Monday, January 28, 2013

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ සදානුස්මරණීය "නිෂ්මි" ගැන මතකයෙන් බිඳක්...



විශ්ව විද්‍යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහෝදර සගයන් අතරේ පිළිගත් නායකයෙක් වන්නටත් කෙනෙකුට හොඳ පෞර්ෂයක් තිබිය යුතු වෙනවා. විශ්ව විද්‍යාලවල දේශපාලනය යන්න බොහෝවිට විවේචනයට ලක්වන්නක් වුණත් බොහෝ සිසුන් තම නායකත්ව ගුණාංග ඔප මට්ටම් කරගන්නේ මේ ක්‍රියාකාරකම් හරහා.

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් ඉහළ නායකත්ව කුසලතා ඇති නායකයන් බොහෝ ගණනක් බිහිකර තිබෙනවා. ඒ නායකයන් අතර ඉහළින්ම කියවෙන නමක් තමයි "නිෂ්මි"....

80 දශකයේ අග භාගයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් නායකයෙක් ලෙස මතුවුණු නිෂ්මි ඒ යුගයේ ස්වාභාවය අනුව "ජෙප්පෙක්" බව ඇත්ත. නමුත් අවුරුදු විසි ගණනකට පස්සේ අපි ආපහු හැරී බලා ඔහු කළ දේශපාලනය හරිද වැරදිද කියා විග්‍රහ කරනවා වෙනුවට මේ තරුණයා පෑ අසාමාන්‍ය නායකත්ව කුසලතාව හා විදහා පෑ අසාමාන්‍ය පෞර්ෂය විග්‍රහ කරගැනීමේ වටිනාකමක් තියෙනවා.


අද වෙනවිට නිෂ්මි ජීවතුන් අතර නැහැ. 88-89 ධවල භීෂණයේදී ඔහු ඝාතනයට ලක්වුණා.

ඔහු ඇසුරු කළ සගයන් එක්ව ඔහු ගැන මතකයන් එක් රැස් කර පොතක් නිර්මාණය කර තිබෙනවා. ඒ "සැඩ සුළඟ සහ මඳ පවන " නමින්. එයට ඔහුත් සමඟ විශ්ව විද්‍යාලයේ සිටි සගයන්, එක්ව දේශපාලනය කළවුන්, විරුද්ධව දේශපාලනය කළවුන්, එකල විශ්ව විද්‍යාලයේ සිටි උප කුලපති මහාචාර්ය අර්ජුන අළුවිහාරේ, ඔහුව මුණගැසී තිබූ ඉහළ හමුදා නිළධාරියෙක් වැනි බොහෝ පිරිසක් ඔහු ගැන සිය මතකයන් හා අදහස් එක්කර තිබුණා.

මේ ඒ පොතේ ඔහු ගැන සඳහන් මතකයන්ගෙන් බිඳක්.


"දැඩි මානුෂීය බවද, කැපී පෙනීමේ උද්ධච්ඡ අදහස් වෙනුවට නිහතමානී නායකත්ව ලක්ෂණද, දැඩි සහෝදර බැඳීමද ඔහු වෙත නොඅඩුව පැවතුණි."....

......"එවකට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිව සිටි මහාචාර්ය අර්ජුන අළුවිහාරේ මහතාගේ ගෞරවාදරයට නිෂ්මි පත්වීමේ හේතුවද, ඔහු සතු තාර්කික හැකියාව සහ අව්‍යාජ නායකත්ව කුසලතාව විය".. 

"නිෂ්මි ශිෂ්‍යන් අතර ජනප්‍රිය ම හා නිර්මාණශීලී ම නායකයා බවට පත්විය.මෙහිදී අනෙක් නායකයන්ට වඩා ඔහු තුළ පැවති සුවිශේෂිම දක්ෂතාවය වූයේ හා කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඔහුගේ තාර්කික හැකියාවයි. ඔහු ඉදිරියේ දී කුමන මතවාදයක අයෙකුට වුව තම මතය ජයගැනීමට හැකියාවක් තිබුණේ නැත.ඔවුහු සෑම විටම මෙන් ඔහු ඉදිරියේ නිරුත්තර වූහ. දේශපාලන වශයෙන් ඔහු හා විරුද්ධ වූ අය පවා නිෂ්මි නිවැරදි අයකු ලෙසද, ඔහු තම ගෞරවනීය නායකයා ලෙසද පිළිගත්හ." ( නිමල් කරුණාසිරි - ආයුර්වේද කොමසාරිස්- බස්නාහිර පළාත් සභාව )

--------------------------------------------------

"නිෂ්මි රෑ එක දෙක වෙනතුරු වැඩ කරලා නිදා ගන්න අක්බාර් නෙල් ශාලාවට එනවා. ඔය වෙලාවට කොල්ලෝ ඒ කාමරේ උඩින් තියෙන හිලෙන් එල්ලිලා එබිලා බලනවා නිෂ්මි ඇවිත්ද කියලා. ඇවිත් නිදි කියලා දැනගත්තොත් ඒ ආරංචිය ඉක්මනට විසිරෙනවා. ඒක යන්නේ රහසින් කෙඳිරීම් වලින්. "නිෂ්මි ඇවිත්. සද්ද කරන්න එපා". මුළු ශාලාවම නිහඬ වෙනවා. හරියට මුළු ශාලාවම  මීයට පිම්බා වගෙයි".............................(අයි.පී.ෂෙල්ටන්)

ඒ ඔහුට සහෝදර සිසුන් අතර තිබුණු ආදරය සහ ගෞරවය...
-----------------------------

"එක වරක් නිෂ්මිගේ බැච් එකේ හිටි විකොස (විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය) දේශපාලනය දැරූ සගයෙක් නුවරදී නිෂ්මිට මුණ ගැසුණ. ඒ වෙලාවේ ඔහු අහක බලා ගත්තා. නිෂ්මි ගොස් ඔහුට කථා කළා, පිටට තට්ටු කරමින්. එතකොට ඔහු කිව්වා "අපි අතරේ දේශපාලන ගනුදෙනු නෑ" කියලා. නිෂ්මි එතකොට කිව්වේ  "මම මේ ආවේ දේශපාලන ගනුදෙනුවකට නෙවෙයි, උඹ මගේ බැචා හින්දා කථා කරලා යන්න" කියලා"....(අයි.පී.ෂෙල්ටන්)

                                                                                             -

------------------------------

පරිපාලනය ඉදිරියේ පෑ පෞර්ෂය..

"ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයේ කිසිම අයෙක් නොකළ විදිහට පරිපාලනය තමන්ගේ ග්‍රහණයට ගන්නට ඔහුට හැකි වුණා. ඔහු සමහරවිට ඔවුන්ට මූණට බැන්නා. නමුත් ඔහු මිය ගිය විට ඇඬුවේත් ඔවුන්. එය එසේ වූයේ ඔහුගේ වූ සුවිශේෂි ගුණය නිසායි. පුද්ගල ඇසුර ගොඩනඟා ගත් අයුර නිසායි. දැඩි විදිහේ ඝට්ටනවලට ගියා. ඔවුන් විසින් ම නිෂ්මිව ආරක්ෂා කළා. කොයිම මොහොතක හෝ පරිපාලකයින් නිෂ්මිව පාවා දෙනු මම දැකලා නැහැ.ඔවුන් වෙන අයව පාවා දෙන්නට ඇති. නමුත් නිෂ්මි පාවා දෙන්නට ඔවුන් දෙවරක් කල්පනා කළා."  (කුමුදු බණ්ඩාර-වෛද්‍ය)


                                                                             

----------------------------------------------
විශ්ව විද්‍යාලය තුළදී ශිෂ්‍ය නායකයන් හා සංවාදයක නිරත වන්නට එකළ මධ්‍යම පළාත භාර ආඥාපති බ්‍රිගේඩියර් රංජන් ද සිල්වා මහතාට අවස්ථාවක් ලැබී තිබුණා. ඒ සංවාදය ගැන ඔහුගේ මතකය ඔහු පළකර තිබෙන්නේ මෙලෙස...

"මා සමඟ සංවාදයට පැමිණියේ නිෂ්මි. නිෂ්මි ඉතාමත් ලස්සනට තමන්ගේ කරුණු ගොනුකොට තර්ක කළා. වාදය ගියේ ඉතා උසස් ආකාරයකින්.ඉතා දියුණු ආකාරයකින්. ඔහු මුළු වාදය පුරාම හැසිරුණේ ඉතාම බුද්ධිමත් අයෙක් ලෙස.ඉතාම ලස්සනට තර්ක ඉදිරිපත් කළා. අතරමැදින් පැනීම් කළේ නැහැ.බාධා කළේ නැහැ.ඇත්තටම මගෙ හිතේ ඔහු ගැන ප්‍රශංසාවක්, ගෞරවයක් ඇතිවුණා." ( බ්‍රිගේඩියර් රංජන් ද සිල්වා )


------------------------------------

"දේශපාලන වශයෙන් පමණක් නොවෙයි. සෑම මිනිසෙකුම මිතුරකු වශයෙන්, සහෝදරයකු වශයෙන් ඔහු දිනාගත්තා."  (මැතිව් ප්‍රනාන්දු-පශු වෛද්‍ය )

============================================================

අද නිෂ්මි නමින් පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ නේවාසිකාගාරයක් නම් කර තිබෙනවා.ඔහු ගැන පුරාවෘතය අලුත් සිසුන්ට අහන්නට ලැබෙනවා. සැබෑ නායකයන්, යුක්ති ගරුක මිනිසුන් ලෙස ගොඩ නැඟෙන්නට එය ඔවුන්ට ධෛර්ය සපයනවා. ඔහු ගැන සම්පූර්ණ මතක සටහනක් ගොඩ නඟන්නට කැපවූ මේ පොතේ සම්පාදකයන්ට සහ එයට දායක වූ සැමට අපගේ ස්තුතිය හිමිවෙනවා.

  

-------------------------------------------------------------

[මේ පොත සම්පාදනය සහ සංස්කරණය කර ඇත්තේ මහින්ද සෙනරත් ගමගේ සහ අනිල් ජයරත්න යන මහත්වරුන්.
නිෂ්මිගේ ඡායාරූපය ගත්තේ මෙතනින්.http://www.arunalla.tk/
ඒ වෙනුවෙන් ස්තූතිය:අරුණැල්ල ලියන රැංගෝට.]

24 comments:

  1. මාත් කියෙව්වා හොද පොතක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.මෙතනදී මමත් අගය කරන්නේ මොන දේශපාලනය කළත් හොඳ නායකත්ව කුසලතාවක්, පෞර්ෂයක් තිබූ සාමාන්‍ය පන්තියේ තරුණයෙක් ලෙස ඔහු පෑ ප්‍රභාවයි.

      Delete
  2. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඒ පැත්තේ ගියෙමි :)

      Delete
  3. පොර ගැන හොඳ කියවෙන ලිපි විතරයිද ඔය පොතේ තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. නැහැ. විවේචන තියෙනවා. මහාචාර්ය අර්ජුන අලුවිහාරේ ගේ ලිපියේ මෙහෙම තියෙනවා.
      "තමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අ.වි.වි.ශි.බ.ම නායකයා බව ඔහු පිළිගත් අතර, තමා කරන සෑම දෙයකටම සැළසුමක් ඇති බව පැවසීය. මෙයනම් යම්තාක් දුරකට සත්‍යක් බව ඔහු ඇසුරු කළ මීලඟ අවුරුදු කීපයේදී මා අවබෝධ කර ගතිමි.එම සැලසුම නම් ශිෂ්‍ය ප්‍රශ්න (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය, නේවාසිකාගාර හා ආහාර ප්‍රශ්න හා අනෙකුත් සුබ සාධන ගැටලු ) දේශපාලන අරමුණු සඳහා භාවිතා කිරීමත් ඒ සඳහා ශිෂ්‍ය සංගම් හා වෘත්තීය සමිති භාවිතා කිරීමත්ය."

      Delete
  4. /* "නිෂ්මි රෑ එක දෙක වෙනතුරු වැඩ කරලා නිදා ගන්න අක්බාර් නෙල් ශාලාවට එනවා. ඔය වෙලාවට කොල්ලෝ ඒ කාමරේ උඩින් තියෙන හිලෙන් එල්ලිලා එබිලා බලනවා නිෂ්මි ඇවිත්ද කියලා. ඇවිත් නිදි කියලා දැනගත්තොත් ඒ ආරංචිය ඉක්මනට විසිරෙනවා. ඒක යන්නේ රහසින් කෙඳිරීම් වලින්. "නිෂ්මි ඇවිත්. සද්ද කරන්න එපා". මුළු ශාලාවම නිහඬ වෙනවා. හරියට මුළු ශාලාවම මීයට පිම්බා වගෙයි".............................(අයි.පී.ෂෙල්ටන්) */

    ගෝනි බිල්ලෝ එනවාය කියා බත් කැවීමට අම්මලා කියන කතාවලට රැවටෙන බබාලා මට සිහිවිය.

    ReplyDelete
    Replies
    1. මෙතන නම් කියන්න හදන්නේ නිෂ්මිට ඒ තරම් ගෞරවයක් සෙසු සිසුන් අතර තිබුණා කියන එකයි.මමත් දන්න තරමින් ජේවීපී කරන සිසුන්ට එහෙම ලැබෙන එකම දෙය මේ ගෞරවය, සැළකිල්ල. හැමෝම නොවුණත් ඒ දේශපාලනයට අනුගත වූවන් අතර මාර පිළිගැනීමක්,සැළකිල්ලක් කැපකිරීම් කරන නායකයන්ට හිමිවෙනවා. මේ පිළිගැනීම තරුණ වයසේ කෙනෙකුට හොඳ මෝටිවේෂන් එකක් නේ. ඉතින් තමන්ගේ විභාග පවා අත හැරලා පොදු වැඩවලට යන කෙනා වීරයෙක් වගෙයි සැළකෙන්නේ.අසූ ගණන්වල මේ තත්වය මීටත් වැඩි වෙන්න ඕනේ.

      කකාත් අසූ ගණන්වල පේරා ඉංජෙක් නේද? නිෂ්මි ගැන කකා දන්න දේ සහ අදහස් දැන ගන්න කැමතියි.

      Delete
  5. පොත කියවන බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොහොමද තපස් මේක මිළට ගන්න පුළුවන් ?කවුද ප්‍රකාශකයෝ?

    ReplyDelete
    Replies
    1. මේක කතෘ ප්‍රකාශනයක් රතූ. මම නම් ගත්තේ නුගේගොඩ සරසවි එකෙන්.මිල: රුපියල් 1000 යි. හොඳ අනර්ග නිමාවකින් පොත කරලා තියෙනවා.නම :"නිෂ්මි- සැඩ සුළඟ සහ මඳ පවන".

      Delete
    2. මං හිතුවේ මේ පොත ප්‍රින්ට් කලේ වීරවංශගේ හෙලදිව ගහපු මත්තේගොඩ සයුරි එකේ කියලයි.

      මං පොත ගත්තේ එතනින්. හෙලදිව පත්තරේ නිස්මි පිටුව කරපු ඉසුරු ගෙන්.

      Delete
    3. නිෂ්මිගේ සමකාලීන කැම්පස් සගයෙක් මගේ හොදම මිතුරෙක්...ඔහු මා හා සමග කියා ඇති දේත් මේ සමග හරියටම ගැලපෙනවා...ඒඅ නිසා ලිපිය ගැන ගැටලුවක් නෑ....ඔහු මිනිසෙකු ලෙස හොද ගති ගුණ ප්‍රකට කලත් ඔහුගේ මතවාදය සමාජයට හිමි කලේ මරණය හා වේදනාවයි. ප්‍රතිරූප වන්දනාවේදී අප සැලකිලිමත් විය යුත්තේ ඔවුන්ගේ පුද්ගලික චරිතය පමණක් නොව සමාජයේ ප්‍රගමනය කෙරෙහි ඔවුන්ගේ දායකත්වයි. ගාන්ධිලා ලින්කන් ලා නිශ්මිලාගේන් වෙන්වෙන්නේ ඒතැනදීයි......

      Delete
    4. මෙය ප්‍රතිරූප වන්දනයක් නොවේ. ඔහුගේ මතවාදය මගේ මතවාදය ද නොවේ. ඔහු ගැන පොතේ සඳහන් විවේචනවලට මා ද එකඟය.ඒ එසේ වුව ඔහුගේ නායකත්ව ගුණාංග සහ පෞර්ෂය අගය කිරීමට එය බාධාවක් නොවේ.

      Delete
    5. ලෝක ඉතිහාසයේ පුද්ගලයන් ඉතාම ස්වල්ප දෙනෙක් හැරුනු කොට අන් සියල්ල කලු සුදු පුද්ගලයන්ය...ඔබගේ ලිපියේ නිශ්මි ගැන සුදු හැරුනු කොට කලු ඒවා දක්නට ලැබෙන්නේම නැත. ඒයට ප්‍රතීරූප වන්දනාව යනුවෙන් හදුන්වනවා හැර වෙන වචනයක් පාවිච්චි කිරීමට තරම් මාගේ සිංහල භාශාව පොහොසත් නැත.

      ඔබ ලියා ඇති පෞරුශය ගැන නම් මා කථා කරන්නේ නැත. එහෙත් නායකත්වය යනු නම් හුදෙක් සමාජය, මිනිසුන් රෑනක් දැක්කවීම පමණක් නොවේය. නායකත්වය යනු හරි තැනට මිනිසුන් ‍රැගෙන යාමය. මා \\\ගාන්ධිලා ලින්කන් ලා නිශ්මිලාගේන් වෙන්වෙන්නේ ඒතැනදීයි......\ කියා ලියා අත්තේ එහෙයිනි....

      Delete
    6. ඔබ කියන දේ ඇත්ත. මේකේ ලියලා තියෙන්නේ ඔහුගේ හොඳ විතරයි. නමුත් ඒකට හේතුව ඔහුගේ ප්‍රතිරූපය වන්දනා කිරීම නෙමෙයි.මට අවශ්‍ය වුණේ සරලව ඔහුගේ දක්ෂතා අගයමින් ලිපියක් ලිවීම. නැතිව සමබර, අපක්ෂපාති, සම්පූර්ණ විග්‍රහයක් කරන්න නෙමෙයි.
      කෙසේ වුවත් ඔබේ සහ කතන්දරගේ අදහස් වලින් පෙනෙනවා, මෙය කියවන කෙනෙකුට ඒ වගේ අදහසක් ඇතිවිය හැකි බව.නිෂ්මි ගැන සේම පොදුවේ ශිෂ්‍ය දේශපාලනය ගැන මගේ ඇති විවේචනාත්මක අදහසුත් ඉදිරියේදි ලියන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  6. නිෂ්මි මරා දැමුණු ආකාරය ගැනත් යමක් මේ සටහනට එක් කළොත් හොඳයි නේද ?

    ReplyDelete
    Replies
    1. නිෂ්මිත් සමඟම අත් අඩංගුවේ සිටි ආර්.පී.යූ.ජී.බාලසූරිය නමැත්තෙක් මෙසේ ලියා තිබෙනවා.
      "මම අත් අඩංගුවට පත්වුණේ 1990 ජනවාරි මැදදි. ඒ වෙනකොට නිෂ්මි අත් අඩංගුවට පත්වෙලා. අපි හැම දෙනෙකුම රඳවා තිබුනේ බෞද්ධාලෝක මාවතේ තිබුණු පැරණි ගෙයක.
      මාත් වෛද්‍ය පීඨ ධම්මිකත් නිෂ්මි සිටින තැනට ගෙනගියා. ධම්මිකට පොල්ලක් අතට දී නිෂ්මිට ගහන්නට කිව්වා. නමුත් ධම්මික ගැහුවේ නැහැ.ඉන්පසු අපි තුන් දෙනාටම නොසෑහෙන සේ පොලු පහර දුන්නා.
      --------------
      නිෂ්මි මේ හැම මොහොතකටම ඉතා හොඳින් මුහුණ දුන්නා. කිසි අවස්ථාවක මානසිකව ඇද වැටුණු බවක් මා දුටුවේ නැහැ.නමුත් තමන් මරනු ලබන බව ඔහු හොඳින්ම දැනගෙන හිටියා. ඔහු අතින් කිසිම සහෝදරයෙකු පාවා දෙනු ලැබුවේ නැති බව මම හොඳටම දන්නවා.

      කොපමණ වද දීම් සිදු වුණත්, නිෂ්මි එහි සිටි වධකයන්ට පවා කථා කළේ සාමාන්‍ය ලෙසින්මයි. ඒ නිසාම හෝ, වෙනත් හේතුවක් නිසා හෝ, නිෂ්මිට උන් පහර දුන්නා වුණත්, ඔහු පිළිබඳව ගරුත්වයක් හා බියක් උන්ට තිබුණා කියා මට දැනුණා.

      මාසයකට පමණ පසු නිෂ්මිත්, මාත්, තවත් අයකුත් මෙතැනින් රැගෙන ගියා. ඒ වෙනත් ගෙයකට. එහිදී අපට නාගන්න ලැබුණා.ඒ වෙලාවේ නිෂ්මි මට කිව්වා "බාලේ, අදනම් අපිව මරණවා. අද හවසට අපේ අවසන් කටයුතු ටික කරයි.කරන්ඩ දෙයක් නෑ. ඒකට සූදානමින් ඉඳිමු." නමුත් එහෙම කිව්වේ සැලෙමින් නෙමෙයි.

      හවස පැජරෝ දෙකක් ආවා. ඉන් එකකට නිෂ්මි දාගෙන ගෙනගියා. ඉන්පසු මා නිෂ්මිව දැක්කේ නැහැ.....

      Delete
    2. ස්තුතියි විස්තරේට

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. සමහර මිනිස්සු ගැන අපිට හොද විතරක්ම අහන්න ලැබෙනවා, ඒ මිනිස්සුන්ගේ නරක නැති නිසා නෙමෙයි. හොද වැඩි නිසා. අපි කාගේ වත් ප්‍රතිරූප වන්දනා කරන්න ඕනේ නෑ. අපිට පුලුවන් හොද ටික ගන්න. ඒකට නරක ගැන දැන ගන්නම ඕනේද? අපිට කාගේ හරි නරක දැන ගන්න ඕනේ ඔහුට හෝ ඇයට පරහ ගහන්න නේද? අපිට දැන ගන්න ඕනේ, ඕනැම නරක මනුස්සයෙක්ගේ හොද ටික පමනයි.

    ReplyDelete
  9. නිෂ්මි - සැඩ සුළග සහ මද පවන කෘතියේ මුද්රිත පිටපත් සියල්ල මේ වන විට විකිණී අවසන්. එහෙත් ලෝකය වඩාත් යපහත් තැනක් කළ යුතුයැයි සිතන සෑම දෙනෙකු ම මේ පොත කියවිය යුතු යැයි අප කල්පනා කරන බැවින් එය අපගේ www.sayuribooks.com වෙබ් අඩවියෙහි -නොමිලේ කියවිය හැකි පොත්- තීරයෙහි බහා ඇත්තෙමු. එකක් ලෙස එය ඔබ ඕනෑ ම කෙනෙකුට බාගත කොට ගෙන කියවිය හැකිය. - මහින්ද සෙනරත් ගමගේ

    ReplyDelete
    Replies
    1. අවසාන පොත මට ලබා දුන්නාට ඔබතුමාට බොහොම ස්තුතියි.

      Delete
    2. වෙබ් සයිට් එක වැඩ නැහැනේ. පොත ලබාගත හැකි වෙනත් වෙබ් සයිට් එකක් තියෙනවද?

      Delete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters