Showing posts with label චරිත. Show all posts
Showing posts with label චරිත. Show all posts

Monday, July 29, 2013

පණ නැති විපක්ෂයේ හුන් පණ ඇති මිනිසාගේ නික්ම යාම





දයාසිරි තීරණය ගන්න ඇත්තේ අනිවාර්යෙන්ම තමන්ගේ දේශපාලන ගමන, දේශපාලන අනාගතය ගැන හිතලා. බලයට එන්නේ නැති විපක්ෂයක තව දුරටත් කාලය නාස්ති කරනවාද කියන ගැටළුව තමයි ඔහුට විසඳා ගන්න තිබුනේ.මේ ඔහුගේ ජනතා ප්‍රසාදයේ හොඳම කාලය. එයින් ප්‍රයෝජනය අරගෙන, වැඩක් කරලා නමක් තියන්න වයඹ මහ ඇමතිකම හොඳ තැනක්.ඒ නිසා ඔහු ගත්ත තීරණය ගැන දොසක් කියන්න බැහැ.


 නමුත් රට ගැන හිතලා මේ සිදුවීම ගැන බැලුවොත් මේ තීරණය වැරදි එකක්. වයඹ මහ ඇමතිකම හරියට කරන්න පුළුවන් අය ( දයාසිරිටත් වඩා ) ඕනෑ තරම් ඉන්නවා. අතුල නිමලසිරි ජයසිංහලා වයඹට වැඩක් කළ, වැඩක් කරන දක්ෂ මිනිස්සු; මාධ්‍ය මඟින් පිම්බුණු චරිත නොවුණාට.ඒ අයට සින්දු කියන්න බැරිද? ලස්සන නැද්ද? කියන එක වෙනම කථාවක් :) .

දයාසිරි මහ ඇමති වුනා කියලා වයඹ ජනතාවට අමුතු කෙංගෙඩියක් ලැබෙන්නේ නැහැ. ඔහු මේක දක්ෂ විදිහට කළොත් ඔහුට ලකුණු ලැබෙනවා හැරෙන්න. මේක වැටිච්ච තැනක් නෙමේ දයාසිරි ඇවිල්ලා ගොඩ දාන්න.



නමුත් අද මිනිස්සු නැත්තේ කාටද? විපක්ෂයට. මේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරන්න, විවේචනය කරන්න, කරුණු සහිතව හොරකම්, දූෂණ හෙළි කරන්න , කොන්දක් තියෙන, කට තියෙන, දක්ෂ , පණ ඇති මිනිසුන්ගේ අඩුවක් තියෙන කාලයක් මේක.යම් මට්ටමකට දයාසිරි ඒ කාර්යභාර්ය ඉෂ්ට කරමින් හිටියා. එයට තව තවත් එකතු වෙනවා වෙනුවට හිටපු මිනිහත් ගියාම??

Monday, January 28, 2013

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ සදානුස්මරණීය "නිෂ්මි" ගැන මතකයෙන් බිඳක්...



විශ්ව විද්‍යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහෝදර සගයන් අතරේ පිළිගත් නායකයෙක් වන්නටත් කෙනෙකුට හොඳ පෞර්ෂයක් තිබිය යුතු වෙනවා. විශ්ව විද්‍යාලවල දේශපාලනය යන්න බොහෝවිට විවේචනයට ලක්වන්නක් වුණත් බොහෝ සිසුන් තම නායකත්ව ගුණාංග ඔප මට්ටම් කරගන්නේ මේ ක්‍රියාකාරකම් හරහා.

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් ඉහළ නායකත්ව කුසලතා ඇති නායකයන් බොහෝ ගණනක් බිහිකර තිබෙනවා. ඒ නායකයන් අතර ඉහළින්ම කියවෙන නමක් තමයි "නිෂ්මි"....

80 දශකයේ අග භාගයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් නායකයෙක් ලෙස මතුවුණු නිෂ්මි ඒ යුගයේ ස්වාභාවය අනුව "ජෙප්පෙක්" බව ඇත්ත. නමුත් අවුරුදු විසි ගණනකට පස්සේ අපි ආපහු හැරී බලා ඔහු කළ දේශපාලනය හරිද වැරදිද කියා විග්‍රහ කරනවා වෙනුවට මේ තරුණයා පෑ අසාමාන්‍ය නායකත්ව කුසලතාව හා විදහා පෑ අසාමාන්‍ය පෞර්ෂය විග්‍රහ කරගැනීමේ වටිනාකමක් තියෙනවා.


අද වෙනවිට නිෂ්මි ජීවතුන් අතර නැහැ. 88-89 ධවල භීෂණයේදී ඔහු ඝාතනයට ලක්වුණා.

ඔහු ඇසුරු කළ සගයන් එක්ව ඔහු ගැන මතකයන් එක් රැස් කර පොතක් නිර්මාණය කර තිබෙනවා. ඒ "සැඩ සුළඟ සහ මඳ පවන " නමින්. එයට ඔහුත් සමඟ විශ්ව විද්‍යාලයේ සිටි සගයන්, එක්ව දේශපාලනය කළවුන්, විරුද්ධව දේශපාලනය කළවුන්, එකල විශ්ව විද්‍යාලයේ සිටි උප කුලපති මහාචාර්ය අර්ජුන අළුවිහාරේ, ඔහුව මුණගැසී තිබූ ඉහළ හමුදා නිළධාරියෙක් වැනි බොහෝ පිරිසක් ඔහු ගැන සිය මතකයන් හා අදහස් එක්කර තිබුණා.

මේ ඒ පොතේ ඔහු ගැන සඳහන් මතකයන්ගෙන් බිඳක්.


"දැඩි මානුෂීය බවද, කැපී පෙනීමේ උද්ධච්ඡ අදහස් වෙනුවට නිහතමානී නායකත්ව ලක්ෂණද, දැඩි සහෝදර බැඳීමද ඔහු වෙත නොඅඩුව පැවතුණි."....

......"එවකට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිව සිටි මහාචාර්ය අර්ජුන අළුවිහාරේ මහතාගේ ගෞරවාදරයට නිෂ්මි පත්වීමේ හේතුවද, ඔහු සතු තාර්කික හැකියාව සහ අව්‍යාජ නායකත්ව කුසලතාව විය".. 

"නිෂ්මි ශිෂ්‍යන් අතර ජනප්‍රිය ම හා නිර්මාණශීලී ම නායකයා බවට පත්විය.මෙහිදී අනෙක් නායකයන්ට වඩා ඔහු තුළ පැවති සුවිශේෂිම දක්ෂතාවය වූයේ හා කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඔහුගේ තාර්කික හැකියාවයි. ඔහු ඉදිරියේ දී කුමන මතවාදයක අයෙකුට වුව තම මතය ජයගැනීමට හැකියාවක් තිබුණේ නැත.ඔවුහු සෑම විටම මෙන් ඔහු ඉදිරියේ නිරුත්තර වූහ. දේශපාලන වශයෙන් ඔහු හා විරුද්ධ වූ අය පවා නිෂ්මි නිවැරදි අයකු ලෙසද, ඔහු තම ගෞරවනීය නායකයා ලෙසද පිළිගත්හ." ( නිමල් කරුණාසිරි - ආයුර්වේද කොමසාරිස්- බස්නාහිර පළාත් සභාව )

--------------------------------------------------

"නිෂ්මි රෑ එක දෙක වෙනතුරු වැඩ කරලා නිදා ගන්න අක්බාර් නෙල් ශාලාවට එනවා. ඔය වෙලාවට කොල්ලෝ ඒ කාමරේ උඩින් තියෙන හිලෙන් එල්ලිලා එබිලා බලනවා නිෂ්මි ඇවිත්ද කියලා. ඇවිත් නිදි කියලා දැනගත්තොත් ඒ ආරංචිය ඉක්මනට විසිරෙනවා. ඒක යන්නේ රහසින් කෙඳිරීම් වලින්. "නිෂ්මි ඇවිත්. සද්ද කරන්න එපා". මුළු ශාලාවම නිහඬ වෙනවා. හරියට මුළු ශාලාවම  මීයට පිම්බා වගෙයි".............................(අයි.පී.ෂෙල්ටන්)

ඒ ඔහුට සහෝදර සිසුන් අතර තිබුණු ආදරය සහ ගෞරවය...
-----------------------------

"එක වරක් නිෂ්මිගේ බැච් එකේ හිටි විකොස (විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය) දේශපාලනය දැරූ සගයෙක් නුවරදී නිෂ්මිට මුණ ගැසුණ. ඒ වෙලාවේ ඔහු අහක බලා ගත්තා. නිෂ්මි ගොස් ඔහුට කථා කළා, පිටට තට්ටු කරමින්. එතකොට ඔහු කිව්වා "අපි අතරේ දේශපාලන ගනුදෙනු නෑ" කියලා. නිෂ්මි එතකොට කිව්වේ  "මම මේ ආවේ දේශපාලන ගනුදෙනුවකට නෙවෙයි, උඹ මගේ බැචා හින්දා කථා කරලා යන්න" කියලා"....(අයි.පී.ෂෙල්ටන්)

                                                                                             -

------------------------------

පරිපාලනය ඉදිරියේ පෑ පෞර්ෂය..

"ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයේ කිසිම අයෙක් නොකළ විදිහට පරිපාලනය තමන්ගේ ග්‍රහණයට ගන්නට ඔහුට හැකි වුණා. ඔහු සමහරවිට ඔවුන්ට මූණට බැන්නා. නමුත් ඔහු මිය ගිය විට ඇඬුවේත් ඔවුන්. එය එසේ වූයේ ඔහුගේ වූ සුවිශේෂි ගුණය නිසායි. පුද්ගල ඇසුර ගොඩනඟා ගත් අයුර නිසායි. දැඩි විදිහේ ඝට්ටනවලට ගියා. ඔවුන් විසින් ම නිෂ්මිව ආරක්ෂා කළා. කොයිම මොහොතක හෝ පරිපාලකයින් නිෂ්මිව පාවා දෙනු මම දැකලා නැහැ.ඔවුන් වෙන අයව පාවා දෙන්නට ඇති. නමුත් නිෂ්මි පාවා දෙන්නට ඔවුන් දෙවරක් කල්පනා කළා."  (කුමුදු බණ්ඩාර-වෛද්‍ය)


                                                                             

----------------------------------------------
විශ්ව විද්‍යාලය තුළදී ශිෂ්‍ය නායකයන් හා සංවාදයක නිරත වන්නට එකළ මධ්‍යම පළාත භාර ආඥාපති බ්‍රිගේඩියර් රංජන් ද සිල්වා මහතාට අවස්ථාවක් ලැබී තිබුණා. ඒ සංවාදය ගැන ඔහුගේ මතකය ඔහු පළකර තිබෙන්නේ මෙලෙස...

"මා සමඟ සංවාදයට පැමිණියේ නිෂ්මි. නිෂ්මි ඉතාමත් ලස්සනට තමන්ගේ කරුණු ගොනුකොට තර්ක කළා. වාදය ගියේ ඉතා උසස් ආකාරයකින්.ඉතා දියුණු ආකාරයකින්. ඔහු මුළු වාදය පුරාම හැසිරුණේ ඉතාම බුද්ධිමත් අයෙක් ලෙස.ඉතාම ලස්සනට තර්ක ඉදිරිපත් කළා. අතරමැදින් පැනීම් කළේ නැහැ.බාධා කළේ නැහැ.ඇත්තටම මගෙ හිතේ ඔහු ගැන ප්‍රශංසාවක්, ගෞරවයක් ඇතිවුණා." ( බ්‍රිගේඩියර් රංජන් ද සිල්වා )


------------------------------------

"දේශපාලන වශයෙන් පමණක් නොවෙයි. සෑම මිනිසෙකුම මිතුරකු වශයෙන්, සහෝදරයකු වශයෙන් ඔහු දිනාගත්තා."  (මැතිව් ප්‍රනාන්දු-පශු වෛද්‍ය )

============================================================

අද නිෂ්මි නමින් පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ නේවාසිකාගාරයක් නම් කර තිබෙනවා.ඔහු ගැන පුරාවෘතය අලුත් සිසුන්ට අහන්නට ලැබෙනවා. සැබෑ නායකයන්, යුක්ති ගරුක මිනිසුන් ලෙස ගොඩ නැඟෙන්නට එය ඔවුන්ට ධෛර්ය සපයනවා. ඔහු ගැන සම්පූර්ණ මතක සටහනක් ගොඩ නඟන්නට කැපවූ මේ පොතේ සම්පාදකයන්ට සහ එයට දායක වූ සැමට අපගේ ස්තුතිය හිමිවෙනවා.

  

-------------------------------------------------------------

[මේ පොත සම්පාදනය සහ සංස්කරණය කර ඇත්තේ මහින්ද සෙනරත් ගමගේ සහ අනිල් ජයරත්න යන මහත්වරුන්.
නිෂ්මිගේ ඡායාරූපය ගත්තේ මෙතනින්.http://www.arunalla.tk/
ඒ වෙනුවෙන් ස්තූතිය:අරුණැල්ල ලියන රැංගෝට.]

Monday, August 20, 2012

ලලිත් ඇතුලත්මුදලි මහපොළ අරඹමින් කළ හැඟීම්බර කථාව....

      
http://www.star-clicks.com/?ref=50485357
                              
ලලිත් ඇතුලත්මුදලි කියන්නේ මේ රටේ හිටපු ප්‍රබල දේශපාලන නායකයෙක්. ඕනෑම දේශපාලඥයෙකුට වාගේම ලලිත් කෙරෙහිත් දේශපාලන විවේචන තිබෙනවා උනත්, සාපේක්ෂව ගත්තාම ඔහු සැබැවින්ම උගත්, බුද්ධිමත්, දක්ෂ, විශිෂ්ට නායකයෙක් කියන එක බොහෝ දෙනා පිළිගන්නා කාරණයක්.

ලලිත්ගේ නම බැබළෙන්නේ "මහපොළ" නිසා. සැබෑ උගතෙකු වුණු, උගත්කමේ වටිනාකම හඳුනාගත් දේශපාලන නායකයෙකු ලෙස ලලිත් රටට උගතුන් බිහිකිරීමේ ක්‍රියාවලියට විශිෂ්ට මෙහෙවරක් කරමින් මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කළා.

ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් විශිෂ්ට දස්කම් දක්වමින් සිටි කාලයේ හදිසියේ පියා අභාවප්‍රාප්ත වීම නිසා, අධ්‍යාපනය අතරමඟ නතරවීමේ අවදානමක් උදා වුණා. ඔහුගේ විශිෂ්ටත්වය දැන සිටි, ඇතුලත්මුදලි පවුලේ හිතවතෙකුද වූ එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක අගමැතිතුමා ඔහුට ශිෂ්‍යත්වයක් ලබාදී, විශිෂ්ට ගමනකට උරුමකම් කියන මේ තරුණයාගේ ගමන අතරමඟ නතරවීමේ අවදානම දුරුකර ලන්නට සිය සහයෝගය ලබාදුන්නා.තමන් ලද ඒ සහායට රටට, ජනතාවට කළගුණ සැළකීම"මහපොළ" ආරම්භයට ලලිත් පෙළඹ වූ සිතුවිල්ලක්.

81 ඔක්තෝබර් 6 වෙනිදා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල-පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ලලිත් කළ කථාව ඔහුගේ විශිෂ්ටත්වය පිළිබඳව මනා සාධකයක්.

"1958 දී ඇතැම් කරුණු නිසා මගේ අධ්‍යාපනය ගෙන යන්නට මට මුදල් අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේ අගමැති වශයෙන් සිටියේ දිවංගත එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක මැතිතුමායි.අධ්‍යාපන ඇමති වශයෙන් එදා සිටියේ ආචාර්ය ඩබ්ලිව්. දහනායක මැතිතුමායි. ඒ අවස්ථාවේ නව ශිෂ්‍යත්වයක් වන "රෝඩ්ස්" ශිෂ්‍යත්වය සඳහා තරඟ කරන්නට අවස්ථාව දෙන ලෙස මම ඉල්ලා සිටියා.
  
  නමුත් එදා අගමැතිව සිටි දිවංගත ගරු බණ්ඩාරනායක මැතිතුමා මට කෙළින්ම කිව්වා තමුන්නාන්සේට "රෝඩ්ස්" ශිෂ්‍යත්වය ලබා ගන්නට ඉඩ දෙන්නේ නැහැ කියා. එතුමා සාධාරණ හේතුවක් උඩයි මට එහෙම කළේ. එතුමා මට කිව්වා තමුන්නාන්සේ මේක ඉල්ලුවොත් තමුන්නාන්සේට මේක ලැබෙයි.නමුත් තමුන්නාන්සේ පිටරට ගිහින් යම් යම් අත්දැකීම් ලබාගෙන පැමිණි කෙනෙක්. මම තැත් කරන්නේ තවත් කෙනෙකුට පිටරට ගිහින් තමුන්නාන්සේ ලබාගෙන තිබෙන ඒ පළපුරුද්ද, ඒ අත්දැකීම, ඒ අධ්‍යාපනය ලබාගන්නට අවස්ථාව දීමටයි කිව්වා. 

මම එතුමාට ඒ අවස්ථාවේදී කිව්වා, එහෙනම් මට මොකවත් කරන්න බැහැ. මට ඉතින් තවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියා. එතුමා ඊළඟට මට කිව්වා, මම මේ රටේ අගමැතිතුමා හැටියට සිටින තාක් තමුන්නාන්සේ අධ්‍යාපනයෙන් දැන් පෙන්වා තිබෙන දක්ෂතාව කෙටි කරන්න මම වැඩ කරන්නේ නැත. 
තමුන්නාන්සේගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන්න තමුන්නාන්සේට ශිෂ්‍යත්වයක් පිරිනමනවාය කියා. 


ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ අවස්ථාවේදී මම ප්‍රසිද්ධියේ එතුමාටත්, එතුමාගේ කැබිනට් මණ්ඩලයටත්, හිටපු අධ්‍යාපන ඇමති ආචාර්ය දහනායක මැතිතුමාටත් මගේ අවංක ස්තූතිය පුද කරන්න කැමතියි. ඒ වාගේම මේ පරිත්‍යාගශීලී පනතින් යම් පිනක් අත් වෙනවා නම් එතුමාටත් එතුමා වැනි පුද්ගලයින්ටත් ඒ පින් අත්පත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

-----------------------------------------------------

මට ඒ ශිෂ්‍යත්වය දෙන වෙලාවේදී බණ්ඩාරනායක මැතිතුමා මට කළ ප්‍රකාශයක් මම කියන්න ඕනෑ. එතුමා කිව්වා, තමුන්නාන්සේ ආපසු මව් රටට ඇවිත් තමුන්නාන්සේට පුළුවන් සේවයක් රටට කරන්නය කියා.එපමණයි, එතුමා මගෙන් ඉල්ලුවේ. මගේ පක්ෂයට බැඳෙන්නය, මගේ පවුලට වැඩ කරන්නය, මගේ කණ්ඩායමට උදවු කරන්නය කියන විදියේ පටු හැඟීම්වලින් තොරවයි එදා බණ්ඩාරනායක මැතිතුමා මට උපදෙස් දුන්නේ. 

මම මේ අවස්ථාවේදී එක කාරණයක් කියන්නම්, බණ්ඩාරනායක අගමැතිතුමා මට කිව්වා වගේ මේ මහපොළ ශිෂ්‍යත්වලාභීන් සෑම කෙනෙකුගෙන්ම මම ඉල්ලා සිටින්නේ, මේ උසස් අධ්‍යාපනය ලබාගෙන ඇවිත් එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්න කියා නොවෙයි. කරුණාකර කුමන ආකාරයකින් හෝ මේ රටට සේවයක් කරන්න කියායි.ඒකයි මෙහි පරමාර්ථය.ඒකයි මෙහි ක්‍රමය.

   සම්පූර්ණයෙන්ම පටු අදහස්වලින් තොරව මේ ශිෂ්‍යත්වලාභීන්ට පණිවුඩයක් දෙනවානම් ඒ පණිවුඩය මේකයි. "මේ සමාජයෙන් තමුන්නාන්සේලාට ලබාදෙන්න පුළුවන් දේ දී තිබෙනවා; තමුන්නාන්සේලා උසස් අධ්‍යාපනය ලබාගෙන ඇවිත් කරුණාකර තමුන්නාන්සේලාගෙන් සමාජයට ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න" කියන එකයි.

උසස් අධ්‍යාපනයට එන අය හුඟාක් උසස් අය. සාමාන්‍ය පුද්ගලයන් නොවෙයි. අධ්‍යාපනයෙන් උසස්; ඤානවන්තකමින් උසස්; ඒ අය මේ රට අලංකාර කරන්න පුළුවන් අයයි. මේ රට ශ්‍රේෂ්ඨ රටක් කරන්න පුළුවන් අයයි. මට මේ අවස්ථාවේදී මතක් වෙනවා, දිවංගත ඇමෙරිකන් ජනාධිපති කෙනඩි මහතා කළ ප්‍රකාශයක්. එතුමා ශිෂ්‍යත්වලාභීන්ට අවවාද කරමින් කී දේ මට උපුටා දක්වන්න පුළුවන් නම් මෙන්න මේ අදහසයි එහි ඇත්තේ. "අද පටන් ශිෂ්‍යත්වලාභීන් කල්පනා කළ යුත්තේ රටින් තමන්ට ගන්න පුළුවන් ප්‍රයෝජනය ගැන නොව, තමන්ගේ රටට දෙන්න පුළුවන් සේවය ගැනයි.එය ඉංග්‍රීසියෙන් කියනවා නම් මෙහෙමයි:


From now on you must ask not what your country can do for you but what you can do for your country"





අද මහපොළ ලබන්නන්, මේ වචනවල සැබෑ වටිනාකම හඳුනා ගන්නේ නම්...

[කථාව උපුටා ගැනීම - " නොනිමි මෙහෙවර"- ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය - රංජිත් අමරකීර්ති පළිහපිටිය] 


http://www.star-clicks.com/?ref=50485357

Tuesday, July 31, 2012

අපි විජය මැරුවේ ඇයි?...ලයනල් රණසිංහගේ පාපෝච්චාරණය...!




කලින් ලිපිය මා ලිව්වේ විජය කුමාරතුංගයන්ගේ ගීත ගැන. විශේෂයෙන්ම ඔහුගේ "වේදනා" නම් වූ සුවිශේෂි කැසට් පටය ගැන. මේ ගැන රාජ්ගේ නවාතැන ලියන රාජ් සහෝදරයාත් ලිපියක් ලියා තිබුනා මගේ ලිපිය ගැනත් සඳහන් කරමින්. ඒ වෙනුවෙන් රාජ් ට මගේ ස්තූතිය.

විජය කුමාරතුංග කියන්නේ සුවිශේෂි චරිතයක්. නළුවෙක්, ගායකයෙක්, දේශපාලඥයෙක් විතරක් නෙමෙයි සැබෑ මිනිස්කම්වලින් පිරි සුන්දර මිනිසෙක් ලෙසත්. ඒ මිනිස්කම හුදු මාධ්‍ය ප්‍රතිරූපයක් නොවෙන බව පැහැදිලි වෙනවා; අපේ රටේ සිටින විශිෂ්ටතම කලාකරුවන් ඔහුගේ මරණයෙන් කම්පිතව ඔහු ගැන ගීත පවා නිර්මාණය කර තිබීමෙන්.

අමරදේව විජය ගැන ගැයූ ගීතය..

මධුර ගායන- චතුර රංගන
නිසඟ පිළිවන්- වාසනා යුත්

විජය සබඳිනි- ගයමි ගුණ ගී
ඔබේ මනු ගුණ- බැතින් සමරමි...

එඩ්වඩ් ජයකොඩි ගායනා කරන "මිතුරේ" ගීතය ලියවී ඇත්තේද විජය වෙනුවෙන්.

මෙවන් අවංක, නිරායාස ගෞරවයක් දිනාගත් අයෙක් ලංකාවේ තවත් සිටියේද?

---------------------------------------------------------------

ඔහුගේ මරණය 80 දශකයේ අග භාගයේ ලාංකේය සමාජය හෙල්ලුම් කැවූ ඝාතනයක්. නාරාහේන්පිට, පොල්හේන්ගොඩ ඔහුගේ නිවස ඉදිරිපිටදී ඔහුට වෙඩිතබා ඝාතනය කරන්නේ 88 පෙබරවාරි 16 දා. ඝාතනය සම්බන්ධව අදටත් බොහෝ වාද විවාද/ මති මතාන්තර තියෙනවා.

මේ වෙඩි තැබූ T-56 තුවක්කුව ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ යැයිද මේ ඝාතනයට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි ද  කියවෙනවා.

මේ සම්බන්ධව රහස් පොලීසිය අත් අඩංගුවට ගත් ලයනල් රණසිංහ හෙවත් ගාමිණී නමැති ජේ.වී.පී. සාමාජිකයා පිටු 141 ක කට උත්තරයක් රහස් පොලීසියට ලබාදී තිබුනා.

මේ එම කට උත්තරයෙන් උපුටා ගත් කොටස්...



""අපි විජය මරා දමන්න සැලසුම් කළේ පිළියන්දල, දම්පේ තියෙන "San Michele" හෝටලයේදී. එදා ඒ හමුවට දේශ විමුක්ති ජනතා ව්‍යාපාරයේ කොලඹ දිස්ත්‍රීක් නායක ජයන්තත් JVP සාමාජිකයන් වන හේරත් සහ අසෝකත් මමත් සහභාගි වුණා. හෝටලයේ එළිමහනේ "cabana"එකක් යට ඉඳගෙන Coca-cola බොමින් අපි විජයගේ මරණය සැලසුම් කළා...."

"ජයන්ත මට සහ හේරත්ට කිව්වා අපට විශේෂ වැඩක් පැවරීමට තියෙනවා කියලා.ඔහු කිව්වා; විජය කුමාරතුංග ඉවත් කිරීමට තියෙනවා කියලා. ඒකට හේතුව විදිහට ජයන්ත කිව්වේ විජය ඉන්දු ලංකා සාම ගිවිසුමටත් පළාත් සභා ක්‍රමයටත් සහාය දැක්වීමයි"

-----------

"අපි නිවස ඉදිරිපිට පාරට වී බලා ඉන්න විට විජය ගෙදරින් එළියට ආවා. ඔහු එළියට ඇවිත් gate එක ලඟ කෙනෙක් එක්ක කථා කරන්න පටන් ගත්තා.ඔහු හිටියේ අපට පිටුපාලා. මමයි, හේරතුයි bike එකට නැංගා. මම bag එක ඇරලා gun එක අතට ගත්තා.

හේරත් bike එක නැවැත්තුවා විජයට යාර 20 ක් විතර දුරින්. විජය හිටගෙන හිටියේ gate එක ලඟ, අපට පිටුපාලා, අර මනුස්සයාට කථා කරමින්. මම විජයට පිටුපසින් වෙඩි දෙකක් තිබ්බා bike එකේම ඉඳගෙන. ඔහු ඇදන් වැටුණා. මම bike එකෙන් බැහැලා ඔහු ලඟටම ගිහින්, ඔහුගේ ඔලුවට වෙඩි පිට වෙඩි ගණනාවක් තිබ්බා.............................................................!!!!



Wednesday, July 18, 2012

වළාකුළකින් මුවාකළ හිරු හෙවත්....විජය කුමාරතුංග නම් වූ ගායකයා....






දවසක් ගොම්මන් වෙලාවේ...
මං අහුවුණා නා කපන වරුසාවකට...
දර කෝටු ටිකකුත් ඉනේ තියන්...
ළිඳක් ගාව තනිවුණු අම්මා කෙනෙක් මං දැක්කා..
ඇගේ මූණේ තිබුණා මහා දුක්බර ගතියක්.....
මොනවද ඈ හිතන්නේ...
මේ ඈ හිතන දේවල් වෙන්න ඇති කියලා මට හිතිච්ච හැටි...


වියූ පැදුර ගෙයි මිදුලේ....
ළිඳ ගාවයි වතුර කළේ...
තවම කැළේ දර උකුළේ...වහිනවා වැහී...
පුතා ගෙයි නිදී....පැල තෙමෙනවා ඇතී...
අහස ගුගුරුවා....
වහිනවා වැහී....
                                                ගීතය මෙතනින්.



එය අපූරු කටහඬක්. අතිශයින් විරල මෙන්ම පෞර්ෂයෙන් පිරුණක්; එහි අයිතිකරු වාගේම.




ජේ.ආර් යුගයේදී විජය නිකුත් කළ " වේදනා " කැසට් පටය සුවිශේෂයි. එය ගැයෙන්නේ කපුගේ ගේ "කම්පන" සහ නන්දා ගේ " පවන" ට කලින්. ලංකාවේ මුල්ම දේශපාලන විරෝධාකල්ප ගීත කැසට් පටය දැයි මා  දන්නේ නැහැ. සුනිල් ආරියරත්න ලියූ කපුගේ සංගීතවත් කළ මේ ගීතය අදටත් ජනප්‍රියයි.


දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්...
අළුගෝසුවනේ එල්ලාපන්....

අළුගෝසුවනේ එල්ලාපන්..
කටු ඉඹුලේ අප එල්ලාපන්...











මා දන්නා තරමින් මේ කැසට් පටය නිකුත් වුණේ 80 දශකයේ මුල් භාගයේ. උගත්, රැකියා විරහිත, සමාජ අසාධාරණයට ලක්වූ ලාංකේය තරුණ පරපුරේ අසහනය ගැන සමාජයට පෙන්වා දුන් මේ නිර්මාණ බිහිවුණේ ඒ අසහනය මෝරා පුපුරා යෑමට බොහෝ කලකට පෙර. නමුත් ඒ ගැන සමාජයේ හෝ පාලක පන්තියේ අවධානයට ලක් වූයේ නැහැ ඒ අසහනය පුපුරා යන තෙක්ම. වඩාත් අවාසනාව ඔහුද ඒ පුපුරා යාමේ ගොදුරක් වීම...

වහලේ යටලීයේ....
එල්ලී මිය ගිය මගේ මලේ..
මළේ කිමද නුඹ දනිමි මලේ...

බලය වෙනුවෙන් මුළු මහත් රටම අවුලට ඇද දමා,අද දවසේදී ගාලු මුවදොර පිටියේ පිළිම වෙමින්, උපන් බිමට පිටුපා මහ සයුර දෙස බලා හිඳින්නේ ඇත්තටම "වීරයන්ද"??? සුනිල් ආරියරත්නයන්ගේ චින්තනය විජය ගේ ගැඹුරු හඬින්...


උපන් බිමට පිටුපා..
කෞතුක මන්දිරයක මිදුලට බැස...
මහ සමුදුර වෙත දෑස යොමාගෙන...
සිටිනා වීරයිනේ....
නුඹය මෙදා අප විඳිනා ගැහැටට....
වග උත්තර කරුවෝ...

ගමේ වෙසෙන පෙම්වතිය ගැන කොළඹ රැකියාවකට පැමිණි තරුණයාගේ සිතුවිලි ගීයකට නැගුණු අපූරුව..


පාළු රැයකදි මුහුදු වෙරළේ...
තනිව හිඳිනා විට ඔහේ..
අහස මුදුනට සඳ ඇවිත් මට..
කියයි ඔබ ගැන කොඳුරලා...

කඳුකරේ සිටිනා මගේ පෙම්...
මිහිරියාවිය සිහිවෙලා..
කොළඹ නගරය හනික හැරදා...
එන්න හිතෙනවා පියඹලා....



වෙනස් ආකාරයේ මව් ගුණ ගීයක්...

තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න..
මගෙ රත්තරන් අම්මේ..
මං පඩි අරන් අද හෙට එනතුරු ගමට...
තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට...

පියෙකුගේ, සැමියෙකුගේ දයාබර සිතුවිලි....


කවුළුව අතරින් හිරිපොද එනවා...
පොල් අතු වහළින් පිණි බේරෙනවා..
සොඳුරිය මාගේ පුංචි පුතා මා...
උකුලෙ හොවා නළවනවා...



රට සල්ලි සොයා මැද පෙරදිග ගිය ශ්‍රමිකයන්ගේ ජීවන ගීතය....

වළාකුළක් ගෙන මුවා කරමු හිරු..
ගිනිගෙන වියරුව නළියන වැලි කතරේ...
රත්වුණු වැලිකැට පුපුරණ...
මැද පෙරදිග මරු කතරේ....






"සහරාවේ සිහිනය" චිත්‍රපටයට ගැයුණු මේ ගීයට ඔහුට එම වසරේදී හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සම්මානය හිමිවුණා.


ඔරු කඳ පාවී...දියඹට යාවී..
.සීතල මාරුතයේ.....

රළ පෙරලී විසිරී පාවී යාවී....
සිතුවිලි සාගරයේ...





දිවිපෙවත සරි කර ගැනීමට දිවි පරදුවට තබා මුහුදට යන ධීවර සොයුරන් ගැන දයාවෙන් ගැයුණක්..


නමුත් ධීවරයන් ගැන ගැයුණු  ගීත අතර ඉහළම ජනප්‍රියත්වය දිනාගත්තේ මේ ගීය.......

රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ...
යන්නම් දියඹට රෑ යාමේ....

අඹු දරුවෝ මා දෙවියො රකීවා...
එනතුරු මා උදේ මා...

                                                                                 


මෙය ගැයුණේ ගැල්කරුවන් ගැන...

මිණි කිංකිණි හඬ පරදා....
මේ ගැල් ගමනේ....
කළුවර කතරේ...
කඳු වැටි මානේ...
දුක් ගිනි රාවේ සවනත පෑවේ...
සුදු මැණිකේ...

                                                    ගීතය මෙතනින්.



ගඟ අද්දර ච්ත්‍රපටයට විජය ගැයූ මේ ගීයේ, වසන්ති චතුරානි සමඟ විජය රඟන රූප රාමු බොහෝ දෙනෙකුට මතක ඇති....

ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී...
හද සන්තක විය අනුහස් ආසිරි ගී...
ඔබ හමුවේ මා...
මුව ගොළු වූවා...

                                                    ගීතය මෙතනින්.



විජයගේ හඬට එක්වූ චන්ද්‍රලේඛාගේ හඬ මවන සෞන්දර්ය....


සැරයටියෙන් අපි යනෙන තුරා...
සංසාරේ අපි එකට ඉමු..
සංසාරෙන් අපි සමු ගන්නා දා..
ඒ ගමනත් අපි එකට යමු...

                                                        ගීතය මෙතනින්.


පායා සීත රැයේ, රූස්ස ගහ ලඟ, දේවදාර ගස් අතරින්... විජයගේ කටහඬින් ගැයුණු තවත් සුන්දර ගීත කීපයක්......





ලාංකේය සමාජයේ මෑත ඉතිහාසයේ ජීවත් වූ අසීමාන්තික ජන ප්‍රසාදය දිනූ මිනිසාගේ  කටහඬින්, ගායන කෞශල්‍යයෙන් නිමැවුණු ගී වල සෞන්දර්ය  සහ රස මිහිර හඳුනන්නෙක්ද ඔබත්? එසේනම් මේ ඇරැයුම "විජය ගීත" ගැන ඔබේ අදහස්වලට...

Thursday, July 5, 2012

කමල් අද්දරආරච්චි.... නැවතත්....!



උන්මාද වූ ප්‍රේමාදරේ....සමනල වසන්ත යව්වනයේ.....
සංසාරයේ සුභ ප්‍රාර්ථනා...ඉඳුනිල් දෙනයන සටහන් වේ......





සංගීතා වීරරත්න රඟන්නී ඔහු සමඟිනි. දමයන්ති ජයසූරිය ගයන්නී ද ඔහු සමඟිනි."සප්ත කන්‍යා" චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වූ මේ ගීය සිය ආකර්ශනීය රංගනයෙන් හා හැඟීම්බර කටහඬෙන් රස ගැන්වූයේ ඔහුයි.

 එච්.ඩී.ප්‍රේමරත්නගේ "සප්ත කන්‍යා" 90 දශකයේ ලාංකේය සිනමාවේ ආකර්ශනීයම චිත්‍රපටයක්.එහි අනෙක් ගීතය, රූකාන්ත ගයන "සුවඳ දැනී දැනී දැනෙනවා" හි ජනප්‍රියතාව ද අදට ද අඩුවී නැහැ. සප්ත කන්‍යා හි කමල්ගේ රංගනය ඔහුගේ ආකර්ශනීයම රංගනයන්ගෙන් එකක්.  

------------------------------------------------------------------


"සඳකැන් දහරින්  දෙනුවන් පිරිලා...
දෙනුවන් කැළුමෙන්  පියුමන් සැලිලා"....





ඒ "වෙද හාමිනේ". විස්මයජනක දේශීය වෛද්‍ය ක්‍රමය පසුබිම් කරගෙන ජයන්ත චන්ද්‍රසිරි මැවූ රූපවාහිනී වික්‍රමය...

.ලේ පිළිකාවවක් වැළඳෙන ධනවත් තරුණ ව්‍යාපාරිකයා..ඔහු අතින් අනාථ වන සහ අමතක කර දැමෙන වෙද මහතාගේ තරුණ දියණිය..දෛවයේ සරදමින් ලේ පිළිකාව ඔහුගේ පුත්‍රයාටද වැළඳුන විට........
අන් කවර පිහිටද? සොයා යනු හැර ...ඒ අනාථ කර අමතක කර දැමුණු වෙද හාමිනේවම....

ප්‍රේමය අභියස අප්‍රමාණ සුන්දරත්වයකින් විකසිත විය හැකිව තිබූ මනුෂ්‍ය ආත්මයක්,එකී ප්‍රේමයේම උහුලාගත නොහැකි පරිපූර්ණ පෞර්ෂය අභියස දැවී යන ආකාරය රූපවාහිනි තිරයේ මැවූ "වෙද හාමිනේ", ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ මහරු මිණක්."වෙද හාමිනේ" කොතරම් අපූරු සිනමා නිර්මාණයක් කරන්නට තිබුණි දැයි මට හිතෙනවා.

 ගුනේන්ද්‍ර නම් ධනවතාද දීමන්ත නම් ඔහුගේ පුත්‍රයාද ලෙසින් ද්විත්ව චරිත රඟපෑ කමල්ගේ  ප්‍රබල රංගන  "වෙද හාමිනේ" හි සාර්ථකත්වයේ ප්‍රබල සාධකයක්.

------------------------------------------------------------------




දේශීය අංගම්පොර නම් සටන් ක්‍රමය පසුබිම් කර ගනිමින් ජයන්ත චන්ද්‍රසිරි ලාංකේය රූපවාහිනි ප්‍රේක්ශකයා අමන්දානන්දයට පත්කළ අනෙක් නිර්මාණය "දඬුබස්නාමානය". අසරණ, අහිංසක, ගුටි කන කොලු ගැටයෙකුගේ සිට, එල්ලවන අනේකවිධ අභියෝග හමුවේ, ප්‍රබල අංගම්පොර සටන් කරුවෙක් දක්වා වර්ධනය වන " රනා" ගේ චරිතය..කමල් අද්දරආරච්චි නම් විශිෂ්ට  රංගධරයාගේ තවත් සුවිශේෂි රංගනයක්.

--------------------------------------------------------------------




  2005 දී තිරගත  වූ ජයන්ත චන්ද්‍රසිරිගේ  "ගරිල්ලා මාකටිං" ....

දේශීයත්වයේ මුල් සිඳගත්, විදෙස් ගැති ,"බෙර ෆෝබියාවෙන්" පෙළෙන "ග්‍රෙගරි මහාධිකාරම්" ලාට දේශීය සළුපිළි පළන්දන ගරිල්ලා මාකටිං ව්‍යාපාරය මෙහෙයවන නිර්මාණශීලී තරුණයා "තිසර"..

.කමල්ගේ තවත් මා අගය කරන රංගනයක්.  


------------------------------------------------------------------------


"මේ රාත්‍රිය ප්‍රදීප් ගෙද? ....ඔහු අතුරු සිදුරු නැතිව පිරී උන් ප්‍රේක්ශකාගාරයෙන් අසයි.මහා ප්‍රතිචාරයකි. අනෙක් පස හැරෙන ඔහු නැවත අසයි. " මේ රාත්‍රිය සුරේන්ද්‍ර ගේද" නැවත මහා ප්‍රතිචාරයකි. වේදිකාව ඉදිරිපසට හැරෙන ඔහු නැවත ප්‍රශ්න කරයි." මේ රාත්‍රිය කමල් ගේද?"

මා සිතන්නේ ඒ රාත්‍රිය ඔහුගේ බවයි.

 ඇත්තෙන්ම මුළු රටම ඒ වැඩසටහනට ආකර්ශනය කරගත් සැබෑම සුපිරි තරුව ඔහුයි.සමස්ථ ප්‍රේක්ශකයා තුළ කුතුහලය උපරිමයෙන් මවමින්.නවතම නිවේදන රටාවක් හඳුන්වා දුන්නේ අලුතෙන් නිවේදන කලාවට අතගැසූ මේ දක්ෂ මිනිසා.(ඉන්පසු බොහෝ රියැලටි නිවේදක, නිවේදිකාවෝ ඔහුව අනුකරණ‍ය කරමින් කුතුහලය මතුකිරීමට දැරූ උත්සහයන්ගෙන් මතුවුනේ කුතුහලයට වඩා හාස්‍යය.).

--------------------------------------------------------------------


 ඔහු සිනමාවට පිවිසෙන්නේ 1982 දී " සාගරයක් මැද " චිත්‍රපටයෙන්.

 "හිරුට මුවාවෙන්" හෙවත් "ඉඳි ආප්ප කථාව" ........ "රතු රෝස" ....යනු අමතක කළ නොහැකි , අතිශයින් ජනප්‍රියත්වය දිනූ ඔහු රඟපෑ ටෙලි නාට්‍යය.... 

සත් වසරකට පසු .කමල් අද්දරආරච්චි නැවතත් සිනමා නිර්මාණයකින් අප හමුවට එන බව කියවෙන්නේ,
 වියපත් සිත්තරෙකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධි දාමයක්
ඇතුළත් යැයි සඳහන් Colour  නම් වූ චිත්‍රපටයෙන්..

හිරුට මුවාවෙන් හි දඟකාර තරුණ්‍යය මැවූ කමල් .Colour හි වියපත් සිත්තරෙක් වන සැටි දකින්නට අපි බලා හිඳිමු.


.


Wednesday, May 9, 2012

හිරුණිකාගේ සෙල්ලම් තව කොච්චර කාලෙකටද?


පරණ හිංදි ෆිල්ම් වල සුලභ කථා තේමාවක් තමයි තම පියා මැරූ දුෂ්ටයාගෙන් පළිගැනීමට සටන් වදින වීරයාගේ කථාව. ඒ උනත් වීරයෙක් වෙනුවට වීරවරියක් ඉන්න කථානම් මට බලන්න ලැබිලා නැහැ. ඒත් ලංකාවේ දේශපාලනයේ වර්තමානයේ රඟ දැක්වෙන හිරුණිකා-දුමින්ද කථාන්දරෙන් ඒ අඩුව යම් තරමකට මඟ හැරෙන බවක් පේන්න තියෙනවා.
   
ධන බලය, මැර බලය, දේශපාලන බලය හැම එකක්ම තියෙන දුමින්ද සිල්වාට දුෂ්ටයාගේ චරිතය සඳහා හැම සුදුසුකමක්ම තියෙනවා. ඒ වගේම හිරුණිකාට ආකර්ශනීය රුවක් තියෙන එකත් මේක හිංදි ෆිල්ම් එකක් වගේ දකින්න හොඳ හේතුවක් සපයනවා.

දුමින්ද සිල්වා මීට කලිනුත් දුෂ්ටයාගේ චරිතය රඟපාපු අවස්ථා තියෙනවා. ඒ වෙලාවේ කෙල්ලගේ චරිතය කළේ අනර්කලී. අනර්කලී ඔහු හා අමනාපව ඔහුගෙන් ඉවත් වූ විට ඔහු සිය පිරිවර සමඟ ආයුධ සන්නද්ධව ඇගේ නිවසට  පැමිණ හැසිරුණු ආකාරය ඇය පුවත්පතකට විස්තර කර තිබුණේ "හරියට ෆිල්ම් එකක විලන් කෙනෙක් වගේ" කියලා.

හිංදි චිත්‍රපටනම් අවසාන වුනේ දුෂ්ටයා පරාජය වී සාධාරණය ජය ගැනීමෙන්. නමුත් හිරුණිකා-දුමින්ද කථාව හිංදි චිත්‍රපටයක් නොවන බව අපට මතක් කර දෙන්න එහි අවසානයට පුළුවන් වේවි.

            =============================================== 

පාඨලී චම්පික රණවක තමන්ගේ "පටිසෝතගාමීව තිස් වසක්" පොතේ සඳහන් කරනවා; දේශපාලනයේදී "මාධ්‍ය බුබුළු" වල වැදගත්කම. කාලය, මුදල්, ශ්‍රමය වැය කරමින් බොහෝ කැපවීමෙන් කරන සංවිධාන කටයුතු ඉක්මවා; මාධ්‍යය ආකර්ශනය හිමිවන සිද්ධිවලින් ජනතා අවධානය ලබාගැනීම කොතරම් ප්‍රබලව සිදුවෙනවාද යන්න ඔහු එහිදී විස්තර කරනවා.

කොළොන්නාව ප්‍රදේශය මූලික කර ගනිමින් 80 දශකයේ ආරම්භයේ පමණ සිට දේශපාලනයේ යෙදුණු භාරත ලක්ෂ්මන් ශ්‍රීලනිපය තුළ යම් මට්ටමකට ප්‍රබල චරිතයක් වුවත්, ජාතික මට්ටමේ අවධානයට ඔහු වැඩිපුර ලක්වූයේ යැයි පැවසීම අසීරුය. එසේ වුව ඔහුගේ ඝාතනයෙන් පසුව ගතවූ මාස 7 ක පමණ කාලය තුළ ඔහුගේ දියණිය, සිය පියා ඉක්මවා යමින් ජාතික මට්ටමේ අවධානයක් ලබන්නේ චම්පිකගේ වචනවලින් කියන්නේ නම් "මාධ්‍ය බුබුළක්" ලෙස මාධ්‍යයේ අවධානය ලබා ගන්නට සමත්වීම නිසාය.


ඒ එසේ වුව සුරූපී බව පමණක් සුදුසුකම් කරගත් අනර්කලී ආකර්ශා සහ උපේක්ෂා ස්වර්ණමාලී වැනි වර්තමාන "දේශපාලන නායිකාවන්" දෙස බලන විට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිටින්නේ ගව් ගණනක් ඉදිරියෙනි. ජනතා ආකර්ශනයට ඉවහල් වන "රූමත්කමට" අමතරව උගත්කමද දේශපාලනික දැනුමද කථිකත්වයද නිර්භීතකමද ආදී නායකත්ව සුදුසුකම් ප්‍රමාණවත් මට්ටමකින් තමන්ට ඇති බව ඇය පසුගිය කෙටි කාලය තුල පෙන්නුම් කළාය. කාන්තා නියෝජනය ප්‍රමාණවත් මට්ටමක නැති දකුණු ආසියානු දේශපාලනය තර්කයක් කර ගනිමින් අනර්කලීගේ සහ "පබා"ගේ දේශපාලන නායකත්වයන් සාධාරණීකරණය කළ අයට, දැන් ඔවුන්ට වඩා ඒ සඳහා සුදුසුකම් ඇත්තියක් ලෙස හිරුණිකා පිළි ගැනීමට සිදුවෙයි.

ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීමකදී, ජනතා කෝපය ඇවිලෙන සිදුවීමකදී, "කල් මැරීමේ" උපක්‍රමයෙන්, සිදුවීම ජනතාවට අමතක වන තුරු සිටීම නිරන්තරයෙන් භාවිතා වෙන උපක්‍රමයයි. සිදුවීමෙන් කලකට පසුව එළියට බසින දේශපාලඥයා නැවත සුපුරුදු හැසිරීම අරඹයි. මර්වින් සිල්වා සම්බන්ධයෙන් කීප වරකදීම සාර්ථකව මේ ක්‍රමය අත්හදා බැලිණි.ඒ අර්ථයෙන් ගත්විට, ඇත්තෙන්ම මාස 7 කට පසුව භාරත ඝාතන සිදුවීම ජනතාවට අමතකව යා යුතුව තිබුණකි.නමුත් එය එසේ නොවී ඇත්තේ හිරුණිකාගේ නිරන්තර හඬ නැඟීම නිසාය. එසේ නොවුනේ නම්, දුමින්ද සිල්වාට මේ වනවිට සිංගප්පූරුවේ සිට පැමිණ නැවත සුපුරුදු සෙල්ලම් පෑමට සහ නියෝජ්‍ය ඇමති ධූරයකින් පිදුම් ලැබීමටද අවස්ථාව සැකසී හමාරය. නමුත් මේ " නාහෙට නාහන" කෙල්ල නිසා එයට තවත් " කාලය" අවශ්‍යය වනු ඇත.


ඇගේ අනාගත දේශපාලන භූමිකාව තීරණය වනු ඇත්තේ භාරත නඩුවේ තීන්දුව මතය. ඇගේ අරමුණ දුමින්ද සිල්වා දඬුවම් ලබනු දැකීම බව පැහැදිලිය.නමුත් එය එසේ වීමට ඇති ඉඩකඩ අඩු බව පෙනෙන්නට තිබෙන කාරණයයි. දුමින්ද සිල්වා මෙම නඩුවේ වග උත්තරකරුවෙක් ලෙස නම් කෙරුණේ නඩුව ඇරඹී මාස කීපයකට පසුව වන අතර මේ වනවිට ඔහුද මේ සිදුවීමෙන් අගතියට පත්වූවෙකු ලෙස නම් කෙරී ඇත.මෙවැනි සිදුවීම් වලින් පෙනෙන්නේ ඇය බලාපොරොත්තු වන මට්ටමේ තීන්දුවක් ලැබීමට ඇති ඉඩකඩ අවම වන බවය. එදිනට ඇය කරන්නේ කුමක්ද?

තම පියාට නීතියෙන් සාධාරණය ඉටු නොවුණහොත් ජනතාව සමඟ පාරට බසින බව ඇය ප්‍රකාශ කර තිබුණි. නමුත් උසාවි තීන්දුවකට එරෙහිව පාරට බැසීමෙන් කල හැකි කෙංගෙඩියක් නැත.

ඇගේ එකම දේශපාලන ප්‍රකාශනය, පියාගේ ඝාතනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා පෙනී සිටීම පමණක්ම නම්, ඇයට ජනතාව සමඟ යා හැකි දේශපාලන ගමනක් නැත. මේ වෙනුවෙන් යම් හිතවතුන් කොටසක් ඇය සමඟ සිටිනු හැකි වුවද සාමාන්‍ය පොදු ජනතාව දිගින් දිගටම ඒ කාරණය වෙනුවෙන් ඈ පසුපස ඒ යැයි සිතිය නොහැක.

එක්කෝ ඇයට වන්නේ නිහඬ වීමටය. ඒ වෙනුවෙන් බොහෝ බලපෑම් දැනටමත් ඇයට එල්ල වනවා ඇත.තර්ජන, බිය ගැන්වීම් වලට අමතරව උපක්‍රමිකව ඇය නිහඬ කරලීමටද බොහෝ කටයුතු තිරයෙන් පසුපස ක්‍රියාත්මක නොවන්නට හේතුවක් නැත.දැනටමත් ඇගේ මව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තනතුරක් ලබාගෙන ඇත.මව සහ සොයුරා වෙනුවෙන් මෙය ඉවසීමට ඇයට සිදුව තිබේ. එබැවින් මව සහ සොයුරා වෙනුවෙන් නිහඬ වන්නටද ඇයට සිදු වුවහොත් එයට පුදුම වන්නට දෙයක් නැත.

අනෙක් අතට ශ්‍රීලමප ය හරහා දේශපාලන ගමනකට අවස්ථාව ලබාදීම මඟින් තමන්ට හානි නොවන තැනක ඇයව තබා ගැනීමද ආණ්ඩුව පැත්තෙන් හොඳ උපක්‍රමයකි. ඇය ලබන මාධ්‍ය අවධානය ක්‍රමයෙන් අහිමි වනදාට ඇගේ එම ගමනේ අවසානය උදාවනු ඇත.

එසේත් නැත්නම් ඇයට ඇති හොඳම විකල්පය කුමක්ද? ලැබූ ජනතා සහ මාධ්‍ය අවධානය උපයෝගී කර ගනිමින් වඩා පුළුල් දේශපාලන භූමිකාවකට ප්‍රවිශ්ට වන්නටය. ශ්‍රීලමප ය වැනි ආණ්ඩුවේ මුක්කුවකට එක්වීමෙන් ඇයට කළ හැකි කෙංගෙඩියක් නොමැති බව ඇය වටහා ගත යුතුව ඇත.


ඇයට වූ අසාධාරණය, රටේ නීතිය ක්‍රියාත්මක නොවීම ගැන හඬ නැඟූ ඇයට, එවන් හඬක් නැඟිය නොහැකි, එවන් සිවිල් බලයක් නොමැති අසාධාරණයට ලක්වූ අය වෙනුවෙනුත් හඬ නැඟිය හැකි නම්....හලාවත මියගිය ධීවරයාගේ දියණිය, සැමියා අතුරුදන්ව අසරණ වූ එක්නැලිගොඩ බිරිඳ ගැන ඇයට කථා කළ හැකිනම්.....පෞද්ගලිකව පමණක් නොව පොදුවේ අයුක්තියට, අසාධාරණයට, අවනීතිය රජ කිරීමට එරෙහිව හඬක් නැඟිය හැකිනම්....ඇය ධෛර්ය සම්පන්න, පුළුල් දැක්මක් ඇති දේශපාලන නායිකාවක ලෙස ජනතාව අතර පිළිගැනීමට ලක්වීම වැළැක්විය නොහැකි වනු ඇත...

Thursday, May 3, 2012

දෛවයේ සරදමට ලක්වූ අවාසනාවන්ත නායකයා...."ශ්‍රීමත්" රණසිංහ ප්‍රේමදාස...





"ප්‍රේමදාස මහත්තයා" ගැන මට දැනෙන්නේ එක්තරා විදිහක අනුකම්පාවක්. ඔහු දේශපාලන ගමන අරඹන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු තියාගෙන වෙන්න ඇත්ද? ඔහුගේ වැනි පසුබිමකින් ආව කෙනෙක් රටේ ඉහළම තැනට පත්වීමේ  ඉලක්කයක් තියාගන්නවා කියන එකම කොයි තරම් ධෛර්යවන්ත සිහිනයක්ද?

ඒ වගේම එයා තමන් තනතුරින් ඉහළ නැඟීම ගැන විතරක් සිහින මැව්වේ නැහැ.මේ රට දියුණු කරන්න, දුප්පත්, අහිංසක මිනිස්සුන්ට ඇත්තටම සේවයක් කරන්න ඔහු සිහින මැව්වා. ඒ සිහින සැබෑ කරගැනීම වෙනුවෙන් අසීමිත ලෙස වෙහෙස මහන්සි වෙලා වැඩ කළා.


ඔහුගේ වෙහෙස මහන්සිය, කැපවීම දශක ගණනාවක් තිස්සේ විහිදුනා.කථිකත්වය, සංවිධාන ශක්තිය,උපායශීලීත්වය, දක්ෂයන්ගෙන් වැඩ ගැනීමේ කලාව වගේ නායකත්ව ලක්ෂණ ඔහු උපරිමයටම ප්‍රගුණ කළා.

රට පුරා නිවාස හදපු මිනිසා....දහස් ගණනකට රැකියා දුන් මිනිසා...දුප්පතුන්ට ජනසවිය දුන් මිනිසා...ඔහු කළ තරම් වැඩ කළ දේශපාලන නායකයෙක් ලංකාවේ තවත් සිටියේද???

80 දශකයේ මුල භාගය දක්වාම මිනිස්සු ඔහුට ආදරය කළා.අගමැති ප්‍රේමදාස පොදු ජනයාගේ මිනිහෙක් ලෙසයි හැඳින්වුනේ.

නමුත් අවසන් වසර කීපය තුල දෛවය විසින් ඔහුව ඇදගෙන ගියේ කවර නම් දිශාවකටද? අවසානයේ ඔහු කොයි තරම් ජනතාවගේ පිළිකුලට භාජනය වී සිටියාද? පක්ෂ භේදයකින් තොරව ඔහුට ආදරය කළ මිනිසුන්ම අවසානයේදී පක්ෂ භේදයකින් තොරව ඔහුට වෛර කළා.පිළිකුල් කළා.





එසේ වූයේ ඇයි? ජේවීපී භීෂණය පරාජය කරන්න භීෂණ ක්‍රියා මාර්ගයම තෝරා ගන්න ඔහුට සිදුවුනා සේම ජේවීපී නිමාවෙන් පසුවද රාජ්‍ය භීෂණය සිය පැවැත්ම වෙනුවෙන් යොදා ගන්න ඔහු පෙළඹුනා.බලය පවත්වා ගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීමේදී ඔහු වියරු මිනිසෙක් බවට පත්වී සිටියා.අධිකතර හීනමානයකින් පෙලුනා.ලෝරන්ස් මාෆියාවෙන් රටක් බියපත් කළා.


එල්.ටී.ටී.ඊ ක්‍රියාත්මක ඒ යුගයේදී,  බෝම්බයකින් මියයාමට සිදුවීම ඒ තරම් කණගාටුවට කරුණක් නෙමෙයි, .නමුත් දශක ගණනාවක් තිස්සේ ඔහු වෙහෙස මහන්සි වී වැඩ කළ රටේ ජනතාවම ඔහුගේ මරණයෙන් උද්දාමව කිරිබත් කමින්, රතිඥ්ඥා පත්තු කරමින් සතුටු වන්නට සැලැස්වීම නම් දෛවයේ අකරුණාවන්ත සරදමක්.


මේ තරම් දක්ෂකම් ඔහුට උරුම කළ දෛවයම, ඔහුව මේ තරම් දුෂ්ටයෙක් බවට පත්කිරීම කොයිතරම් නම් අවාසනාවක්ද???




Thursday, April 19, 2012

මාලිනියේ....

මේ කථාව ඇරඹෙන්නේ "පුංචි බබා" ගෙන්...ඒ 1968 වසර. ඒ කාලයේ වේදිකා නාට්‍යවල රඟපාන සුන්දර යුවතියක් හිටියා. ඇය "අකල් වැස්ස" නම් වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් "හොඳම වේදිකා නාට්‍ය නිළිය" සම්මානය ලබා තිබුනා."පුංචි බබා" නම් තමන්ගේ අලුත් චිත්‍රපටයට නවක නිළියක් සොයමින් සිටි තිස්ස ලියනසූරිය නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසි එක් වියැති මේ තරුණියට අවස්ථාවක් දෙන්නට තීරණයක් ගන්නවා.මේ තීරණයේ ප්‍රථිඵලයක් විදිහට පරම්පරා ගණනක සුවහසක් රසිකයන් පිරිසක් අමන්දානන්දයට පත්කළ ඇගේ ගමන ආරම්භ වෙනවා.....

"වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා" ඇයයි.

"පුංචි බබා" හි ඇය රඟපාන්නේ එකල ලාංකේය සිනමාවේ දැවැන්ත රංග පෞර්ෂයක් වූ "ජෝ අබේවික්‍රමයන්" සමඟයි.

ඇගේ රුව සිනමාව වෙනුවෙන්ම දෙවියන් මැවූ ත්‍යාගයක් බව ඉක්මනින්ම සිනමා අධ්‍යක්ෂවරුන් වටහා ගන්නවා.චිත්‍රපටවලට ඇරැයුම් ඇය වෙත ගලා එන්නට පටන් ගන්නවා. ඇය ඉක්මනින්ම ලාංකේය සිනමා රසිකයාගේ සිහින කුමරිය බවට පත්වෙනවා.


සිනමාවේ ජයකෙහෙළි නංවා සිටි දැවැන්ත සිනමා පෞර්ෂයන් හා රංගනයට ඇයට ඉක්මනින්ම අවස්ථාව උදාවෙනවා. ඉතා කෙටි කලකින් ඔවුන් හා සමානම දැවැන්ත සිනමා පෞර්ෂයක් බවට ඇය පත්වෙනවා.එය හුදෙක් රූපයේ අසමසම සුන්දරත්වය නිසාම පමණක් නොවේ.අග්‍රගණ්‍ය රංගන ප්‍රතිභාවක්ද උරුම කරගැනීමට ඇය වාසනාවන්ත වී සිටියා.

සිංහල සිනමාවේ අමරණීය "ගාමිණි-මාලනි යුගය" ඇරඹුනා.

ලාංකේය සිනමාවේ අග්‍රතම ඵලය ලෙස අද ද සැලකෙන " නිධානයේ" විලී අබේනායක සහ අයිරින් තිරයේ මැවුනේ ඇයගේ ද ගාමිණී ගේද එකිනෙකාට නොපරදින රංගන කෞශල්‍යයෙන්.











 සිංහල සිනමාවේ ජනප්‍රියම නළුවාගේ කිරුළ ගාමිණි ගෙන් විජය ට මාරුවුනා.නමුත්  සම්භාව්‍ය, ගැඹුරු සිනමාවේ මෙන්ම සරල විනෝදාත්මක සිනමාවේ ද දිගින් දිගටම කිරුළ පැළඳියේ මාලනියයි. ඉනික්බිති ඒ "විජය-මාලනි යුගය" නම් වී...:-)

සුන්දර, කඩවසම් විජය සැබෑ ලෝකයේදීත් ඇගේ පෙම්වතා වුනා.ඔවුන් දෙදෙනා අතිශය ජනප්‍රිය වූ "තුෂාරා" හි පෙම් රැඟුම් මැවුයේ සැබෑ ලෝකයේ දීත් පෙම්වතුන්ව සිටි යුගයේදීයි.



විජය හා සමඟ ගැඹුරු සිනමා නිර්මාණයකට ඇය දායක වනවා 1978 දී.. නාගරික සල්ලාල ධනපතියෙකුට බිලිවන මුහුදුකරයේ අහිංසක යුවතිය ..."හෙලන්".. මාලනිය විසින් තිරයේ මැවූයේ ධර්මසේන පතිරාජයන්ගේ "බඹරු ඇවිත්" නම් විශිෂ්ට සිනමා නිර්මාණයේදී.




පළමු වතාවට ලාංකේය සිනමාවට අන්තර්ජාතික සම්මානයක් දිනා දෙන්නේ ඇයයි. ඒ 1975 දී මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදී "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් ලබමින්.

විජය හා එක්ව මැවූ තාරුණ්‍යයේ මිහිරියාව......."යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ"....."දියමන්ති" චිත්‍රපටයෙන්..








ගීතමය ජවනිකාවල ඇය මැවූ සොඳුරු රැඟුම්.....

   -:ගාමිණි- මාලනි ගීත මෙතනින්
   -:සල් සපු නා   - සංගීතා චිත්‍රපටයෙන්  - විජය සමඟ
   -: ඉර සඳ වැඳලා -  සංගීතා චිත්‍රපටයෙන්  - විජය සමඟ
   -: මී පිරුණු සුවඳ මල් වනේ  -  සංගීතා චිත්‍රපටයෙන්  - විජය සමඟ
   -: මීදුම් ගලා කන්දේ - තුෂාරා චිත්‍රපටයෙන්  -  විජය සමඟ
   -: කලක් තිස්සේ - තුෂාරා චිත්‍රපටයෙන්  -  විජය සමඟ
   -: ජීවනයේ මී වනයේ  - තුෂාරා චිත්‍රපටයෙන්  - විජය සමඟ
   -: තරහදෝ    - සඳ වට රන් තරු චිත්‍රපටයෙන්   - විජය සමඟ
   -: ඔබ ලඟ ඉන්න   -  වාසනා චිත්‍රපටයෙන්   - විජය සමඟ
   -: කලක් ඇවෑමෙන් පෙරුම් පුරා  - අපේක්ෂා චිත්‍රපටයෙන්  - කලංසූරිය සමඟ
   -: සීත අරණේ සුපුල් නාමල - ආරාධනා චිත්‍රපටයෙන්  - රවීන්ද්‍ර සමඟ
   -: උන්මාද සිතුවම්  - එක්ටැම් ගේ චිත්‍රපටයෙන්  - රවීන්ද්‍ර සමඟ
   -:  සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා - අපේක්ෂා චිත්‍රපටයෙන්  -  අමරසිරි කලංසූරිය සමඟ
   -:  මාල ගිරා ගෙල   - වසන්තයේ දවසක් චිත්‍රපටයෙන් - රවීන්ද්‍ර සමඟ
      
                                                


වදන්  කුමකටද මේවායේ සෞන්දර්ය වර්ණනයට...
[youtube එකට ජයවේවා   :-)  ]

සොල්දාදු උන්නැහේ, බැද්දේගම, ඉන්දුට මල් මිටක්, සිරිපාල හා රන්මැණිකා සහ එක්ටැම්ගේ තවත් අමතක කළ නොහැකි නිර්මාණ කීපයක්.





140 කට අධික සිනමා නිර්මාණයන්ගෙන් අප පිනවූ ඇය ලක් මෑණිය සැරසූ අගනා මිණි කැටයක් බඳු චරිතයක්.ලක් මවට අභිමානයක්.





"ගාමිණි-මාලනි" සහ "විජය-මාලනි" යුගයන් මැවූ ගාමිණී ද විජය ද අද අප අතරින් සමු අරන්. අප අතර සිටින්නේ මාලනිය පමණයි. පරම්පරා ගණනක ආදරය, ගෞරවය දිනූ මාලනියේ..ඔබට සදා ජය....!






[ අප්‍රේල් 30 උපන් දිනයට සුභ පැතුම් මේ සමඟින් ]

මාලනියට ප්‍රිය කරන ඔබට මේ ඇරැයුම ඇය ගැන, ඇගේ චිත්‍රපටි ගැන සටහනක් තබන්නට...

Wednesday, April 4, 2012

ෂාරුක් ඛාන් ගේ ආකර්ශනීයම රංගනය......


ෂාරුක්, ඉන්දියාවේ පමණක් නොව ආසියාවේද, ලෝකයේද ආකර්ශනය දිනාගත් මිනිසෙක්...සැබෑ දක්ෂයෙක්..අපේ කාලයේ Bollywood Super Star ඔහුයි.

ඔහු සිනමාවට පිවිසෙන්නේ 1992 දී Deewana චිත්‍රපටයෙන්.ඔහුගේ පළමු චිත්‍රපටයෙන්ම ඔහු "හොඳම නැඟී එන නළුවා" සඳහා ෆිල්ම්ෆෙයා(Filmfare) සම්මානය දිනා ගන්නවා.
ඉන්පසුව ඔහු යොමුවෙනවා දුෂ්ටයාගේ චරිතය රඟපෑමේ අභියෝගයට..ඒ Darr(1993)  සහ  Baazigar(1993) චිත්‍රපටවල. ඒ අභියෝගය ඔහු ජයගන්නේ ඔහුගේ පළමු "හොඳම නළුවා" (Filmfare)සම්මානය, Baazigar චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දිනා ගනිමින්.

මුල් යුගයේ සාර්ථක වූ තවත් චිත්‍රපටයක් තමයි 95 දී සල්මාන් ඛාන් සමඟ එක්ව රඟපෑ  කරන් අර්ජුන්.
නමුත් ඔහුගේ turning point එක 1995 දී තිරගත වූ Dilwale Dulhania Le Jayenge  මෙයින් ඔහු හින්දි සිනමාවේ අංක එකේ සුපිරි තරුව බවට පත්වෙනවා.ඔහු ඉන්පසුව ආපසු හැරෙන්නේ නැහැ.කොතරම් අළුත් නළුවන් ආවත් වර්තමානය වනතුරුම බොලිවුඩ් සිනමාවේ අංක එකේ සුපිරි තරුව ලෙස කියවෙන්නේ ඔහුගේ නාමය.
ඔහු හැඟීම්බර රංගනයට අති දක්ෂයෙක්.(ඉස්සර කාලේ ෆිල්ම් වල කොල්ලා, කෙල්ලව දිනාගන්නේ ෆයිට් කරලා..වීරයෙක් වෙලා. නමුත් ෂාරුක් නම් බොහෝ ෆිල්ම් වල කෙල්ලව දිනා ගන්නේ අඬලා. :-)  )
 

මේ හැඟීම්බර චරිතවලට මිනිසුන්ගේ ස්වභාවයෙන්ම ඇති ආදරය තුලින් ෂාරුක් ඉහලම ජන ප්‍රසාදය ලැබුවා.එතෙක් තම පෙනුමෙන්, නැටුමෙන්, ෆයිට් වලින් වීරයෝ වුනු චරිත මේ ට්‍රෙන්ඩ් එකත් සමඟම පසුපසට තල්ලු වුනා.අදටත් ෂාරුක් ට වඩා හොඳ  Handsom,නටන්න, ෆයිට් කරන්න පුළුවන් නළුවන් හින්දි සිනමාවේ සිටියත් ෂාරුක් ට වගේ අඬන්න පුළුවන් කෙනෙක් නම් නැහැ. (පැහැදිලිවම ඔහුගේ රංගනයට ඇති අසමසම හැකියාව අවිවාදිතයි.)


92 සිට 2011 දක්වා ඔහු රඟපා ඇති චිත්‍රපට ගණන 70 කට අධිකයි.ඒවා අතරින් වඩාත් අවධානයට, ආකර්ශනයට හා සාර්ථකත්වයට පත් චිත්‍රපට ලෙස පහත චිත්‍රපට සඳහන් කරන්නට පුළුවන්.

1.  1995 - Dilwale Dulhania Le Jayenge
2.  1997 - Dil To Pagal Hai
3.   1998  - Dil Se..
4.   1998 - Kuch Kuch Hota Hai

5.   2000 - Mohabbatein
6.  2001  - Kabhi Khushi Kabhie Gham...

7.  2001 - Asoka

 8. 2002 - Devdas

9. 2002 - Hum Tumhare Hain Sanam
10. 2003 - Kal Ho Naa Ho
11. 2004 - Swades
12. 2004 - Veer-Zaara
13. 2006 -  Kabhi Alvida Naa Kehna
14. 2006  - Don: The Chase Begins Again
15. 2007  - Chak De! India      

ඔහුගේ චිත්‍රපට අතරින් මා කැමතිම චිත්‍රපටය ලෙස මා නම් කරන්නේ 
|
|
|
|

1917 දී  Sarat Chandra Chattopadhyay අතින් නිර්මාණය වූ ශෝකී නවකථාව...
...තුන්වෙනි වරටත් සිනමාවට නැඟුණු......
|
|
|
|
|
 Devdas............

 

Hamesha Tumko Chaha song - Devdas

 
ඔබත් ෂාරුක් රසිකයෙක් නම් මේ ඇරැයුම ඔබ කැමතිම ඔහුගේ චිත්‍රපටය  ගැන සටහනක් තබන්නට...:-) 








Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters