Monday, October 31, 2011

12 වෙනි සියවසේ ජීවත් වූ අපි...........


ඔබ ෂර්වුඩ් කැලය ගැන දන්නා කෙනෙක්ද? එය පිහිටියේ එංගලන්තයේ...12 වෙනි සියවසේදී මේ කැලයේ වාසය කලා පිටුවහල්ලු (Outlaws)..ඔවුන් රජයේ අයබදු හොරකම් කල හොර තක්කඩි..මේ කාණ්ඩයට නායකත්වය දුන්නේ හිස වැසූ මිනිසෙක් (Hooded Man.)..ඔහුට Robin in the hood එහෙමත් නැත්නම් Robinhood කියලා කියනවා..



මේ අපි බොහෝ දෙනෙක් ආදරය කළ Robinhood ගේ වෘත්තාන්තය..රොබින්හුඩ් මගේ ලෝකයේ වීරයෙක්..මගේ විතරක් නෙමෙයි..ලංකාවේ පරම්පරා කීපයකම වීරයෙක්....Robin of Sherwood නම් TV Series එක 1982 දී පමණ එංගලන්තයේදී නිපදවී රටවල් ගණනාවකම ප්‍රදර්ශනය වී ඇති හෙයින්, රටවල් ගණනාවක රොබින්හුඩ් රසිකයන් සිටින බවට සැකයක් නැහැ.

මට මතක හැටියට ඉරිදා හවස 4 ට තමයි "හසරැළි රසාර" පටන් ගත්තේ..ඉරිදා සෙල්ලම් හවස 4 වෙනකොට ඉවරයි..රොබින්හුඩ් බලන්න...රොබින්හුඩ් ආරම්භ වෙන සංගීතය යනකොට දැනෙන හැඟීම...විස්තර කරන්න වදන් නැත..!!.

එංගලන්තයේ පිහිටි ෂර්වුඩ් කැළය අපිටත් අපේ ගෙදර වගේ හුරුපුරුදු තැනක් වුනා ඒ කාලයේදී...සියවස් ගණනාවකට කලින් එහි වාසය කළ පිටුවහල්ලු අපේ ආදරය දිනාගත්..අපේ ජීවිතවලට තදින් ළංවුනු සමීපතමයන් වුනා..රොබින්හුඩ්, මැරියන්, ලිට්ල් ජෝන්, විල් ස්කාලට්, ටක්, නසියර් සහ මාච්..රොබින්හුඩ් ගේ ගැන්සිය.ෂර්වුඩ් කැලය ආසන්නයේ පිහිටි විකම් ගම සහ එහි වැසියන්..ඒ විතරක්ද? . නොටින්හැම්හි ෂෙරීෆ් සහ ගිස්බන්..අමතක කරන්න පුළුවන්ද?

රොබින්හුඩ් ගේ ගැන්සියේ මා වඩාත් ප්‍රිය කළ චරිතයක් (රොබින් හැරුණාම )..නසියර්...එයාගේ වෙනස තමයි එයා ෆයිට් කරන්නේ කඩු දෙකකින්..කඩු දෙක පිටේ එල්ලන් ඉන්නේ cross එකක් විදිහට..සටනක් පටන් ගන්න කොට උරහිසට උඩින් අත් දෙක cross වෙන විදිහට දාලා, කඩු දෙක ඇදලා අරගෙන සටනට සැරසෙන හැටි..මේ ලියන මොහොතේත් සිතේ මැවෙනවා.Nothing has forgotten..Nothing has ever forgotten......(කිසිවක් අමතක නොවේ..කිසිවක් කිසිදාක අමතක නොවේ )...රොබින්හුඩ් එකේ ජනප්‍රියම වදන් පෙළට අනුවම මේ දර්ශනත් තාමත් මතකයේ තියෙනවා.. නසියර් ගැන අනිත් විශේෂත්වය තමයි ඔහු නිහඬ වැඩ කාරයෙක් වීම..වැඩි සද්ද බද්ද නැති නිහඬ මිනිහෙක්..නමුත් තමන්ගේ කාර්යය ඉහලින්ම කරන..!

අපි කාටත් වැඩිය දිරවන්නේ නැති චරිතයක් තමයි කුකුල් කේන්තිකාර විල් ස්කාලට්..ඔහු විටෙක රොබින් ටත් අවනත නොවෙන විට අපිටත් පුදුම මලක් පනින්නේ..දඩබ්බර, මුරණ්ඩු, ඉක්මනින් කෝපවෙන චරිතයක්..නමුත් ඔහුත් කණ්ඩායමට නැතිවම බැරි චරිතයක්..අපේ ජීවිතවලත් මෙවැනි චරිත හා වැඩ කරන්නට ලැබෙන විට, රොබින් ඔහු සමඟ කටයුතු කල ඉවසිලිවන්ත සහ බුද්ධිමත් ආකාරය මනා ආදර්ශයක් ලබාදෙනවා...

ටක්..බුද්ධිමත්, බහුශ්‍රැත මෙන්ම තරබාරු පූජකයා..ලිට්ල් ජෝන්..විසල් සිරුරැති මුත් මුදු හදක් ඇති, විනෝදකාමි මිනිසා..මාර්ච්..ගැන්සියේ පොඩි එකා..

මැරියන්..රොබින් සේම අපත් ඇයට ආදරය කළා..පළමු රොබින් (Michael Praed)..මියගිය දින සේම..ඇය දෙවෙනි රොබින් (Jason Connery ) මියගියේ යැයි සිතා කන්‍යාරාමයකට ගොස් කණ්ඩායමෙන් නික්මුන දාත් අප කඳුළු සැලුවා..

රොබින්හුඩ් ගැන මගේ මතකයේ තවත් දිගුවක් විහිදෙන්නේ විශ්ව විද්‍යාල ජීවිතයට..අප විශ්ව විද්‍යාලයේ ඉන්නා කාලයේත් රූපවාහිනියේ රොබින්හුඩ් පෙන්නුවා..රටේ ආණ්ඩු සමඟ හැප්පෙන, විප්ලව කරන්නට කථා කරන බැරෑරුම් චරිත උදේ පාන්දර රොබින්හුඩ් බලන්නට අක්බාර් කැන්ටිමේ සෙට්වෙන හැටි මුලදී පුදුමයක් වගේ පෙනුනත් සුන්දර අත්දැකීමක් වුනා..එහි පුදුම වෙන්න දෙයක් ඇත්තටම නැහැ..යුක්තිය,සාධාරණය වෙනුවෙන් සිතන්නට, ක්‍රියාත්මක වෙන්නට ඔවුන්ගේ මනස්වලට මුල්ම උත්තේජනය ලබාදුන්නේ සමහර විට "රොබින්හුඩ්" වෙන්නට පුලුවන්..

ළමා මනසකට යුක්තිය, සාධාරණය පිලිබඳ හැඟීම ලබා දෙන්නට මීට වඩා හොඳ ක්‍රමයක් මා නම් දන්නේ නැහැ.සමාජයේ ජීවත් වෙනවිට යුක්තිය, සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නට අපේ යම් නැඹුරුවක් ඇත්නම්, එයට පදනම වැටෙන්නට මේ නිර්මාණ රස විඳීමත් අනිවාර්යෙන්ම හේතුවක් වෙන්නට ඇති..

``ටයිටස් තොටවත්තයන්ට පින් සිදුවෙන්න ඕනේ අපට ලබාදුන්න සුන්දර ළමා කාලය පිලිබඳව..ලංකාවේ අති විශාල පිරිසක් ඔහුගේ නිර්මාණවල රසිකයන්..රොබින්හුඩ්, දොස්තර හොඳහිත, ගලිවර්, කුංෆු, පිස්සු පූසා, හා හා හරි හාවා ආදී නිර්මාණ කන්දරාවක් රස විඳීමට ශ්‍රී ලාංකේය ළමා පරපුරට අවස්ථාව ලැබුනේ මේ මිනිසා නිසාය. පසුගිය දාක ජීවන ගමන නිමාකර අපෙන් සමුගත් මේ නිර්මාණ කරුවාට පිං අනුමෝදන් කරමින් රොබින්හුඩ් ගැන මගේ මතක සටහන නිම කරන්නට සිතුවා....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters