Showing posts with label කලාව. Show all posts
Showing posts with label කලාව. Show all posts

Wednesday, December 12, 2012

සුපර් ස්ටාර්ස් ලගේ වැඩ කිඩ

 

රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් බලන එක නැවතිලා තිබුණත් පසුගිය සෙනසුරාදා පැවැත්වුණු දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 4 අවසන් තරඟය අහම්බයෙන් වගේ බලන්නට ලැබුණා.මාතලන් ලිපියක් ලියා තිබුණා ඒ අවසන් තරඟය ගැන.

 දෙරණින් බිහිවූ/බිහිවන  "සිහින තරු" වලට මොකද වෙන්නේ? ස්වකීය අනන්‍යතාවයන් ගොඩ නඟා ගත් කෙනෙක් දකින්නට නැහැ.

මොන විවේචන තිබුණා වුණත් සිරස සුපර් ස්ටාර් ගායකයන් කීප දෙනෙක් යම් මට්ටමකින් හෝ තමන්ගේ අනන්‍යතාවන් ගොඩ නඟා ගන්නට සමත් වී තිබෙන බවක් පෙනෙනවා.








SMS මනාප වලින් ලැබූ ජයග්‍රහණ කොහොම වුණත් අවසානයේදී දක්ෂයා ක්ෂේත්‍රයේ ඉතිරි වෙනවා.

ස්වතන්ත්‍ර නිර්මාණ ඉදිරිපත් කරමින්, දිනාගත් ජන ප්‍රසාදය පවත්වා ගන්නට, සුපර් ස්ටාර් ගායකයන් කීප දෙනෙක් සමත් වී ඇති බව පෙනෙනවා.

මේ ඔවුන්ගෙන් බිහිවූ ස්වතන්ත්‍ර නිර්මාණයන්ගෙන් මා වඩාත් ප්‍රියකරන් ගීත පහක් ගැන සටහනක්..

5 වන ස්ථානය: සඳුනි....
 ගායකයා: නලින්ද රණසිංහ

මේ ගීතයට නිර්මාණය කර ඇති අපූරු තනුව එහි ජනප්‍රියත්වයට ප්‍රධානම සාධකය යැයි සිතමි. මුල් කාලීන සුපර් ස්ටාර් ස්වතන්ත්‍ර නිර්මාණ අතරින් මුලින්ම ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත්තේ මේ ගීතය..








4 වන ස්ථානය: මේ සඳ වුනත්....

මේ ගායකයා බුද්ධික උෂාන්. ඉතාම අපූරු තනුවක් සේම ලස්සන වදන් පෙළක්.මෙහි වචන ඉසුරු වීරසිංහ මුදලි. සංගීතය සංඛ දිනෙත්. පොරත් සුපර් ස්ටාර් ඩයල් එකක්.


මේ සද උනත් පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්නා උනත්..............
මේ හුලඟමත් අයෙත් ඇවිත්
නුඹ ඉද්දි දුන් සිසිල දුන්නා උනත් ..........
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත් ...............
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්............
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසයි දෝ.....








මේ ගීතය නම් බොහෝ දෙනෙක් කැමති එකක්. පසුගිය කාලේ ජනප්‍රියතාවයේ ඉහළින්ම වැජඹුණේ මේ ගීතය. එපා වෙන තරමටම ඇහුණ ගීතයක් :)

3 වන ස්ථානය:  ඔබ තරම් පෙම්කළ කිසිවෙක් - තීක්ෂණ අනුරාධ.........................

මෙහි වචන- ඩිලාන් ගමගේ
 සංගීතය- රදේශ් වැන්දබෝනා.








ඔබ තරම් පෙම් කල කිසිවෙක්...
නෑති තරම් මේ ලොකයේ කොහෙවත්...
ඔබට මන් ආදරේ බව මේතරම්...
වෑටහුනේ ඔබ වෙන්වී ගියදා..



-------------------------------------------------------------------------






ශිහාන් මිහිරංග.....තරමක් ආන්දෝලානාත්මක චරිතයක්. මට අනුව නම් රියැලිටි වේදිකාවෙන් බිහිවූ එකම "තරු" ගායකයා ඔහුයි. ඔහු කරපු නාමල් උඩුගමගේ "රෑ සිහිනෙන්" රීමේක් එකත් "නියමයි" කියන්න පුළුවන්.ඔහුගේ ස්ව නිර්මාණ අතරින් මගේ ප්‍රියතම ගීතය.."පෙරදා මැවූ සිනා"..ඒකේ යූ ටියුබ් එකේ වීඩියෝ බර ගණනක් තිබුණත් මගේ කැමතිම වීඩීයෝව රිතික් රෝෂන් ඉන්න මේ වීඩියෝවටයි..

මේ ගීතය නිර්මාණය වන්නේ "සුවඳ දැනුණා ජීවිතේ" ච්ත්‍රපටය වෙනුවෙන්. මෙහි වචන; දක්ෂ ගී පද රචකයෙක් වන නිලාර් එන්. කාසිම් ගෙනි.

2 වන ස්ථානය: පෙරදා මැවූ සිනා- ශිහාන්  මිහිරංග............................








පෙරදා මැවූ සිනා සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ..
පෙරදා මැවූ සිනා..//

මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලත වේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ...

පෙරදා මැවූ සිනා..

මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ
රැ කලුවරේ ගිලෙන්නේ සිහිනේ දසුන් බොඳ වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලු වේවිනම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ...

පෙරදා මැවූ සිනා..

සුපර් ස්ටාර් ගායකයන් අතරින් බිහිවූ හොඳම ගීතය ලෙස මා නම් කරන්නේ ......
 ||
 ||
 ||
 ||
 ||
 ||
..................................................

1 වන ස්ථානය: හිරු මැකී යයි - අමිල පෙරේරා....


ඔහුගේ හඬ සුවිශේෂයි. හොඳ ගැඹුරක් ඇති කටහඬක් හිමි ගායකයෙක් ඔහු. 

ආසයි මං පියාඹන්න චිත්‍රපටයට නිර්මාණය වූ ගීතයක්. පූජාගේ ත් සනත් ගේත් රඟපෑම ඉහළයි. රොෂාන් ගේ නම් රඟපෑමේ හැකියාව මදි බව කියන්න වෙනවා. නමුත් පද මාලාවද මහේෂ් දෙනිපිටියගේ තනුව හා සංගීතටය මුසුවන අමිලගේ ගැඹුරු හඬ  විශිෂ්ට  ගීතයක් බිහිකරන්නට සමත් වී තිබෙනවා.මෙහි පද මාලාව කාගේ දැයි නොදනිමි :(

හිරු මැකී යයි නීල අහසේ
සේද මීදුම් මායිමේ,,,
නිමාවී යයි මේ වසන්තේ
යලිත් නොම එයි කිසි දිනේ,,,,,
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්,
රිදුම් දෙයි ආදරේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා,,,,,
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා,,,,,

තුෂර පින්නේ
පැතුම් ඕවිල්ලේ,,,,,
ඔබේ සෙනෙහේ
ඔහු හදේ රැදුනේ,,,,,
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ,,,
ඉකිබිඳිමි රහසේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා,,,,,,
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා,,,,,,

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්,,,,,
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ,,,,,
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ,,,,,,,,,,,,,,,,,,,,,,,,,
හද සුසුම් පවනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා
ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ,,,,,,,
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ ,,,,,,,
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ ,,,,,,
 





 

Sunday, October 21, 2012

"සංකාරා" ගෙනා ප්‍රසන්න ජයකොඩිගෙන් "කර්ම"...


ප්‍රසන්න ජයකොඩිගේ අලුත් සිනමා පටය පිළිබඳව ප්‍රචාරක පෝස්ටරයක් හදිස්සියේ නෙත ගැටුණි. ඉතින් "සංකාරා" මතකයට ඒම පිළිබඳව අමුතුවෙන් කිව යුතුද? අපූර්ව වූ රසයක් විඳි "සංකාරා" නිර්මාණය කළ ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයක් නම් නැරඹීමට දෙවරක් සිතිය යුතුද? එනිසාවෙන් අද හවස රීගල් සිනමා හලට ගොඩ වැදුනේ "කර්ම" විඳ ගන්නටය.




ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා ඉහළය."හොඳ සිංහල චිත්‍රපට" නරඹන්නට ඇත්තටම ලංකාවේ විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිති."සංකාරා" තුළින් ප්‍රසන්න ජයකොඩි ඇති කරගත් ප්‍රතිරූපය මෙයට ප්‍රේක්ෂකයන් ඇදගන්නට උත්තේජනයක් සපයන්නටද ඇත.

නමුත් මෙය ලියවෙන්නේ අසතුටෙනි. "කර්ම" නැරඹීමෙන් "හොඳ නිර්මාණයක් රස විඳීමේ" මගේ බලාපොරොත්තුව කඩවිය.[අවංකවම මෙය මගේ රස වින්දනයේ අඩුවක් විය හැක.තව කෙනෙකුට මෙය උසස් නිර්මාණයක් විය හැක. නමුත් මා ලියන්නේ මට හැඟුණු දෙයයි.]

මෙය "බලහත්කාරයෙන් සම්භාව්‍ය " කිරීමට තැත් දැරූ නිර්මාණයක් බවයි මටනම් හැඟුනේ. 




අඩු දෙබසින් යුතුව, රූප වලින් කථාව කීම ප්‍රසන්න ජයකොඩිගේ සිනමාව බව අපි "සංකාරා" හිදී අත් දැක්කෙමු.නමුත් එය මෙහිදී අපූර්වත්වය මවනු වෙනුවට "බොරු සම්භාව්‍ය" බවක් මවයි. 

මේ කථාව වුව ඇඟට දැනෙන ගතියක් නැත. අහසේ පාවෙන, හුදෙකලා, මුල් නැති, ඕපපාතික වැනි වදන්
භාවිතා වෙන්නේ මෙවන් නිර්මාණ වලට යැයි සිතමි.

නමුත් මෙය අගය කළ හැකි දෙයක් ඇත්තේම නැති වර්ගයේ චිත්‍රපටයක් නොවේ. නිර්මාණශීලී රූප රාමු, අපූර්වත්වයක් ගෙනෙයි. ආලෝකකරණයද,පසුතලද අගනේය.අලුත් නළු නිළියන් යොදාගැනීම අගය කළයුතුය.නමුත් විශේෂයෙන් අගය කළ හැකි මට්ටමේ රංගනයක් ගැන කිව නොහැක.[මිෂෙල් නම් ලස්සනය. එය වෙනම කථාවකි.:)] 

රූප රාමුවලින්ද, දෙබස් වලින්ද විටෙක "හඳගම" සිහිවෙයි.

ප්‍රසන්න ජයකොඩි සුවිශේෂි යමක් සිංහල සිනමාවට දායාද කළ හැකි නිර්මාණකරුවෙක් බවට සැකයක් නැත. තම මුල් නිර්මාණය "සංකාරා" තුලින් ඔහු එය ඕනෑවටත් වඩා ඔප්පු කළේය.විය යුත්තේ "සම්භාව්‍ය එක්ටැම් ගෙවල්" වලින් එළියට ඒමට හිත හදා ගැනීම පමණකි...!!

Wednesday, July 18, 2012

වළාකුළකින් මුවාකළ හිරු හෙවත්....විජය කුමාරතුංග නම් වූ ගායකයා....






දවසක් ගොම්මන් වෙලාවේ...
මං අහුවුණා නා කපන වරුසාවකට...
දර කෝටු ටිකකුත් ඉනේ තියන්...
ළිඳක් ගාව තනිවුණු අම්මා කෙනෙක් මං දැක්කා..
ඇගේ මූණේ තිබුණා මහා දුක්බර ගතියක්.....
මොනවද ඈ හිතන්නේ...
මේ ඈ හිතන දේවල් වෙන්න ඇති කියලා මට හිතිච්ච හැටි...


වියූ පැදුර ගෙයි මිදුලේ....
ළිඳ ගාවයි වතුර කළේ...
තවම කැළේ දර උකුළේ...වහිනවා වැහී...
පුතා ගෙයි නිදී....පැල තෙමෙනවා ඇතී...
අහස ගුගුරුවා....
වහිනවා වැහී....
                                                ගීතය මෙතනින්.



එය අපූරු කටහඬක්. අතිශයින් විරල මෙන්ම පෞර්ෂයෙන් පිරුණක්; එහි අයිතිකරු වාගේම.




ජේ.ආර් යුගයේදී විජය නිකුත් කළ " වේදනා " කැසට් පටය සුවිශේෂයි. එය ගැයෙන්නේ කපුගේ ගේ "කම්පන" සහ නන්දා ගේ " පවන" ට කලින්. ලංකාවේ මුල්ම දේශපාලන විරෝධාකල්ප ගීත කැසට් පටය දැයි මා  දන්නේ නැහැ. සුනිල් ආරියරත්න ලියූ කපුගේ සංගීතවත් කළ මේ ගීතය අදටත් ජනප්‍රියයි.


දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්...
අළුගෝසුවනේ එල්ලාපන්....

අළුගෝසුවනේ එල්ලාපන්..
කටු ඉඹුලේ අප එල්ලාපන්...











මා දන්නා තරමින් මේ කැසට් පටය නිකුත් වුණේ 80 දශකයේ මුල් භාගයේ. උගත්, රැකියා විරහිත, සමාජ අසාධාරණයට ලක්වූ ලාංකේය තරුණ පරපුරේ අසහනය ගැන සමාජයට පෙන්වා දුන් මේ නිර්මාණ බිහිවුණේ ඒ අසහනය මෝරා පුපුරා යෑමට බොහෝ කලකට පෙර. නමුත් ඒ ගැන සමාජයේ හෝ පාලක පන්තියේ අවධානයට ලක් වූයේ නැහැ ඒ අසහනය පුපුරා යන තෙක්ම. වඩාත් අවාසනාව ඔහුද ඒ පුපුරා යාමේ ගොදුරක් වීම...

වහලේ යටලීයේ....
එල්ලී මිය ගිය මගේ මලේ..
මළේ කිමද නුඹ දනිමි මලේ...

බලය වෙනුවෙන් මුළු මහත් රටම අවුලට ඇද දමා,අද දවසේදී ගාලු මුවදොර පිටියේ පිළිම වෙමින්, උපන් බිමට පිටුපා මහ සයුර දෙස බලා හිඳින්නේ ඇත්තටම "වීරයන්ද"??? සුනිල් ආරියරත්නයන්ගේ චින්තනය විජය ගේ ගැඹුරු හඬින්...


උපන් බිමට පිටුපා..
කෞතුක මන්දිරයක මිදුලට බැස...
මහ සමුදුර වෙත දෑස යොමාගෙන...
සිටිනා වීරයිනේ....
නුඹය මෙදා අප විඳිනා ගැහැටට....
වග උත්තර කරුවෝ...

ගමේ වෙසෙන පෙම්වතිය ගැන කොළඹ රැකියාවකට පැමිණි තරුණයාගේ සිතුවිලි ගීයකට නැගුණු අපූරුව..


පාළු රැයකදි මුහුදු වෙරළේ...
තනිව හිඳිනා විට ඔහේ..
අහස මුදුනට සඳ ඇවිත් මට..
කියයි ඔබ ගැන කොඳුරලා...

කඳුකරේ සිටිනා මගේ පෙම්...
මිහිරියාවිය සිහිවෙලා..
කොළඹ නගරය හනික හැරදා...
එන්න හිතෙනවා පියඹලා....



වෙනස් ආකාරයේ මව් ගුණ ගීයක්...

තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න..
මගෙ රත්තරන් අම්මේ..
මං පඩි අරන් අද හෙට එනතුරු ගමට...
තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට...

පියෙකුගේ, සැමියෙකුගේ දයාබර සිතුවිලි....


කවුළුව අතරින් හිරිපොද එනවා...
පොල් අතු වහළින් පිණි බේරෙනවා..
සොඳුරිය මාගේ පුංචි පුතා මා...
උකුලෙ හොවා නළවනවා...



රට සල්ලි සොයා මැද පෙරදිග ගිය ශ්‍රමිකයන්ගේ ජීවන ගීතය....

වළාකුළක් ගෙන මුවා කරමු හිරු..
ගිනිගෙන වියරුව නළියන වැලි කතරේ...
රත්වුණු වැලිකැට පුපුරණ...
මැද පෙරදිග මරු කතරේ....






"සහරාවේ සිහිනය" චිත්‍රපටයට ගැයුණු මේ ගීයට ඔහුට එම වසරේදී හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සම්මානය හිමිවුණා.


ඔරු කඳ පාවී...දියඹට යාවී..
.සීතල මාරුතයේ.....

රළ පෙරලී විසිරී පාවී යාවී....
සිතුවිලි සාගරයේ...





දිවිපෙවත සරි කර ගැනීමට දිවි පරදුවට තබා මුහුදට යන ධීවර සොයුරන් ගැන දයාවෙන් ගැයුණක්..


නමුත් ධීවරයන් ගැන ගැයුණු  ගීත අතර ඉහළම ජනප්‍රියත්වය දිනාගත්තේ මේ ගීය.......

රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ...
යන්නම් දියඹට රෑ යාමේ....

අඹු දරුවෝ මා දෙවියො රකීවා...
එනතුරු මා උදේ මා...

                                                                                 


මෙය ගැයුණේ ගැල්කරුවන් ගැන...

මිණි කිංකිණි හඬ පරදා....
මේ ගැල් ගමනේ....
කළුවර කතරේ...
කඳු වැටි මානේ...
දුක් ගිනි රාවේ සවනත පෑවේ...
සුදු මැණිකේ...

                                                    ගීතය මෙතනින්.



ගඟ අද්දර ච්ත්‍රපටයට විජය ගැයූ මේ ගීයේ, වසන්ති චතුරානි සමඟ විජය රඟන රූප රාමු බොහෝ දෙනෙකුට මතක ඇති....

ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී...
හද සන්තක විය අනුහස් ආසිරි ගී...
ඔබ හමුවේ මා...
මුව ගොළු වූවා...

                                                    ගීතය මෙතනින්.



විජයගේ හඬට එක්වූ චන්ද්‍රලේඛාගේ හඬ මවන සෞන්දර්ය....


සැරයටියෙන් අපි යනෙන තුරා...
සංසාරේ අපි එකට ඉමු..
සංසාරෙන් අපි සමු ගන්නා දා..
ඒ ගමනත් අපි එකට යමු...

                                                        ගීතය මෙතනින්.


පායා සීත රැයේ, රූස්ස ගහ ලඟ, දේවදාර ගස් අතරින්... විජයගේ කටහඬින් ගැයුණු තවත් සුන්දර ගීත කීපයක්......





ලාංකේය සමාජයේ මෑත ඉතිහාසයේ ජීවත් වූ අසීමාන්තික ජන ප්‍රසාදය දිනූ මිනිසාගේ  කටහඬින්, ගායන කෞශල්‍යයෙන් නිමැවුණු ගී වල සෞන්දර්ය  සහ රස මිහිර හඳුනන්නෙක්ද ඔබත්? එසේනම් මේ ඇරැයුම "විජය ගීත" ගැන ඔබේ අදහස්වලට...

Thursday, March 29, 2012

ගාමිණි-මාලිනි යුගයේ සුන්දරම ගීතය කුමක්ද..........???

හැත්තෑව දශකයේ සිංහල සිනමාව අතිශයින් සුන්දරයි.එම යුගයේ සිංහල සිනමාවේ තාරකාවිය..දඟකාර, සුන්දර, සුරූපි මාලිනිය....සැබෑ පෞර්ෂයෙන් පිරිපුන් ආකර්ශනීය පෙම්වතා ; අයුක්තියට, අසාධාරණයට එරෙහිවන වීරයා..ගාමිණි ..(මේ දෙදෙනාගේම වාසගම "ෆොන්සේකා" වූයේ කවර නම් අහම්බයකින්ද :-)  ).ඔවුන් දෙදෙනා එක්ව මැවූ සිනමා සෞන්දර්ය "ගාමිණි-මාලිනි යුගය"  ලෙසින් සිංහල සිනමා රසිකයාගේ මතකයේ සදා බැබළෙනවා.

විනෝදාත්මක සිනමාව පමණක්ද? ඇයි "නිධානයේ" විලී අබේනායක සහ අයිරින්..නිධානයකට බැඳි ලොබින් සිය අහිංසක බිරිඳ මරාදමන ගුප්ත වළව්කරු....මිනිස් චින්ත සන්තානයේ ගැඹුරු හැඟීම් විනිවිද දුටු "නිධානය" තිරයේ මැව්වේද "සුදු පාට මීදුම් ගලාලා" හි පෙම් රැඟුම් පෑ ගාමිණි-මාලිනි මයි.("සුදු පාට මීදුම් ගලාලා" ගිතය අඩංගු "එදත් සූරයා අදත් සූරයා" ත්   "නිධානය" ත් එකම වසරේ (1972) තිරගත වූ චිත්‍රපටි.)

මේ ඔවුන් එක්ව රඟපෑ චිත්‍රපටි...

1.  1969  -  පාරාවළලු
2.  1971  -  හතර දෙනාම සූරයෝ
3.  1972  -  නිධානය
4.  1972  -  සහනය
5.  1972  -  එදත් සූරයා අදත් සූරයා
6.  1972  -  ආදරේ හිතෙනව දැක්කම
7.  1973  -  සදහටම ඔබ මගේ
8.  1973  -  හොඳම වෙලාව
9.  1973  -  හොඳයි නරකයි
10. 1973  -  හොඳට හොඳයි
11. 1974  -  කස්තුරි සුවඳ
12. 1975  -  ආවා සොයා ආදරේ
13. 1975  -  සූරයා සූරයාමයි
14. 1976  -  නයනා
15. 1976  -  කවුද රජා
16. 1977  -  දෙවියනි ඔබ කොහිද
17. 1997 -  අපායේ තප්පර අසූ දහසක්
18. 1998 -  අන්තිම රැය

හාමිණි-මාලිනි එක්ව රඟපෑ චිත්‍රපට ගණන 18 ක්. ඉනුදු 15 ක් ම තිරගත වී ඇත්තේ 70 දශකයේදී.

(1977 දී "දෙවියනි ඔබ කොහිද " තිරගත වූවාට පසු ඔවුන් එක්ව රඟපෑවේ නැහැ.යම් අමනාපවීමක් නිසා එය සිදුවූ බවයි පැවසෙන්නේ. ඔවුන් සමඟි වී නැවත චිත්‍රපටයක රඟපාන්නේඉන් වසර 20 කට පසු. එවිට දෙදෙනාගෙම හොඳම තාරුණ්‍ය ගෙවී ගිහින්.)

මේ චිත්‍රපටවල ගීත අදටද ඉතා ජනප්‍රියයි.ගාමිණි-මාලිනි එක්ව රැඟූ සොඳුරුතම ගීත කීපයක් මේ.මේවායේ අසීමිත ජනප්‍රියත්වයට ප්‍රබලම සාධකයක් වුනේ ජෝතිගේ ගැඹුරු සහ හැගීම්බර කටහඬට එක්වූ ඇන්ජලීන් ගේ සුමියුරු කටහඬ බව අමුතුවෙන් කිව යුත්තක් නෙමෙයි.


1.  පාට පොදක් තිලක ලා  - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
2. ලස්සන ලෝකෙක ඉපදීලා - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
3. හද විමන් දොරින්  - කස්තුරි සුවඳ  චිත්‍රපටයෙන්
4. කොයි යන්නේ බඳ නලවාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්
5. සුදු පාට මීදුම් ගලාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්
6. මල් වැහි සීතල මල් වැස්සේ  - හොඳට හොඳයි චිත්‍රපටයෙන්
7. අමර පෙම් ලතාවේ  - සදහටම ඔබ මගේ චිත්‍රපටයෙන්
8. ආවා සොයා ආදරේ  - ආවා සොයා ආදරේ  චිත්‍රපටයෙන්
9. දෑසෙ විමන් දොරින්   -ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයෙන්


                                     
                                      පාට පොදක් තිලක ලා  - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්


                                     හද විමන් දොරින්  - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්


                                          සුදු පාට මීදුම් ගලාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්

ඉතින් ගාමිණි-මාලිනි යුගයේ චිත්‍රපටිවලට, ගීතවලට ආදරය කරන රසිකයන්ට ඇරයුමක් මේ. ගාමිණි-මාලිනි එක්ව රැඟූ සුන්දරම ගීතය තෝරන්නට.....:-)

හරිම අමාරු වැඩක්.ඔක්කොම එකකට එකක් නොදෙවෙනියි. ඉතාම අමාරුවෙන් මා නම් අංක එකට තෝරන්නේ....................................................................!!!

|
|
|
|
|
 එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්...................!!!
|
|
|
|
|
" සුදු පාට මීදුම් ගලාලා" ගීතයයි.   :-)

Wednesday, February 29, 2012

මාතා...යුද්ධයට මැදිවූ දහස් ගණන් ජීවිත වෙත හෙලූ දයාර්ද්‍ර බැල්මක්...




මාතා ගැන ලියන්නට පළමුව "බුඩී" ගැන යමක් ලිවියයුතු වෙනවා.."බුඩී" හෙවත් විශ්වනාත් බුද්ධික කීර්තිසේන...ලාංකේය සිනමාවට "සිහින දේශයෙන්" ගෙන ආ මිනිසා ඔහුයි..ඔහුගේ පළමු සිනමා නිර්මාණයෙන්ම ලාංකේය සිනමා රසිකයාට තියුණු සිනමා රස වින්දනයක් ගෙනදීමට ඔහු සමත්වුනා.

ඉන්පසුව ඔහු නිර්මාණය කළ "මිල්ලෙ සොයා" ද විශිෂ්ට නිර්මාණයක්..මිල්ලෙ සොයා ඉතාලියට පනින ලාංකේය තරුණයාගේ කථාව ඔහු එහිදී කදිමට නිරූපණය කළා.සහජ කුසලතාවත් සිනමාව පිළිබඳව ගැඹුරින් හදාරා තිබීමේ පසුබිමත් මෙවන් විශිෂ්ට නිර්මාණ බිහි කිරීමට අනිවාර්යෙන් හේතු වන්නට ඇති.

වර්තමානයේදී ඔහු නැවතත් අප හමුවට පැමිණ සිටිනවා..ඒ "මාතා" සමඟ.."යුද්ධය"...ඔව්..ඔබ අප සියළු දෙනා අත්විඳි ලාංකේය සමාජය තිස් වසරක් පෙලූ යුද්ධය එහි කථා පසුබිමයි.

පළමුව කිවයුත්තේ මේ තේමාව තෝරාගැනීම ඉතා වටිනා බවයි.යුද්ධය සම්බන්ධව තව තවත් නිර්මාණ බිහිවිය යුතුව තිබෙනවා.ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ බව සැබෑවක් නමුදු සිදුවූ සියල්ල ක්ෂණයෙන් අමතක කර දමා ජීවත්වීම වෙනුවට මේ යුද්ධයේ අක් මුල් තැන් උපේක්ෂා සහගතව විමසුම් කටයුතුව තිබෙනවා..මානුෂික බැල්මෙන් සිදුවූ සියල්ල විශ්ලේෂණය කර, නැවත එවන් ව්‍යසනයක් ඇති නොවන තැනටත්, සියළු ජන වර්ගයන්ට සාමයෙන් සතුටෙන් ජීවත්විය හැකි ලාංකේය සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙනුත් සැබෑ කලාකරුවන්ට කළ හැකි බොහෝ දේ තියෙනවා..

විශේෂයෙන්ම සිංහල චිත්‍රපටයක් වශයෙන් දෙමළ තරුණ තරුණියන්ගේ දෘෂ්ටි කෝණයෙන් මෙහි කථාව ඉදිරිපත් කිරීම ද අගය කළ යුතුයි.මන්ද ඔවුන්ගේ දෘෂ්ටි කෝණය අපට තරමක් ආගන්තුක සහ දුරස් නිසා.මේ යුද්ධයේදී කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනිවාර්ය දායකත්වයක් ඇති ඔවුන්ගේ සැබෑ කථාවට හා අදහස් වලට අප සමීප විය යුතුව තිබෙනවා. එබැවින් "පාර්වතී" සහ "යෝගරාජා" ගේ කථාව "මාතා" තුලින් ඉදිරිපත් වීම සැබැවින්ම අගය කළ යුතුයි.




මාතා නරඹන විට තියෙන්නේ වෙනත් සිනමා නිර්මාණයක් නරඹනවාට වඩා වෙනස් මානසිකත්වයක්.වෙනත් නිර්මාණයක් නරඹනවිට අප දන්නවා එය ප්‍රබන්ධයක් බව.නමුත් "මාතා" එසේ නොවෙයි."මාතා", ඔබ, අප සියළු දෙනා අත්විඳි තිස් වසරක යුද්ධයේ කථාව.අනිවාර්යෙන්ම සැබෑ යුද්ධය, මේ නිර්මාණයේ පෙන්නුම් කරනවාටත් වඩා දුෂ්කර සහ බියකරු බව අපි හැමෝම දන්නවා.සිනමා නිර්මාණයක් ලෙස පෙන්විය හැකි දෙයෙහි සීමාවක් තියෙනවා.මේ යුද්ධයේ ගලාගිය ලේ ගංඟාවන් එලෙසින්ම පෙන්වීමේ හැකියාවක් මේ නිර්මාණයට නැහැ.සත්‍යය, ප්‍රබන්ධයට ද වඩා දුෂ්කර සහ බියකරු අවස්ථාවක් මෙය.සියළු දෙනා අත්විඳි පීඩාවන්, දුෂ්කරතා සහ කළ කැපකිරීම් නිර්මාණයෙන් පෙන්වනවාට වඩා දස දහස් ගුණයෙන් වැඩියි.

තම සොයුරා LTTE ය විසින් බඳවා ගැනීම වළක්වා ගැනීම සඳහා "පාර්වතී" LTTE ය හා එක්වෙනවා.මෙය කී දෙනෙක්ට උරුම වුණු ඉරණමක්ද? LTTE යට පවුලකින් එක් අයෙක් බැඳීම අනිවාර්ය කෙරුණු විට සිය සොයුරු සොයුරියන්ගේ අනාගතය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත LTTE යුද්ධයට කැපකළ සොයුරු සොයුරියන් කොතෙක් වෙත්ද? සිය පවුල් සී සී කඩ විසිර විනාශ වී යනු දුටු, තම දරුවන් යුද්ධයට බිලිවනු දුටු, උමතුවට පත්වූ දෙමාපියන් කොතෙක් වෙත්ද?

මේ චිත්‍රපටයේ මා කැමති දෙයක් නම් යුද්ධය ගැන දේශපාලන ප්‍රකාශන දීමට නිර්මාණකරුවා ඉදිරිපත් වෙලා නැති එක.හරි ,වැරදි කවුරුන්ද ලෙස නිගමන දීමට හෝ තමන්ගේ පෞද්ගලික දේශපාලන දෘශ්ටිය නිර්මාණයට කවන්නට ඔහු උත්සාහ දරලා නැහැ. යුද්ධය ගැන අපි හැමෝටම එක එක කියවීම් තියෙන්නට පුළුවන්.නමුත් නිර්මාණය සෘජු ප්‍රචාරක වාදයෙන් බැහැරව තිබීම..එය නිර්මාණයක් ලෙස රස විඳීමට අපට ඉඩ ඉතුරු කරලා තියෙනවා.

චිත්‍රපටයේ තවත් මා සිත් ගත් තැනක් තමයි, ද්‍රවිඩ සමාජය තුල තියෙන දැඩි කුල පීඩනයට එල්ල කර ඇති අතුල් පහර.සියල්ල විනාශ වී ගිය යුද්ධය මැද වුව, ඉන්නට තැනක් නැතිව කූඩාරමක කන්නට දෙයක් නැතිව සිටියදී පවා, සිය හරක් බැලූ මිනිසා තමන්ගේ කූඩාරමට වැද්ද ගැනීමට ද්‍රවිඩ ගැහැනිය විරුද්ධ වෙනවා.පසුගාමී චින්තනයෙන් මිදිය නොහැකි වූ සාම්ප්‍රදායික සමාජය නිරූපනය වන්නේ උපහාසාත්මකව.

අප පසුකර පැමිණි දුෂ්කර වූත්, බියකරු වූත්, අඳුරු අතීතයට අපේ මනස නැවත අවදි කරවමින්, යුද්ධයට මැදිවූ දස දහස් ගණන් ජීවිත වෙත උපේක්ෂා සහගත වූත්, දයාර්ද්‍ර වූත් දෘෂ්ටියක් හෙළන.."මාතා"..
විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙසින් ලාංකේය සිනමාවට දායාද කිරීමට දායක වූ සියළු ශිල්පීන්ට මගේ ආචාරය...!

Monday, October 31, 2011

12 වෙනි සියවසේ ජීවත් වූ අපි...........


ඔබ ෂර්වුඩ් කැලය ගැන දන්නා කෙනෙක්ද? එය පිහිටියේ එංගලන්තයේ...12 වෙනි සියවසේදී මේ කැලයේ වාසය කලා පිටුවහල්ලු (Outlaws)..ඔවුන් රජයේ අයබදු හොරකම් කල හොර තක්කඩි..මේ කාණ්ඩයට නායකත්වය දුන්නේ හිස වැසූ මිනිසෙක් (Hooded Man.)..ඔහුට Robin in the hood එහෙමත් නැත්නම් Robinhood කියලා කියනවා..



මේ අපි බොහෝ දෙනෙක් ආදරය කළ Robinhood ගේ වෘත්තාන්තය..රොබින්හුඩ් මගේ ලෝකයේ වීරයෙක්..මගේ විතරක් නෙමෙයි..ලංකාවේ පරම්පරා කීපයකම වීරයෙක්....Robin of Sherwood නම් TV Series එක 1982 දී පමණ එංගලන්තයේදී නිපදවී රටවල් ගණනාවකම ප්‍රදර්ශනය වී ඇති හෙයින්, රටවල් ගණනාවක රොබින්හුඩ් රසිකයන් සිටින බවට සැකයක් නැහැ.

මට මතක හැටියට ඉරිදා හවස 4 ට තමයි "හසරැළි රසාර" පටන් ගත්තේ..ඉරිදා සෙල්ලම් හවස 4 වෙනකොට ඉවරයි..රොබින්හුඩ් බලන්න...රොබින්හුඩ් ආරම්භ වෙන සංගීතය යනකොට දැනෙන හැඟීම...විස්තර කරන්න වදන් නැත..!!.

එංගලන්තයේ පිහිටි ෂර්වුඩ් කැළය අපිටත් අපේ ගෙදර වගේ හුරුපුරුදු තැනක් වුනා ඒ කාලයේදී...සියවස් ගණනාවකට කලින් එහි වාසය කළ පිටුවහල්ලු අපේ ආදරය දිනාගත්..අපේ ජීවිතවලට තදින් ළංවුනු සමීපතමයන් වුනා..රොබින්හුඩ්, මැරියන්, ලිට්ල් ජෝන්, විල් ස්කාලට්, ටක්, නසියර් සහ මාච්..රොබින්හුඩ් ගේ ගැන්සිය.ෂර්වුඩ් කැලය ආසන්නයේ පිහිටි විකම් ගම සහ එහි වැසියන්..ඒ විතරක්ද? . නොටින්හැම්හි ෂෙරීෆ් සහ ගිස්බන්..අමතක කරන්න පුළුවන්ද?

රොබින්හුඩ් ගේ ගැන්සියේ මා වඩාත් ප්‍රිය කළ චරිතයක් (රොබින් හැරුණාම )..නසියර්...එයාගේ වෙනස තමයි එයා ෆයිට් කරන්නේ කඩු දෙකකින්..කඩු දෙක පිටේ එල්ලන් ඉන්නේ cross එකක් විදිහට..සටනක් පටන් ගන්න කොට උරහිසට උඩින් අත් දෙක cross වෙන විදිහට දාලා, කඩු දෙක ඇදලා අරගෙන සටනට සැරසෙන හැටි..මේ ලියන මොහොතේත් සිතේ මැවෙනවා.Nothing has forgotten..Nothing has ever forgotten......(කිසිවක් අමතක නොවේ..කිසිවක් කිසිදාක අමතක නොවේ )...රොබින්හුඩ් එකේ ජනප්‍රියම වදන් පෙළට අනුවම මේ දර්ශනත් තාමත් මතකයේ තියෙනවා.. නසියර් ගැන අනිත් විශේෂත්වය තමයි ඔහු නිහඬ වැඩ කාරයෙක් වීම..වැඩි සද්ද බද්ද නැති නිහඬ මිනිහෙක්..නමුත් තමන්ගේ කාර්යය ඉහලින්ම කරන..!

අපි කාටත් වැඩිය දිරවන්නේ නැති චරිතයක් තමයි කුකුල් කේන්තිකාර විල් ස්කාලට්..ඔහු විටෙක රොබින් ටත් අවනත නොවෙන විට අපිටත් පුදුම මලක් පනින්නේ..දඩබ්බර, මුරණ්ඩු, ඉක්මනින් කෝපවෙන චරිතයක්..නමුත් ඔහුත් කණ්ඩායමට නැතිවම බැරි චරිතයක්..අපේ ජීවිතවලත් මෙවැනි චරිත හා වැඩ කරන්නට ලැබෙන විට, රොබින් ඔහු සමඟ කටයුතු කල ඉවසිලිවන්ත සහ බුද්ධිමත් ආකාරය මනා ආදර්ශයක් ලබාදෙනවා...

ටක්..බුද්ධිමත්, බහුශ්‍රැත මෙන්ම තරබාරු පූජකයා..ලිට්ල් ජෝන්..විසල් සිරුරැති මුත් මුදු හදක් ඇති, විනෝදකාමි මිනිසා..මාර්ච්..ගැන්සියේ පොඩි එකා..

මැරියන්..රොබින් සේම අපත් ඇයට ආදරය කළා..පළමු රොබින් (Michael Praed)..මියගිය දින සේම..ඇය දෙවෙනි රොබින් (Jason Connery ) මියගියේ යැයි සිතා කන්‍යාරාමයකට ගොස් කණ්ඩායමෙන් නික්මුන දාත් අප කඳුළු සැලුවා..

රොබින්හුඩ් ගැන මගේ මතකයේ තවත් දිගුවක් විහිදෙන්නේ විශ්ව විද්‍යාල ජීවිතයට..අප විශ්ව විද්‍යාලයේ ඉන්නා කාලයේත් රූපවාහිනියේ රොබින්හුඩ් පෙන්නුවා..රටේ ආණ්ඩු සමඟ හැප්පෙන, විප්ලව කරන්නට කථා කරන බැරෑරුම් චරිත උදේ පාන්දර රොබින්හුඩ් බලන්නට අක්බාර් කැන්ටිමේ සෙට්වෙන හැටි මුලදී පුදුමයක් වගේ පෙනුනත් සුන්දර අත්දැකීමක් වුනා..එහි පුදුම වෙන්න දෙයක් ඇත්තටම නැහැ..යුක්තිය,සාධාරණය වෙනුවෙන් සිතන්නට, ක්‍රියාත්මක වෙන්නට ඔවුන්ගේ මනස්වලට මුල්ම උත්තේජනය ලබාදුන්නේ සමහර විට "රොබින්හුඩ්" වෙන්නට පුලුවන්..

ළමා මනසකට යුක්තිය, සාධාරණය පිලිබඳ හැඟීම ලබා දෙන්නට මීට වඩා හොඳ ක්‍රමයක් මා නම් දන්නේ නැහැ.සමාජයේ ජීවත් වෙනවිට යුක්තිය, සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නට අපේ යම් නැඹුරුවක් ඇත්නම්, එයට පදනම වැටෙන්නට මේ නිර්මාණ රස විඳීමත් අනිවාර්යෙන්ම හේතුවක් වෙන්නට ඇති..

``ටයිටස් තොටවත්තයන්ට පින් සිදුවෙන්න ඕනේ අපට ලබාදුන්න සුන්දර ළමා කාලය පිලිබඳව..ලංකාවේ අති විශාල පිරිසක් ඔහුගේ නිර්මාණවල රසිකයන්..රොබින්හුඩ්, දොස්තර හොඳහිත, ගලිවර්, කුංෆු, පිස්සු පූසා, හා හා හරි හාවා ආදී නිර්මාණ කන්දරාවක් රස විඳීමට ශ්‍රී ලාංකේය ළමා පරපුරට අවස්ථාව ලැබුනේ මේ මිනිසා නිසාය. පසුගිය දාක ජීවන ගමන නිමාකර අපෙන් සමුගත් මේ නිර්මාණ කරුවාට පිං අනුමෝදන් කරමින් රොබින්හුඩ් ගැන මගේ මතක සටහන නිම කරන්නට සිතුවා....

Saturday, May 28, 2011

කලම්බෝ කලම්බෝ..............වී ලව් යූ කලම්බෝ..



2010 වසරේ හොඳම වේදිකා නාට්‍ය ලෙසින් සම්මානිත "කලම්බෝ කලම්බෝ" නාට්‍යය මරදාන එල්ෆින්ස්ටන් හිදී නරඹන්නට පසුගියදා අවස්ථාව ලැබුනා..මෙය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ ගේ නිර්මාණයක්..කලකට පෙර නිර්මාණය වූ "ජනාධිපති තාත්තා" ත් ඔහුගේ නිර්මාණයක්..

මෙය පසුගිය වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂනය, හොඳම නිළිය, හොඳම සංගීතය සහ තවත් සම්මාන කීපයක්ම දිනාගෙන තිබුනු බව ප්‍රචාරක පෝස්ටර් වලින් දැකීම නිසා නාට්‍ය බලන්නට උත්තේජයක් ලැබුනා..කොහොම උනත් මේ නාට්‍ය ගැන හොඳ අදහස් අරහෙන් මෙහෙන් අහන්නට කියවන්නට ලැබිලයි තිබුනේ..

නාට්‍යයට හොඳ සෙනඟක් හිටියා එල්ෆින්ස්ටන් එකට රැස්වෙලා...ඇත්තෙන්ම එයට හේතුව මෙය 2010 හොඳම නාට්‍යය වීම නිසා බවට සැකයක් නැහැ..මේ නාට්‍යයට ජනතාව අතරට යෑමට ඒ ලැබුනු සම්මාන පිටුවහලක් වෙලා තිබුනා..ඇත්තෙන්ම සිදුවිය යුත්තේද එයයි..

නාට්‍යය කොළඹ නගරය කේන්ද්‍ර කරගත් සිද්ධි 4 කින් සමන්විතය. විහාර මහා දේවි පාක් එකේ බංකුවක් අහිමිවීමේ ගැටළුවට මැදි වූ තරුණිය, බොරැල්ල මගී පාලම අසල බෝම්බයක් සම්බන්ධ ගැටළුවට මුහුණ දෙන තරුණිය, ලාස්ට් බස් එකේදී පෙම්වතා අහිමි වූ පසු අන් මිනිසුන්ගේ ආදරණීය රැකවරණය(..?) ලබන තරුණිය සහ අවසන මල් ශාලවකදී මළ මිනියක්ව සිටියදීත් රාගයේ සහ ලිංගික ආශාවේ ගොදුරක් වන තරුණිය..මේ සිදුවීම් පෙළයි.

පෞද්ගලිකව මුල් සිද්ධි දෙක ප්‍රබල හැඟීමක් දැනවූයේ නැතද දෙවන සිද්ධි දෙක අපූර්ව ලෙස ඉදිරිපත් කර තිබුනි. හොඳ දෙබස් කණ්ඩ, දක්ෂ රංගනයන් සංගීතයද මුසුව ඉදිරිපත් කෙරුනේ ආනන්දයෙන් ප්‍රඥාව ජනිත කරවමිනි. ලාස්ට් බස් එකේ සිද්ධිය පවතින යථාර්තය නිරුවත් කරයි. මල් ශාලාවේ සිද්ධිය වැඩිපුර සමාජය හමුවේ කථා නොකෙරෙන දෙයක් වුවද, සමාජයේ තිත්ත යථාර්තයම වෙයි. සමාජය විවෘතව කථා කිරීමට අකමැති හෝ විවෘතව කථා කිරීමට බිය දේවල් එලියට ගෙන, බුද්ධිමය ප්‍රශ්න කිරීමකට ලක්කිරීම සැබෑ කලා කරුවෙක්ගේ කාර්ය භාරය වෙයි.ඒ අතින් ඉන්දික ෆර්ඩිනැන්ඩෝ ඔහුගේ කාර්යය මැනවින් ඉටුකොට තිබේ.

"ඔබයි රම්‍ය සඳ කිරණ ගන අන්ධකාරේ" ...නන්දා මාලනී ගේ පරමාදර්ශී ප්‍රේමය පිලිබඳ ගීතය මෙහිදී උත්ප්‍රාසාත්මකව යොදා ගැනෙන අයුරු අපූරුය. රාගයට හා ව්‍යාජයට හසුවූ ප්‍රේමය නිරූපිත තැන්වල එය ගැයෙන්නේ වෙනස්ම තනුවකට අනුවය. එය සැබැවින්ම නිර්මාණාත්මක භාවිතයකි. විශේෂයෙන්ම මල් ශාලාවේ මිනියක් හා සංසර්ගයේ යෙදීමට සැරසෙන මිනිසා සිය කමිසය ගලවන විට.....අප කම්පිතව බලා හිඳින විට..පසුබිමෙන්....ඉහල ස්වරයකින් හා ලයකින් යුතුව...ඔබයි රම්‍ය සඳ කිරණ .....ගන අන්ධකාරේ.....ගැයෙන විට....හ්ම්ම්ම්.. සැබැවින්ම අපූරුය.

ආකෘතික හරඹයන් අපූර්වත්වයෙන් ඉදිරිපත් වෙයි...තරුණිය මියයාම නිරූපනය වන ජවනිකාව....ඇය සුදු ඇඳුමින් සැරසී සිටී....සියළු පිරිමින්ගේ උඩුකය නිරුවත්ය....සංගීතය නිපදවෙන්නේ ඔවුන්ගේම සිරුරට අත්ලෙන් පහර දීමෙනි....ඇය උච්ච ස්වරයෙන් මරණයේ ගීතිකාව ගයන විට ප්‍රේක්ෂාගාරයට වේදිකාවේ සිට තරුණියක් සෙමෙන් සෙමෙන් පියවර ඔසවන්නේ "මිනී සෙන්ට්" එකක් ඉසිමිනි....මුළු ප්‍රේක්ෂකාගාරයම "මිනී සෙන්ට්" සුවඳින් සුවඳවත් වෙයි..ඇගේ මරණය අපි සමීපව අත්විඳිමු..ප්‍රේක්ෂකාගාරයේ සිටින අපි ද ඇගේ මරණයේ සාක්ෂිකරුවෝ වෙමු.

"මල් වඩම අතින් ගත් මිනිසා" සංකේතයකි.නිරන්තරයෙන් අප වටා සැරිසරන මරණය, විහාර මහා දේවී පාක් එකේදී...බොරැල්ල මගී පාලමේදී තරුණියට හමුවෙයි.("සිහින දේශයෙන්" චිත්‍රපටයට බුඩී කීර්තිසේන යොදාගත් මරණයේ සංකේතය-මහේන්ද්‍ර පෙරේරා සිහිපත් වීම නොවැලැක්විය හැකිය.) එසේ වුව එම සංකල්පයම වෙනත් ආකාරයකින් නිර්මාණය කිරීම අකැප දෙයක් නොවේ.

කොලඹ කේන්ද්‍රීය ජීවිතය තේමා කරගත් "කලම්බෝ කලම්බෝ" නාට්‍යයේ කොලඹ ගැන අපූරු හැඳින්වීමක් වරෙක ප්‍රකාශ වෙන්නේ මෙසේය. "කොලඹ කියන්නේ ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය...ඒත් ලංකාවේ හැමදේම සිද්ධ වෙන්නේ කොලඹ..එහෙම බැලුවාම කොලඹ ලංකාවට වඩා ලොකුයි..අමාරුවෙන් හරි කොලඹට වෙලා හිටියේ නැත්නම් නිකන් ලංකාවේ නෙමෙයි වගේ.."

රංගනයන් නම් උපරිමය. සියළු දෙනාම තම තමන්ගේ භූමිකාවන් මැනවින් ඉටුකොට තිබුනි. එයිනුදු වඩාත් මතුවී පෙනෙන ප්‍රධාන කාන්තා භූමිකාව රඟන්නිය, මෙවර හොඳම නිළිය ලෙස තමන්ව තේරීම සැබෑ නිවැරදි තේරීමක් බව අප හමුවේ ඔප්පු කොට සිටියාය. ගායන හැකියාවෙන්ද, රංගන හැකියාවෙන්ද පොහොසත් ඇයට ලාංකේය කලාවේ විශාල භූමිකාවකට සුදුසුකම් ඇත.

සංගීතයට මේ නාට්‍යයේ විශේෂ තැනක් හිමිව තිබුනි. (නාට්‍යයේ අප දකින ආරම්භක දර්ශනය වන්නේ ද වේදිකාව මත තැබූ ගිටාර් කීපයකි.) නාට්‍යයට පසුබිමෙන් සංගීතය සපයනු වෙනුවට, වේදීකාව මතදීම නලු නිළියන් විසින්ම ගිටාර වයමින්, ගායනයේ යෙදෙන්නේ අපූර්ව නර්තනයක් ද සමඟිනි. රූපවාහිනි හෝ සිනමා මාධ්‍යයේදී මවාපෑම් මඟින් වීරයන්/ වීරවරියන් වන්නන්ට වඩා වේදිකා නළුවෙකුට/නිළියකට බොහෝ ක්ෂේත්‍රවල දක්ෂතා වර්ධනය කර ගන්නටද ඒවා සජීවීව ඉදිරිපත් කරන්නට ද සිදුවීමේ අභියෝගයක් වෙයි. මේ අභියෝගය තුලින්ම, එය නොපැකිලව ජයගැනීම තුලින්ම සැබෑ කලාකරුවන්/ කලාකාරියන් බිහිවන අයුරු මේ නාට්‍යය මැනවින් පසක් කොට සිටී.

අපූර්ව වූ ඉදිරිපත් කිරීමක්..සෞන්දර්ය සමඟ මුසුව යථාර්තය නිරුවත් කිරීමක්...රංගන, ගායන, අධ්‍යක්ෂණ කුසලතාවන්ගේ මනා එකමුතුවක් ලෙස.."කලම්බෝ කලම්බෝ"..2010 හොඳම වේදිකා නාට්‍යය බවට පත්වීම නිවැරදි තීරණයක් ලෙස දකිමි.

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters