Showing posts with label සිනමාව. Show all posts
Showing posts with label සිනමාව. Show all posts

Friday, August 1, 2025

"දේවි කුසුමාසන" ද ? "කොනප්පු බණ්ඩාර" ද?

 


ලංකාවේ ඉතිහාසය විෂයට ප්‍රිය කරන මගේ ලෝකයේ වීරයෙකු වන... සාමාන්‍ය වීරයෙකු නොව සුවිශේෂී වීරයෙකු වන. කොනප්පු බණ්ඩාර ගැන චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙද්දී එය නරඹන්න උවමනාවක් තිබුණා.

එය නිර්මාණය කරලා තියෙන්නේ දඬුබස්නාමානය, වෙද හාමිනේ සහ ගරිල්ලා මාකටිං වැනි ලංකාවේ කලාව  තුළ next level වැඩ පෙන්නපු ජයන්ත චන්ද්‍රසිරි වීම එය නැරඹීමේ උවමනාව තීව්‍ර කළා.

ඒ වගේම,  මහනුවර නගරයේ මැතකදි විවෘත වූ අළුත්ම සිනමා ශාලාව වන JP Cineplex එකේ චිත්‍රපටයක් නැරඹීමේ අත්දැකීම විඳගන්න උවමනාවක් තිබුණා.

ඒ සියළු කාරණා නිසාවෙන් පසුගියදා ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය "දෝන කුසුමාසන" නැරඹුවා.






මුලින්ම කියන්න තියෙන්නේ බොහෝ දෙනා ඉතිහාස කතා, රාජ කතා තම සිනමා නිර්මාණවලට වස්තු විෂය කරගන්නා  මේ කාලයේ කොනප්පු බණ්ඩාර වගේ ලංකාවේ ඉතිහාසයේ සුවිශේෂී වීරයෙකුගේ කථාව සිනමාවට ගෙන ඒම වෙන කෙනෙකු අත ගහන්නට කලින් ජයන්ත චන්ද්‍රසිරි අතින් සිදුවීම සතුටට කරුණක්.

දෙවනුව , මේ චිත්‍රපටයේ නම සමහරුන් ප්‍රශ්නයක් කරගෙන ඇති බව සමාජ මාධ්‍ය හරහා දකින්නට ලැබුනා. මේක කොනප්පු බණ්ඩාර ගැන කථාව බව ඇත්ත. නමුත් මේ චිත්‍රපටයට "කොනප්පු බණ්ඩාර" කියලා නම දැම්මානම් කී දෙනෙක් බලන්න එයිද? කී දෙනෙක් "කොනප්පු බණ්ඩාර" ගැන දැනගෙන ඉන්න ඇතිද මේ චිත්‍රපටයට කලින්. ඉතින් "දේවි කුසුමාසන" නම දාන්න ඇත්තේ marketing අරමුණකින්. එවැනි දේ කරන්න වෙනවා මන්ද, සිනමාව යනු කලාවක් සේම කර්මාන්තයක්ද වන නිසා.

චිත්‍රපටය ගැන ලියන්නට කලින් කොනප්පු බණ්ඩාර ගැන ලිවිය යුතුයි. (මන්ද,  අද කාලයේ ඉතිහාස දැනුම  ඇති අය අඩු බව පෙනෙන්නට තිබෙන නිසා.)

ලාංකේය ඉතිහසය හදාරන විට හමුවන වීරයන් අතරින් කොනප්පු බණ්ඩාර සුවිශේෂි වන්නේ ඇයි ? 




ඔහුගේ නමින් පවා ඔහු අනන්‍ය මිනිසෙක්.  ඔහුගේ මවගේ නම ඇසුරින් සාදාගත් විමලධර්මසූර්ය නම  එතෙක් සිංහල රාජාවලියේ භාවිතා වූ නමක් නොවේ. ඔහු පළමුවන විමලධර්මසූර්ය  මිස දෙවන,තුන්වන හෝ හතර වන  පරාක්‍රම බාහු  හෝ විජයබාහු නොවේ.

 සේනා සම්මත වික්‍රමබාහු විසින් 1469 දී ආරම්භ කෙරුණු සේ සැලකෙන මහනුවර රාජධනිය වසර 123 ක් පමණම පැවතුනේ කෝට්ටේ හෝ සීතාවක යටත් රාජ්‍යයක් ලෙසින්. 1592 දී එය ස්වාධීන රාජ්‍යක් බවට පත් කරන්නේ කොනප්පු බණ්ඩාර හෙවත් පළමුවන විමලධර්මසූර්ය විසින්.

 වසර දෙසීයකට වැඩි ගණනක් විදේශිකයන්ට යටත් කරගැනීමට බැරිවුණු එකම රාජ්‍යය ලෙස පැවතීමේ ගෞරවය, එය ස්වාධීන රාජ්‍යක් ලෙස ගොඩනැගූ ඒ මිනිසාට හිමිවිය යුතු නොවේද ?

තමන්ගේ ගේම් එක සාර්ථක අවසානයක් කරන ගෙනයාමට සමත් වූ වීරයෙක් විදිහට මට ඔහු ගැන සුවිශේෂි ගෞරවයක් තියෙනවා.

කැප්පෙටිපොල, පුරන් අප්පු පවා වීරයන් වූවත් ඔවුන්ගේ ගේම් එක ජයග්‍රහණය කරා ගෙනයන්න ඔවුන් සමත් වුනේ නැහැ ක්‍රිකට් මැච් එකක සීයක් ගැහුවට වැඩක් නැහැ මැච් එක පරාදයි නම්.

ඔහු රජ පෙළපතකින් පැමිණියේ නැහැ. ඔහු සැබෑ බුද්ධිමත්, උපායශීලි නායකයෙක්. දොන් පිලිප් පෘතුගීසීන්ගේ රූකඩයක් වූවත් දොන් ජෝන් එක්ක ඒ සෙල්ලම් දාන්න පෘතුගීසීන්ට බැරිවුනා.

ඒ කාලයේ ලංකාවේ පොලිටිකල් ගේම් එකේ හිටපු අණ්ඩපාලම චරිතය"අරිට්ට කී වෙණ්ඩු" ටත්  උපායෙන්ම  ගේම් එක දෙන්න කොනප්පු බණ්ඩාර සමත් වෙනවා.

Politics කියන්නේ ගේම් එකක්. ඒක වර්තමානයේත් එහෙමයි, අතීතයේත් එහෙමයි. ඒ කාලයේ, ලංකාවේ දේශපාලන ගේම් එකේ හිටපු පෘතුගීසීන්, සීතාවක රාජසිංහ විතරක් නෙමෙයි ඒ කාලයේ ලොකු ගේම් ගහපු, චිත්‍රපටයේ පෙන්වනවා සේම බොහෝ දුරට කොනප්පු බණ්ඩාරගේ පියා වීරසුන්දර බණඩාරගේ මරණයට හවුල් වූ  අරිට්ටකී වෙණ්ඩු වත් රණශූරත්වයෙන් විතරක් නෙමෙයි බුද්ධියෙනුත් පරාජය කරන්න ඔහු සමත් වෙනවා.


චිත්‍රපටය ගැන ගත්තොත්, මේ වගේ ඉතිහාස කථාවක් චිත්‍රපටයට නඟන විට එන විශාලම අභියෝගයක් තමයි අතීතය නිර්මාණය කිරීම. පසුතල, ඇඳුම් පැළදුම් වැනි දේ තුළින් ප්‍රේක්ෂකයාට ඒ යුගය පිළිබඳව නිවැරදි හැඟීමක් ලබාදීම. ඒ අභියෝගය ජයන්ත විසින් බොහෝ දුරට ජයගෙන ඇති බව කිව යුතුය.



කොනප්පු බණ්ඩාරගේ චරිතයට වර්තමානයේ හේමාල් හැර වෙන සුදුස්සෙක් නැහැ. ඔහුගේ හැඩිදැඩි පෙනුමත්, වර්ධනය කරගෙන ඇති රංගන කුසලතාවයත් ලාංකේය සිනමාවට ඒතිහාසික වීර චරිතයකට සැබෑ සුදුස්සෙක් නිර්මාණය කරදී තිබෙනවා.


උදාරි ගේ රංගනයත් හොඳයි කියන්නට පුළුවන් මට්ටමක තියෙනවා. හොඳම ස්වාභාවික රංගනය ඉදිරිපත් කරන්නේ "අරිට්ට කී වෙන්ඩු" ගේ චරිතය ඉදිරිපත් කරන මහේන්ද්‍ර පෙරේරා බව කිව යුතුයි. අනිත් බොහෝ දෙනෙකුගේ රංගනයන් ආධුනික මට්ටමේ බවත් කිවයුතු වෙනවා.






Monday, November 26, 2012

වික්‍රමසිංහගේ "විරාගය" සහ අබේසේකරගේ "විරාගය"..


අරවින්ද කියන නම ඇහෙන කොට මට මතකයට එන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් "අරා" හෙවත් අරවින්ද ද සිල්වා;සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා. අනෙත් කෙනා විරාගයේ අරවින්ද.. නවකථාවක චරිතයක් උනත්,අරවින්ද ද සිල්වා තරම්ම නොවුනා වුනත්, විරාගයේ අරවින්ද කිව්වාම ලාංකේය සමාජයේ බොහෝ දෙනෙක් ඔහුව හඳුනනවා.





විරාගය ලියවෙන්නේ 1956 දී. එය සිංහලෙන් බිහිවූ විශිෂ්ඨතම නවකථාවක් බව බොහෝ දෙනෙක් පිළිගන්නවා.

-------------------------------
"ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වීය. අරවින්ද තමාගේ චරිතයෙහි හොඳ තැන් මෙන්ම නරක තැන්ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගතිද හෙළි කරන්නේ පාපෝච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නකු ලෙසිනි...
විරාගය ශෝකාන්ත අධ්‍යාත්මක නාටකයකි.
."


ඒ විරාගය පොතේ පිටකවරයේ ඇති හැඳින්වීම.
 වෙසක් දවසක රැයක පෙරහැරක් බලනු පිණිස අරවින්දගේ ගෙදර පිරිස රැස්වූ දා අරවින්දට සරෝජනී හමුවෙයි....

"ගෙපිලෙහි රැස්වී කතාබහින් සන්තෝෂ වන පිරිස අතර සිටි එක් දැරියක් මගේ සිත් ගත්තාය. පාසලට යනවිට ගවුම අඳින ඇගේ කය අද වසා සිටියේ සාරියකි. ඈ හා කතාබහ කිරීමටත් ඈ දෙස බැලීමටත් ආසාවක් මා තුළ හට ගත්තේය.

පාසලෙහි දී මා හැමදා දැක පුරුදු සිනිඳු කොපුල් දෙකත් කෙළින් පිහිටි නැහැයත් ඇති ඇගේ මුහුණ පෙර නොවූ විරූ සුන්දරත්වයක් අද ලැබුවේ කෙසේද?....."

අරවින්දගේ හදවතට සරෝජිනි පිවිසෙන්නේ එලෙස.

 "සරෝජිනී මා හා හුදෙකලාව කථා බහ කළ අවස්ථාවක මා ඇගේ මුහුණ සිපගනු ඇතැයි යන හැඟීමෙන් ඈ ඇගේ කොපුල් තලය මගේ මුහුණෙහි හැපෙන තරම් ළං කළාය. බියත් ලජ්ජාවත් නිසා මම ඇගේ මුහුණ නොසිම්බෙමි. ඈ මා දෙස යටැසින් බලා සිනාසුණා මිස කෝප නොවීය. ඈ මට ආලය කෙළේ මා හැඳිනගෙනය."

නමුත්  අවසානයේදී අරවින්දට සරෝජිනි හිමිවන්නේ නැහැ.

අරවින්දගේ වැඩිමල් සොයුරිය මේනකා...ඇය අරවින්දට හාත්පසින්ම වෙනස් චරිතයක්.

"නිදහසින් ප්‍රයෝජන ගන්නත් පුළුවන් කමක් තියෙන්න ඕනෑ.නුඹේ සිත ඉබාගාතේ පියාඹන කුරුල්ලෙක් වගෙයි.  තාත්තාගේ මරණේ නිසා නුඹේ අතීතය නැතිඋණා. සරා වෙන කෙනෙක් සමඟ විවහ වීම නිසා නුඹේ අනාගතය නැති උණා."  

තනිව වෙසෙන අරවින්ද බලන්නට එන මේනකා, අරවින්ද ගැන දෙන්නේ එහෙම විනිශ්චයක්..

මේනකා, සරෝජනී, සිරිදාස ආදී නවකථාවේ එන චරිත අතින් විතරක් නොවෙයි; විරාගය නවකථාව රස විඳි බොහෝ දෙනෙක් අතින් අරවින්දගේ චරිතය විවිධ විදිහට විග්‍රහ වුණා.

විරාගයේ අනෙත් ප්‍රධානම චරිතය "බතී"...

කාමරය තුළට වී සිටින බතීට මම හඬ ගෑවෙමි.
"දැන් ඇවිත් ගිය ඩ්‍රයිවර්ට උඹ ලියුම් යැව්වාද" මම මඳක් කෝපයෙන් ඇසුවෙමි."නැහැ"
"ඒ මිනිහා ලියුම් එව්වාද"
"නැහැ"
බතීගේ දෙවන පිළිතුර බොරුවක් නොවේ. ඔහු ලියුම් එවනු වෙනුවට බතී බැලීමට රැයෙහිත් ඇතැම් විට දවල් වරුවෙහිත් පැමිණියේය
"ඒ මිනිහා උඹ බලන්න ආවාද"
බතී පිළිතුරු නොදුන්නාය.


 -----------------------------------------------------
කථාවෙන් ගොඩ නංවා ඇත්තේ ජයග්‍රාහකයෙක්ද පරාජිතයෙක්ද යන්න  හෝ කථාවෙන් ආදර්ශයක් දෙනවාද නැද්ද හෝ නොවෙයි වැදගත් කාරණාව.එම චරිතය මාටින් වික්‍රමසිංහ ගොඩනැංවූ ආකාරයයි එහි විශිෂ්ටත්වය.

නවකථාවක් ලෙස, නවකථාංගයන්ගෙන් පූර්ණ වූවක් ලෙස විරාගය හැඳින්විය හැකියි.

 මෙවැනි කෘතියකට අවශ්‍යම පරිදි මෙය ගොඩ නැංවෙන්නේ ආත්ම කථනයක් විදිහට.

අරවින්ද සාමන්‍යය මිනිසුන්ට වෙනස් චරිතයක් වූවත්  කථාවේ  විශ්වාසනීයත්වට කිසිදු බලපෑමක් නැහැ. කථාව හෝ සිද්ධි කෘතීමව කථාවට පුරුද්දා ඇතැයි කිසිදු විටෙක පාඨකයාට සිතෙන්නේ නැහැ.

---------------------------------------------------

ප්‍රවීන සිනමාවේදී තිස්ස අබේසේකරයන් අරවින්දව සිනමාවට කැඳවාගෙන ආවා..




 

 
විරාගය සිනමාවට නැඟෙන්නේ 1987 දී.   සනත් ගුණතිලක ට අවස්ථාව ලැබේනවා විරාගයේ අරවින්ද සිනමා තිරයේ මවන්නට.ඔහු එය අපූරුවට ඉටු කරනවා; ඔහුගේ හොඳම රංගනයක් සනිටුහන් කරමින්.



මෙවන් නිර්මාණ විශිෂ්ඨ යැයි කියන්නේ ඇයි? වර්තමාන නිර්මාණකරුවන් මේවායින් උගත යුත්තේ මොනවාද?

අපූර්ව වූත් විශ්වාසනීය වූත් කථාව, මිනිස් සිතක හැඟීම් විනිවිද දුටු ප්‍රඥ්ඥා සම්පන්න, නිර්මාණශීලී රචනය ප්‍රධාන කරුණ යැයි සිතමි. වික්‍රමසිංහයන්ගේ විශිෂ්ඨ රචනය තිස්ස අබේසේකරයන් මනාව චිත්‍රපට තිර රචනයකට පෙරළා තිබුණා.

තිර රචනය ප්‍රබල වූ විට දක්ෂ රංගන ශිල්පියෙකුට/ශිල්පිනියකට එයට ජීවය එක්කළ හැකිය. සනත් ගුණතිලකගෙන්, ශ්‍රියානි අමරසේන ගෙන් අප දකින්නේ ඒ ප්‍රතිභාවයි.

    


 විරාගය ආරම්භ වන්නේ නවකථාවේ ආකාරයට නොවේ. එයට අලුතෙන් කොටසක් එක්කර තිබුනා. අරවින්දගේ මරණයෙන් පසු හමු වී ඇති ඔහුගේ දිනපොතක් ඇසුරෙනුයි කථාව පටන් ගන්නේ. එය අපූරුයි. නිර්මාණාත්මක යෙදීමක්.

ආනන්දයෙන් ප්‍රඥ්ඥාව මැවෙයි.සෞන්දර්ය, අපූර්වත්වය සේම ජීවන අවබෝධය ගෙනෙයි. සිනමා ශාලාවට ඇතුල් වූ රසිකයා සැබෑ නිර්මාණයක් රස විඳ, ආනන්දය ද ප්‍රඥ්ඥාවද ලැබ ඉන් පිටව යයි.විය යුත්තේ එය නොවේද?

තරුණ, නිර්මාණශීලී සිනමාකරුවන් රැසක් ලාංකේය සිනමාවට අද එක්වී සිටිති. එය සතුටු වන්නට කාරණාවකි. අපට ඔවුන්ට කීමට ඇත්තේ මෙයයි.

ව්‍යාජ සම්භාව්‍ය එක්ටැම්ගෙවල් වලින් මිදෙන්න...
අන්තර්ජාතික සම්මාන සිහිනයෙන් ඇහැරෙන්න..
ලාංකේය සිනමාවට විශිෂ්ඨත්වය උදා කරලන්න ඔබට හැකියාව ඇත...

Sunday, October 21, 2012

"සංකාරා" ගෙනා ප්‍රසන්න ජයකොඩිගෙන් "කර්ම"...


ප්‍රසන්න ජයකොඩිගේ අලුත් සිනමා පටය පිළිබඳව ප්‍රචාරක පෝස්ටරයක් හදිස්සියේ නෙත ගැටුණි. ඉතින් "සංකාරා" මතකයට ඒම පිළිබඳව අමුතුවෙන් කිව යුතුද? අපූර්ව වූ රසයක් විඳි "සංකාරා" නිර්මාණය කළ ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයක් නම් නැරඹීමට දෙවරක් සිතිය යුතුද? එනිසාවෙන් අද හවස රීගල් සිනමා හලට ගොඩ වැදුනේ "කර්ම" විඳ ගන්නටය.




ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා ඉහළය."හොඳ සිංහල චිත්‍රපට" නරඹන්නට ඇත්තටම ලංකාවේ විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිති."සංකාරා" තුළින් ප්‍රසන්න ජයකොඩි ඇති කරගත් ප්‍රතිරූපය මෙයට ප්‍රේක්ෂකයන් ඇදගන්නට උත්තේජනයක් සපයන්නටද ඇත.

නමුත් මෙය ලියවෙන්නේ අසතුටෙනි. "කර්ම" නැරඹීමෙන් "හොඳ නිර්මාණයක් රස විඳීමේ" මගේ බලාපොරොත්තුව කඩවිය.[අවංකවම මෙය මගේ රස වින්දනයේ අඩුවක් විය හැක.තව කෙනෙකුට මෙය උසස් නිර්මාණයක් විය හැක. නමුත් මා ලියන්නේ මට හැඟුණු දෙයයි.]

මෙය "බලහත්කාරයෙන් සම්භාව්‍ය " කිරීමට තැත් දැරූ නිර්මාණයක් බවයි මටනම් හැඟුනේ. 




අඩු දෙබසින් යුතුව, රූප වලින් කථාව කීම ප්‍රසන්න ජයකොඩිගේ සිනමාව බව අපි "සංකාරා" හිදී අත් දැක්කෙමු.නමුත් එය මෙහිදී අපූර්වත්වය මවනු වෙනුවට "බොරු සම්භාව්‍ය" බවක් මවයි. 

මේ කථාව වුව ඇඟට දැනෙන ගතියක් නැත. අහසේ පාවෙන, හුදෙකලා, මුල් නැති, ඕපපාතික වැනි වදන්
භාවිතා වෙන්නේ මෙවන් නිර්මාණ වලට යැයි සිතමි.

නමුත් මෙය අගය කළ හැකි දෙයක් ඇත්තේම නැති වර්ගයේ චිත්‍රපටයක් නොවේ. නිර්මාණශීලී රූප රාමු, අපූර්වත්වයක් ගෙනෙයි. ආලෝකකරණයද,පසුතලද අගනේය.අලුත් නළු නිළියන් යොදාගැනීම අගය කළයුතුය.නමුත් විශේෂයෙන් අගය කළ හැකි මට්ටමේ රංගනයක් ගැන කිව නොහැක.[මිෂෙල් නම් ලස්සනය. එය වෙනම කථාවකි.:)] 

රූප රාමුවලින්ද, දෙබස් වලින්ද විටෙක "හඳගම" සිහිවෙයි.

ප්‍රසන්න ජයකොඩි සුවිශේෂි යමක් සිංහල සිනමාවට දායාද කළ හැකි නිර්මාණකරුවෙක් බවට සැකයක් නැත. තම මුල් නිර්මාණය "සංකාරා" තුලින් ඔහු එය ඕනෑවටත් වඩා ඔප්පු කළේය.විය යුත්තේ "සම්භාව්‍ය එක්ටැම් ගෙවල්" වලින් එළියට ඒමට හිත හදා ගැනීම පමණකි...!!

Thursday, July 5, 2012

කමල් අද්දරආරච්චි.... නැවතත්....!



උන්මාද වූ ප්‍රේමාදරේ....සමනල වසන්ත යව්වනයේ.....
සංසාරයේ සුභ ප්‍රාර්ථනා...ඉඳුනිල් දෙනයන සටහන් වේ......





සංගීතා වීරරත්න රඟන්නී ඔහු සමඟිනි. දමයන්ති ජයසූරිය ගයන්නී ද ඔහු සමඟිනි."සප්ත කන්‍යා" චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වූ මේ ගීය සිය ආකර්ශනීය රංගනයෙන් හා හැඟීම්බර කටහඬෙන් රස ගැන්වූයේ ඔහුයි.

 එච්.ඩී.ප්‍රේමරත්නගේ "සප්ත කන්‍යා" 90 දශකයේ ලාංකේය සිනමාවේ ආකර්ශනීයම චිත්‍රපටයක්.එහි අනෙක් ගීතය, රූකාන්ත ගයන "සුවඳ දැනී දැනී දැනෙනවා" හි ජනප්‍රියතාව ද අදට ද අඩුවී නැහැ. සප්ත කන්‍යා හි කමල්ගේ රංගනය ඔහුගේ ආකර්ශනීයම රංගනයන්ගෙන් එකක්.  

------------------------------------------------------------------


"සඳකැන් දහරින්  දෙනුවන් පිරිලා...
දෙනුවන් කැළුමෙන්  පියුමන් සැලිලා"....





ඒ "වෙද හාමිනේ". විස්මයජනක දේශීය වෛද්‍ය ක්‍රමය පසුබිම් කරගෙන ජයන්ත චන්ද්‍රසිරි මැවූ රූපවාහිනී වික්‍රමය...

.ලේ පිළිකාවවක් වැළඳෙන ධනවත් තරුණ ව්‍යාපාරිකයා..ඔහු අතින් අනාථ වන සහ අමතක කර දැමෙන වෙද මහතාගේ තරුණ දියණිය..දෛවයේ සරදමින් ලේ පිළිකාව ඔහුගේ පුත්‍රයාටද වැළඳුන විට........
අන් කවර පිහිටද? සොයා යනු හැර ...ඒ අනාථ කර අමතක කර දැමුණු වෙද හාමිනේවම....

ප්‍රේමය අභියස අප්‍රමාණ සුන්දරත්වයකින් විකසිත විය හැකිව තිබූ මනුෂ්‍ය ආත්මයක්,එකී ප්‍රේමයේම උහුලාගත නොහැකි පරිපූර්ණ පෞර්ෂය අභියස දැවී යන ආකාරය රූපවාහිනි තිරයේ මැවූ "වෙද හාමිනේ", ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ මහරු මිණක්."වෙද හාමිනේ" කොතරම් අපූරු සිනමා නිර්මාණයක් කරන්නට තිබුණි දැයි මට හිතෙනවා.

 ගුනේන්ද්‍ර නම් ධනවතාද දීමන්ත නම් ඔහුගේ පුත්‍රයාද ලෙසින් ද්විත්ව චරිත රඟපෑ කමල්ගේ  ප්‍රබල රංගන  "වෙද හාමිනේ" හි සාර්ථකත්වයේ ප්‍රබල සාධකයක්.

------------------------------------------------------------------




දේශීය අංගම්පොර නම් සටන් ක්‍රමය පසුබිම් කර ගනිමින් ජයන්ත චන්ද්‍රසිරි ලාංකේය රූපවාහිනි ප්‍රේක්ශකයා අමන්දානන්දයට පත්කළ අනෙක් නිර්මාණය "දඬුබස්නාමානය". අසරණ, අහිංසක, ගුටි කන කොලු ගැටයෙකුගේ සිට, එල්ලවන අනේකවිධ අභියෝග හමුවේ, ප්‍රබල අංගම්පොර සටන් කරුවෙක් දක්වා වර්ධනය වන " රනා" ගේ චරිතය..කමල් අද්දරආරච්චි නම් විශිෂ්ට  රංගධරයාගේ තවත් සුවිශේෂි රංගනයක්.

--------------------------------------------------------------------




  2005 දී තිරගත  වූ ජයන්ත චන්ද්‍රසිරිගේ  "ගරිල්ලා මාකටිං" ....

දේශීයත්වයේ මුල් සිඳගත්, විදෙස් ගැති ,"බෙර ෆෝබියාවෙන්" පෙළෙන "ග්‍රෙගරි මහාධිකාරම්" ලාට දේශීය සළුපිළි පළන්දන ගරිල්ලා මාකටිං ව්‍යාපාරය මෙහෙයවන නිර්මාණශීලී තරුණයා "තිසර"..

.කමල්ගේ තවත් මා අගය කරන රංගනයක්.  


------------------------------------------------------------------------


"මේ රාත්‍රිය ප්‍රදීප් ගෙද? ....ඔහු අතුරු සිදුරු නැතිව පිරී උන් ප්‍රේක්ශකාගාරයෙන් අසයි.මහා ප්‍රතිචාරයකි. අනෙක් පස හැරෙන ඔහු නැවත අසයි. " මේ රාත්‍රිය සුරේන්ද්‍ර ගේද" නැවත මහා ප්‍රතිචාරයකි. වේදිකාව ඉදිරිපසට හැරෙන ඔහු නැවත ප්‍රශ්න කරයි." මේ රාත්‍රිය කමල් ගේද?"

මා සිතන්නේ ඒ රාත්‍රිය ඔහුගේ බවයි.

 ඇත්තෙන්ම මුළු රටම ඒ වැඩසටහනට ආකර්ශනය කරගත් සැබෑම සුපිරි තරුව ඔහුයි.සමස්ථ ප්‍රේක්ශකයා තුළ කුතුහලය උපරිමයෙන් මවමින්.නවතම නිවේදන රටාවක් හඳුන්වා දුන්නේ අලුතෙන් නිවේදන කලාවට අතගැසූ මේ දක්ෂ මිනිසා.(ඉන්පසු බොහෝ රියැලටි නිවේදක, නිවේදිකාවෝ ඔහුව අනුකරණ‍ය කරමින් කුතුහලය මතුකිරීමට දැරූ උත්සහයන්ගෙන් මතුවුනේ කුතුහලයට වඩා හාස්‍යය.).

--------------------------------------------------------------------


 ඔහු සිනමාවට පිවිසෙන්නේ 1982 දී " සාගරයක් මැද " චිත්‍රපටයෙන්.

 "හිරුට මුවාවෙන්" හෙවත් "ඉඳි ආප්ප කථාව" ........ "රතු රෝස" ....යනු අමතක කළ නොහැකි , අතිශයින් ජනප්‍රියත්වය දිනූ ඔහු රඟපෑ ටෙලි නාට්‍යය.... 

සත් වසරකට පසු .කමල් අද්දරආරච්චි නැවතත් සිනමා නිර්මාණයකින් අප හමුවට එන බව කියවෙන්නේ,
 වියපත් සිත්තරෙකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධි දාමයක්
ඇතුළත් යැයි සඳහන් Colour  නම් වූ චිත්‍රපටයෙන්..

හිරුට මුවාවෙන් හි දඟකාර තරුණ්‍යය මැවූ කමල් .Colour හි වියපත් සිත්තරෙක් වන සැටි දකින්නට අපි බලා හිඳිමු.


.


Thursday, April 19, 2012

මාලිනියේ....

මේ කථාව ඇරඹෙන්නේ "පුංචි බබා" ගෙන්...ඒ 1968 වසර. ඒ කාලයේ වේදිකා නාට්‍යවල රඟපාන සුන්දර යුවතියක් හිටියා. ඇය "අකල් වැස්ස" නම් වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් "හොඳම වේදිකා නාට්‍ය නිළිය" සම්මානය ලබා තිබුනා."පුංචි බබා" නම් තමන්ගේ අලුත් චිත්‍රපටයට නවක නිළියක් සොයමින් සිටි තිස්ස ලියනසූරිය නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසි එක් වියැති මේ තරුණියට අවස්ථාවක් දෙන්නට තීරණයක් ගන්නවා.මේ තීරණයේ ප්‍රථිඵලයක් විදිහට පරම්පරා ගණනක සුවහසක් රසිකයන් පිරිසක් අමන්දානන්දයට පත්කළ ඇගේ ගමන ආරම්භ වෙනවා.....

"වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා" ඇයයි.

"පුංචි බබා" හි ඇය රඟපාන්නේ එකල ලාංකේය සිනමාවේ දැවැන්ත රංග පෞර්ෂයක් වූ "ජෝ අබේවික්‍රමයන්" සමඟයි.

ඇගේ රුව සිනමාව වෙනුවෙන්ම දෙවියන් මැවූ ත්‍යාගයක් බව ඉක්මනින්ම සිනමා අධ්‍යක්ෂවරුන් වටහා ගන්නවා.චිත්‍රපටවලට ඇරැයුම් ඇය වෙත ගලා එන්නට පටන් ගන්නවා. ඇය ඉක්මනින්ම ලාංකේය සිනමා රසිකයාගේ සිහින කුමරිය බවට පත්වෙනවා.


සිනමාවේ ජයකෙහෙළි නංවා සිටි දැවැන්ත සිනමා පෞර්ෂයන් හා රංගනයට ඇයට ඉක්මනින්ම අවස්ථාව උදාවෙනවා. ඉතා කෙටි කලකින් ඔවුන් හා සමානම දැවැන්ත සිනමා පෞර්ෂයක් බවට ඇය පත්වෙනවා.එය හුදෙක් රූපයේ අසමසම සුන්දරත්වය නිසාම පමණක් නොවේ.අග්‍රගණ්‍ය රංගන ප්‍රතිභාවක්ද උරුම කරගැනීමට ඇය වාසනාවන්ත වී සිටියා.

සිංහල සිනමාවේ අමරණීය "ගාමිණි-මාලනි යුගය" ඇරඹුනා.

ලාංකේය සිනමාවේ අග්‍රතම ඵලය ලෙස අද ද සැලකෙන " නිධානයේ" විලී අබේනායක සහ අයිරින් තිරයේ මැවුනේ ඇයගේ ද ගාමිණී ගේද එකිනෙකාට නොපරදින රංගන කෞශල්‍යයෙන්.











 සිංහල සිනමාවේ ජනප්‍රියම නළුවාගේ කිරුළ ගාමිණි ගෙන් විජය ට මාරුවුනා.නමුත්  සම්භාව්‍ය, ගැඹුරු සිනමාවේ මෙන්ම සරල විනෝදාත්මක සිනමාවේ ද දිගින් දිගටම කිරුළ පැළඳියේ මාලනියයි. ඉනික්බිති ඒ "විජය-මාලනි යුගය" නම් වී...:-)

සුන්දර, කඩවසම් විජය සැබෑ ලෝකයේදීත් ඇගේ පෙම්වතා වුනා.ඔවුන් දෙදෙනා අතිශය ජනප්‍රිය වූ "තුෂාරා" හි පෙම් රැඟුම් මැවුයේ සැබෑ ලෝකයේ දීත් පෙම්වතුන්ව සිටි යුගයේදීයි.



විජය හා සමඟ ගැඹුරු සිනමා නිර්මාණයකට ඇය දායක වනවා 1978 දී.. නාගරික සල්ලාල ධනපතියෙකුට බිලිවන මුහුදුකරයේ අහිංසක යුවතිය ..."හෙලන්".. මාලනිය විසින් තිරයේ මැවූයේ ධර්මසේන පතිරාජයන්ගේ "බඹරු ඇවිත්" නම් විශිෂ්ට සිනමා නිර්මාණයේදී.




පළමු වතාවට ලාංකේය සිනමාවට අන්තර්ජාතික සම්මානයක් දිනා දෙන්නේ ඇයයි. ඒ 1975 දී මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදී "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් ලබමින්.

විජය හා එක්ව මැවූ තාරුණ්‍යයේ මිහිරියාව......."යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ"....."දියමන්ති" චිත්‍රපටයෙන්..








ගීතමය ජවනිකාවල ඇය මැවූ සොඳුරු රැඟුම්.....

   -:ගාමිණි- මාලනි ගීත මෙතනින්
   -:සල් සපු නා   - සංගීතා චිත්‍රපටයෙන්  - විජය සමඟ
   -: ඉර සඳ වැඳලා -  සංගීතා චිත්‍රපටයෙන්  - විජය සමඟ
   -: මී පිරුණු සුවඳ මල් වනේ  -  සංගීතා චිත්‍රපටයෙන්  - විජය සමඟ
   -: මීදුම් ගලා කන්දේ - තුෂාරා චිත්‍රපටයෙන්  -  විජය සමඟ
   -: කලක් තිස්සේ - තුෂාරා චිත්‍රපටයෙන්  -  විජය සමඟ
   -: ජීවනයේ මී වනයේ  - තුෂාරා චිත්‍රපටයෙන්  - විජය සමඟ
   -: තරහදෝ    - සඳ වට රන් තරු චිත්‍රපටයෙන්   - විජය සමඟ
   -: ඔබ ලඟ ඉන්න   -  වාසනා චිත්‍රපටයෙන්   - විජය සමඟ
   -: කලක් ඇවෑමෙන් පෙරුම් පුරා  - අපේක්ෂා චිත්‍රපටයෙන්  - කලංසූරිය සමඟ
   -: සීත අරණේ සුපුල් නාමල - ආරාධනා චිත්‍රපටයෙන්  - රවීන්ද්‍ර සමඟ
   -: උන්මාද සිතුවම්  - එක්ටැම් ගේ චිත්‍රපටයෙන්  - රවීන්ද්‍ර සමඟ
   -:  සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා - අපේක්ෂා චිත්‍රපටයෙන්  -  අමරසිරි කලංසූරිය සමඟ
   -:  මාල ගිරා ගෙල   - වසන්තයේ දවසක් චිත්‍රපටයෙන් - රවීන්ද්‍ර සමඟ
      
                                                


වදන්  කුමකටද මේවායේ සෞන්දර්ය වර්ණනයට...
[youtube එකට ජයවේවා   :-)  ]

සොල්දාදු උන්නැහේ, බැද්දේගම, ඉන්දුට මල් මිටක්, සිරිපාල හා රන්මැණිකා සහ එක්ටැම්ගේ තවත් අමතක කළ නොහැකි නිර්මාණ කීපයක්.





140 කට අධික සිනමා නිර්මාණයන්ගෙන් අප පිනවූ ඇය ලක් මෑණිය සැරසූ අගනා මිණි කැටයක් බඳු චරිතයක්.ලක් මවට අභිමානයක්.





"ගාමිණි-මාලනි" සහ "විජය-මාලනි" යුගයන් මැවූ ගාමිණී ද විජය ද අද අප අතරින් සමු අරන්. අප අතර සිටින්නේ මාලනිය පමණයි. පරම්පරා ගණනක ආදරය, ගෞරවය දිනූ මාලනියේ..ඔබට සදා ජය....!






[ අප්‍රේල් 30 උපන් දිනයට සුභ පැතුම් මේ සමඟින් ]

මාලනියට ප්‍රිය කරන ඔබට මේ ඇරැයුම ඇය ගැන, ඇගේ චිත්‍රපටි ගැන සටහනක් තබන්නට...

Wednesday, April 4, 2012

ෂාරුක් ඛාන් ගේ ආකර්ශනීයම රංගනය......


ෂාරුක්, ඉන්දියාවේ පමණක් නොව ආසියාවේද, ලෝකයේද ආකර්ශනය දිනාගත් මිනිසෙක්...සැබෑ දක්ෂයෙක්..අපේ කාලයේ Bollywood Super Star ඔහුයි.

ඔහු සිනමාවට පිවිසෙන්නේ 1992 දී Deewana චිත්‍රපටයෙන්.ඔහුගේ පළමු චිත්‍රපටයෙන්ම ඔහු "හොඳම නැඟී එන නළුවා" සඳහා ෆිල්ම්ෆෙයා(Filmfare) සම්මානය දිනා ගන්නවා.
ඉන්පසුව ඔහු යොමුවෙනවා දුෂ්ටයාගේ චරිතය රඟපෑමේ අභියෝගයට..ඒ Darr(1993)  සහ  Baazigar(1993) චිත්‍රපටවල. ඒ අභියෝගය ඔහු ජයගන්නේ ඔහුගේ පළමු "හොඳම නළුවා" (Filmfare)සම්මානය, Baazigar චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දිනා ගනිමින්.

මුල් යුගයේ සාර්ථක වූ තවත් චිත්‍රපටයක් තමයි 95 දී සල්මාන් ඛාන් සමඟ එක්ව රඟපෑ  කරන් අර්ජුන්.
නමුත් ඔහුගේ turning point එක 1995 දී තිරගත වූ Dilwale Dulhania Le Jayenge  මෙයින් ඔහු හින්දි සිනමාවේ අංක එකේ සුපිරි තරුව බවට පත්වෙනවා.ඔහු ඉන්පසුව ආපසු හැරෙන්නේ නැහැ.කොතරම් අළුත් නළුවන් ආවත් වර්තමානය වනතුරුම බොලිවුඩ් සිනමාවේ අංක එකේ සුපිරි තරුව ලෙස කියවෙන්නේ ඔහුගේ නාමය.
ඔහු හැඟීම්බර රංගනයට අති දක්ෂයෙක්.(ඉස්සර කාලේ ෆිල්ම් වල කොල්ලා, කෙල්ලව දිනාගන්නේ ෆයිට් කරලා..වීරයෙක් වෙලා. නමුත් ෂාරුක් නම් බොහෝ ෆිල්ම් වල කෙල්ලව දිනා ගන්නේ අඬලා. :-)  )
 

මේ හැඟීම්බර චරිතවලට මිනිසුන්ගේ ස්වභාවයෙන්ම ඇති ආදරය තුලින් ෂාරුක් ඉහලම ජන ප්‍රසාදය ලැබුවා.එතෙක් තම පෙනුමෙන්, නැටුමෙන්, ෆයිට් වලින් වීරයෝ වුනු චරිත මේ ට්‍රෙන්ඩ් එකත් සමඟම පසුපසට තල්ලු වුනා.අදටත් ෂාරුක් ට වඩා හොඳ  Handsom,නටන්න, ෆයිට් කරන්න පුළුවන් නළුවන් හින්දි සිනමාවේ සිටියත් ෂාරුක් ට වගේ අඬන්න පුළුවන් කෙනෙක් නම් නැහැ. (පැහැදිලිවම ඔහුගේ රංගනයට ඇති අසමසම හැකියාව අවිවාදිතයි.)


92 සිට 2011 දක්වා ඔහු රඟපා ඇති චිත්‍රපට ගණන 70 කට අධිකයි.ඒවා අතරින් වඩාත් අවධානයට, ආකර්ශනයට හා සාර්ථකත්වයට පත් චිත්‍රපට ලෙස පහත චිත්‍රපට සඳහන් කරන්නට පුළුවන්.

1.  1995 - Dilwale Dulhania Le Jayenge
2.  1997 - Dil To Pagal Hai
3.   1998  - Dil Se..
4.   1998 - Kuch Kuch Hota Hai

5.   2000 - Mohabbatein
6.  2001  - Kabhi Khushi Kabhie Gham...

7.  2001 - Asoka

 8. 2002 - Devdas

9. 2002 - Hum Tumhare Hain Sanam
10. 2003 - Kal Ho Naa Ho
11. 2004 - Swades
12. 2004 - Veer-Zaara
13. 2006 -  Kabhi Alvida Naa Kehna
14. 2006  - Don: The Chase Begins Again
15. 2007  - Chak De! India      

ඔහුගේ චිත්‍රපට අතරින් මා කැමතිම චිත්‍රපටය ලෙස මා නම් කරන්නේ 
|
|
|
|

1917 දී  Sarat Chandra Chattopadhyay අතින් නිර්මාණය වූ ශෝකී නවකථාව...
...තුන්වෙනි වරටත් සිනමාවට නැඟුණු......
|
|
|
|
|
 Devdas............

 

Hamesha Tumko Chaha song - Devdas

 
ඔබත් ෂාරුක් රසිකයෙක් නම් මේ ඇරැයුම ඔබ කැමතිම ඔහුගේ චිත්‍රපටය  ගැන සටහනක් තබන්නට...:-) 








Thursday, March 29, 2012

ගාමිණි-මාලිනි යුගයේ සුන්දරම ගීතය කුමක්ද..........???

හැත්තෑව දශකයේ සිංහල සිනමාව අතිශයින් සුන්දරයි.එම යුගයේ සිංහල සිනමාවේ තාරකාවිය..දඟකාර, සුන්දර, සුරූපි මාලිනිය....සැබෑ පෞර්ෂයෙන් පිරිපුන් ආකර්ශනීය පෙම්වතා ; අයුක්තියට, අසාධාරණයට එරෙහිවන වීරයා..ගාමිණි ..(මේ දෙදෙනාගේම වාසගම "ෆොන්සේකා" වූයේ කවර නම් අහම්බයකින්ද :-)  ).ඔවුන් දෙදෙනා එක්ව මැවූ සිනමා සෞන්දර්ය "ගාමිණි-මාලිනි යුගය"  ලෙසින් සිංහල සිනමා රසිකයාගේ මතකයේ සදා බැබළෙනවා.

විනෝදාත්මක සිනමාව පමණක්ද? ඇයි "නිධානයේ" විලී අබේනායක සහ අයිරින්..නිධානයකට බැඳි ලොබින් සිය අහිංසක බිරිඳ මරාදමන ගුප්ත වළව්කරු....මිනිස් චින්ත සන්තානයේ ගැඹුරු හැඟීම් විනිවිද දුටු "නිධානය" තිරයේ මැව්වේද "සුදු පාට මීදුම් ගලාලා" හි පෙම් රැඟුම් පෑ ගාමිණි-මාලිනි මයි.("සුදු පාට මීදුම් ගලාලා" ගිතය අඩංගු "එදත් සූරයා අදත් සූරයා" ත්   "නිධානය" ත් එකම වසරේ (1972) තිරගත වූ චිත්‍රපටි.)

මේ ඔවුන් එක්ව රඟපෑ චිත්‍රපටි...

1.  1969  -  පාරාවළලු
2.  1971  -  හතර දෙනාම සූරයෝ
3.  1972  -  නිධානය
4.  1972  -  සහනය
5.  1972  -  එදත් සූරයා අදත් සූරයා
6.  1972  -  ආදරේ හිතෙනව දැක්කම
7.  1973  -  සදහටම ඔබ මගේ
8.  1973  -  හොඳම වෙලාව
9.  1973  -  හොඳයි නරකයි
10. 1973  -  හොඳට හොඳයි
11. 1974  -  කස්තුරි සුවඳ
12. 1975  -  ආවා සොයා ආදරේ
13. 1975  -  සූරයා සූරයාමයි
14. 1976  -  නයනා
15. 1976  -  කවුද රජා
16. 1977  -  දෙවියනි ඔබ කොහිද
17. 1997 -  අපායේ තප්පර අසූ දහසක්
18. 1998 -  අන්තිම රැය

හාමිණි-මාලිනි එක්ව රඟපෑ චිත්‍රපට ගණන 18 ක්. ඉනුදු 15 ක් ම තිරගත වී ඇත්තේ 70 දශකයේදී.

(1977 දී "දෙවියනි ඔබ කොහිද " තිරගත වූවාට පසු ඔවුන් එක්ව රඟපෑවේ නැහැ.යම් අමනාපවීමක් නිසා එය සිදුවූ බවයි පැවසෙන්නේ. ඔවුන් සමඟි වී නැවත චිත්‍රපටයක රඟපාන්නේඉන් වසර 20 කට පසු. එවිට දෙදෙනාගෙම හොඳම තාරුණ්‍ය ගෙවී ගිහින්.)

මේ චිත්‍රපටවල ගීත අදටද ඉතා ජනප්‍රියයි.ගාමිණි-මාලිනි එක්ව රැඟූ සොඳුරුතම ගීත කීපයක් මේ.මේවායේ අසීමිත ජනප්‍රියත්වයට ප්‍රබලම සාධකයක් වුනේ ජෝතිගේ ගැඹුරු සහ හැගීම්බර කටහඬට එක්වූ ඇන්ජලීන් ගේ සුමියුරු කටහඬ බව අමුතුවෙන් කිව යුත්තක් නෙමෙයි.


1.  පාට පොදක් තිලක ලා  - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
2. ලස්සන ලෝකෙක ඉපදීලා - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
3. හද විමන් දොරින්  - කස්තුරි සුවඳ  චිත්‍රපටයෙන්
4. කොයි යන්නේ බඳ නලවාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්
5. සුදු පාට මීදුම් ගලාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්
6. මල් වැහි සීතල මල් වැස්සේ  - හොඳට හොඳයි චිත්‍රපටයෙන්
7. අමර පෙම් ලතාවේ  - සදහටම ඔබ මගේ චිත්‍රපටයෙන්
8. ආවා සොයා ආදරේ  - ආවා සොයා ආදරේ  චිත්‍රපටයෙන්
9. දෑසෙ විමන් දොරින්   -ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයෙන්


                                     
                                      පාට පොදක් තිලක ලා  - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්


                                     හද විමන් දොරින්  - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්


                                          සුදු පාට මීදුම් ගලාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්

ඉතින් ගාමිණි-මාලිනි යුගයේ චිත්‍රපටිවලට, ගීතවලට ආදරය කරන රසිකයන්ට ඇරයුමක් මේ. ගාමිණි-මාලිනි එක්ව රැඟූ සුන්දරම ගීතය තෝරන්නට.....:-)

හරිම අමාරු වැඩක්.ඔක්කොම එකකට එකක් නොදෙවෙනියි. ඉතාම අමාරුවෙන් මා නම් අංක එකට තෝරන්නේ....................................................................!!!

|
|
|
|
|
 එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්...................!!!
|
|
|
|
|
" සුදු පාට මීදුම් ගලාලා" ගීතයයි.   :-)

Wednesday, February 29, 2012

මාතා...යුද්ධයට මැදිවූ දහස් ගණන් ජීවිත වෙත හෙලූ දයාර්ද්‍ර බැල්මක්...




මාතා ගැන ලියන්නට පළමුව "බුඩී" ගැන යමක් ලිවියයුතු වෙනවා.."බුඩී" හෙවත් විශ්වනාත් බුද්ධික කීර්තිසේන...ලාංකේය සිනමාවට "සිහින දේශයෙන්" ගෙන ආ මිනිසා ඔහුයි..ඔහුගේ පළමු සිනමා නිර්මාණයෙන්ම ලාංකේය සිනමා රසිකයාට තියුණු සිනමා රස වින්දනයක් ගෙනදීමට ඔහු සමත්වුනා.

ඉන්පසුව ඔහු නිර්මාණය කළ "මිල්ලෙ සොයා" ද විශිෂ්ට නිර්මාණයක්..මිල්ලෙ සොයා ඉතාලියට පනින ලාංකේය තරුණයාගේ කථාව ඔහු එහිදී කදිමට නිරූපණය කළා.සහජ කුසලතාවත් සිනමාව පිළිබඳව ගැඹුරින් හදාරා තිබීමේ පසුබිමත් මෙවන් විශිෂ්ට නිර්මාණ බිහි කිරීමට අනිවාර්යෙන් හේතු වන්නට ඇති.

වර්තමානයේදී ඔහු නැවතත් අප හමුවට පැමිණ සිටිනවා..ඒ "මාතා" සමඟ.."යුද්ධය"...ඔව්..ඔබ අප සියළු දෙනා අත්විඳි ලාංකේය සමාජය තිස් වසරක් පෙලූ යුද්ධය එහි කථා පසුබිමයි.

පළමුව කිවයුත්තේ මේ තේමාව තෝරාගැනීම ඉතා වටිනා බවයි.යුද්ධය සම්බන්ධව තව තවත් නිර්මාණ බිහිවිය යුතුව තිබෙනවා.ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ බව සැබෑවක් නමුදු සිදුවූ සියල්ල ක්ෂණයෙන් අමතක කර දමා ජීවත්වීම වෙනුවට මේ යුද්ධයේ අක් මුල් තැන් උපේක්ෂා සහගතව විමසුම් කටයුතුව තිබෙනවා..මානුෂික බැල්මෙන් සිදුවූ සියල්ල විශ්ලේෂණය කර, නැවත එවන් ව්‍යසනයක් ඇති නොවන තැනටත්, සියළු ජන වර්ගයන්ට සාමයෙන් සතුටෙන් ජීවත්විය හැකි ලාංකේය සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙනුත් සැබෑ කලාකරුවන්ට කළ හැකි බොහෝ දේ තියෙනවා..

විශේෂයෙන්ම සිංහල චිත්‍රපටයක් වශයෙන් දෙමළ තරුණ තරුණියන්ගේ දෘෂ්ටි කෝණයෙන් මෙහි කථාව ඉදිරිපත් කිරීම ද අගය කළ යුතුයි.මන්ද ඔවුන්ගේ දෘෂ්ටි කෝණය අපට තරමක් ආගන්තුක සහ දුරස් නිසා.මේ යුද්ධයේදී කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනිවාර්ය දායකත්වයක් ඇති ඔවුන්ගේ සැබෑ කථාවට හා අදහස් වලට අප සමීප විය යුතුව තිබෙනවා. එබැවින් "පාර්වතී" සහ "යෝගරාජා" ගේ කථාව "මාතා" තුලින් ඉදිරිපත් වීම සැබැවින්ම අගය කළ යුතුයි.




මාතා නරඹන විට තියෙන්නේ වෙනත් සිනමා නිර්මාණයක් නරඹනවාට වඩා වෙනස් මානසිකත්වයක්.වෙනත් නිර්මාණයක් නරඹනවිට අප දන්නවා එය ප්‍රබන්ධයක් බව.නමුත් "මාතා" එසේ නොවෙයි."මාතා", ඔබ, අප සියළු දෙනා අත්විඳි තිස් වසරක යුද්ධයේ කථාව.අනිවාර්යෙන්ම සැබෑ යුද්ධය, මේ නිර්මාණයේ පෙන්නුම් කරනවාටත් වඩා දුෂ්කර සහ බියකරු බව අපි හැමෝම දන්නවා.සිනමා නිර්මාණයක් ලෙස පෙන්විය හැකි දෙයෙහි සීමාවක් තියෙනවා.මේ යුද්ධයේ ගලාගිය ලේ ගංඟාවන් එලෙසින්ම පෙන්වීමේ හැකියාවක් මේ නිර්මාණයට නැහැ.සත්‍යය, ප්‍රබන්ධයට ද වඩා දුෂ්කර සහ බියකරු අවස්ථාවක් මෙය.සියළු දෙනා අත්විඳි පීඩාවන්, දුෂ්කරතා සහ කළ කැපකිරීම් නිර්මාණයෙන් පෙන්වනවාට වඩා දස දහස් ගුණයෙන් වැඩියි.

තම සොයුරා LTTE ය විසින් බඳවා ගැනීම වළක්වා ගැනීම සඳහා "පාර්වතී" LTTE ය හා එක්වෙනවා.මෙය කී දෙනෙක්ට උරුම වුණු ඉරණමක්ද? LTTE යට පවුලකින් එක් අයෙක් බැඳීම අනිවාර්ය කෙරුණු විට සිය සොයුරු සොයුරියන්ගේ අනාගතය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත LTTE යුද්ධයට කැපකළ සොයුරු සොයුරියන් කොතෙක් වෙත්ද? සිය පවුල් සී සී කඩ විසිර විනාශ වී යනු දුටු, තම දරුවන් යුද්ධයට බිලිවනු දුටු, උමතුවට පත්වූ දෙමාපියන් කොතෙක් වෙත්ද?

මේ චිත්‍රපටයේ මා කැමති දෙයක් නම් යුද්ධය ගැන දේශපාලන ප්‍රකාශන දීමට නිර්මාණකරුවා ඉදිරිපත් වෙලා නැති එක.හරි ,වැරදි කවුරුන්ද ලෙස නිගමන දීමට හෝ තමන්ගේ පෞද්ගලික දේශපාලන දෘශ්ටිය නිර්මාණයට කවන්නට ඔහු උත්සාහ දරලා නැහැ. යුද්ධය ගැන අපි හැමෝටම එක එක කියවීම් තියෙන්නට පුළුවන්.නමුත් නිර්මාණය සෘජු ප්‍රචාරක වාදයෙන් බැහැරව තිබීම..එය නිර්මාණයක් ලෙස රස විඳීමට අපට ඉඩ ඉතුරු කරලා තියෙනවා.

චිත්‍රපටයේ තවත් මා සිත් ගත් තැනක් තමයි, ද්‍රවිඩ සමාජය තුල තියෙන දැඩි කුල පීඩනයට එල්ල කර ඇති අතුල් පහර.සියල්ල විනාශ වී ගිය යුද්ධය මැද වුව, ඉන්නට තැනක් නැතිව කූඩාරමක කන්නට දෙයක් නැතිව සිටියදී පවා, සිය හරක් බැලූ මිනිසා තමන්ගේ කූඩාරමට වැද්ද ගැනීමට ද්‍රවිඩ ගැහැනිය විරුද්ධ වෙනවා.පසුගාමී චින්තනයෙන් මිදිය නොහැකි වූ සාම්ප්‍රදායික සමාජය නිරූපනය වන්නේ උපහාසාත්මකව.

අප පසුකර පැමිණි දුෂ්කර වූත්, බියකරු වූත්, අඳුරු අතීතයට අපේ මනස නැවත අවදි කරවමින්, යුද්ධයට මැදිවූ දස දහස් ගණන් ජීවිත වෙත උපේක්ෂා සහගත වූත්, දයාර්ද්‍ර වූත් දෘෂ්ටියක් හෙළන.."මාතා"..
විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙසින් ලාංකේය සිනමාවට දායාද කිරීමට දායක වූ සියළු ශිල්පීන්ට මගේ ආචාරය...!

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters