.ඉ.කොදෙව් [එංගලන්තය]
මාර්තු 18 -: අයර්ලන්තය - නෙදර්ලන්තය [අයර්ලන්තය]
මාර්තු 18 -: ශ්‍රි ලංකාව - නවසීලන්තය [ශ්‍රි ලංකාව]
මාර්තු 19 -: බංගලාදේශය - ද.අප්‍රිකාව [ද.අප්‍රිකාව]
මාර්තු 19 -: ඕස්ට්‍රේලියාව - පකිස්තානය [ඕස්ට්‍රේලියාව]
මාර්තු 20 -: කෙන්යාව - සිම්බාබ්වේ [සිම්බාබ්වේ]
මාර්තු 20 -: ඉන්දියාව - බ.ඉ.කොදෙව් [ඉන්දියාව]


ලකුණු සටහන







A කණ්ඩායමලකුණු B කණ්ඩායමලකුණු
ඕස්ට්‍රේලියාව 11 ඉන්දියාව 11
පකිස්තානය 10 එංගලන්තය 09
ශ්‍රි ලංකාව 09 ද.අප්‍රිකාව 08
නවසීලන්තය 06 බ.ඉ.කොදෙව් 06


අර්ධ අවසන් පූර්ව තරඟ

මාර්තු 23 -:{A1-B4} ඕස්ට්‍රේලියාව - බ.ඉ.කොදෙව් [ඕස්ට්‍රේලියාව]
මාර්තු 24 -:{A2-B3} පකිස්තානය - ද.අප්‍රිකාව [පකිස්තානය]
මාර්තු 25 -:{A3-B2} ශ්‍රි ලංකාව - එංගලන්තය [ශ්‍රි ලංකාව]
මාර්තු 26 -:{A4-B1} නවසීලන්තය - ඉන්දියාව [ඉන්දියාව]

අවසන් පූර්ව තරඟ

මාර්තු 29 -: ඕස්ට්‍රේලියාව - ශ්‍රි ලංකාව [ඕස්ට්‍රේලියාව]???
මාර්තු 30 -: පකිස්තානය - ඉන්දියාව [ඉන්දියාව]

අවසන් මහා තරඟය

අප්‍රේල් 02 -: ඕස්ට්‍රේලියාව - ඉන්දියාව


2011 ලෝක කුසලාන ජය

ඉන්දියාව

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters