Thursday, March 29, 2012

ගාමිණි-මාලිනි යුගයේ සුන්දරම ගීතය කුමක්ද..........???

හැත්තෑව දශකයේ සිංහල සිනමාව අතිශයින් සුන්දරයි.එම යුගයේ සිංහල සිනමාවේ තාරකාවිය..දඟකාර, සුන්දර, සුරූපි මාලිනිය....සැබෑ පෞර්ෂයෙන් පිරිපුන් ආකර්ශනීය පෙම්වතා ; අයුක්තියට, අසාධාරණයට එරෙහිවන වීරයා..ගාමිණි ..(මේ දෙදෙනාගේම වාසගම "ෆොන්සේකා" වූයේ කවර නම් අහම්බයකින්ද :-)  ).ඔවුන් දෙදෙනා එක්ව මැවූ සිනමා සෞන්දර්ය "ගාමිණි-මාලිනි යුගය"  ලෙසින් සිංහල සිනමා රසිකයාගේ මතකයේ සදා බැබළෙනවා.

විනෝදාත්මක සිනමාව පමණක්ද? ඇයි "නිධානයේ" විලී අබේනායක සහ අයිරින්..නිධානයකට බැඳි ලොබින් සිය අහිංසක බිරිඳ මරාදමන ගුප්ත වළව්කරු....මිනිස් චින්ත සන්තානයේ ගැඹුරු හැඟීම් විනිවිද දුටු "නිධානය" තිරයේ මැව්වේද "සුදු පාට මීදුම් ගලාලා" හි පෙම් රැඟුම් පෑ ගාමිණි-මාලිනි මයි.("සුදු පාට මීදුම් ගලාලා" ගිතය අඩංගු "එදත් සූරයා අදත් සූරයා" ත්   "නිධානය" ත් එකම වසරේ (1972) තිරගත වූ චිත්‍රපටි.)

මේ ඔවුන් එක්ව රඟපෑ චිත්‍රපටි...

1.  1969  -  පාරාවළලු
2.  1971  -  හතර දෙනාම සූරයෝ
3.  1972  -  නිධානය
4.  1972  -  සහනය
5.  1972  -  එදත් සූරයා අදත් සූරයා
6.  1972  -  ආදරේ හිතෙනව දැක්කම
7.  1973  -  සදහටම ඔබ මගේ
8.  1973  -  හොඳම වෙලාව
9.  1973  -  හොඳයි නරකයි
10. 1973  -  හොඳට හොඳයි
11. 1974  -  කස්තුරි සුවඳ
12. 1975  -  ආවා සොයා ආදරේ
13. 1975  -  සූරයා සූරයාමයි
14. 1976  -  නයනා
15. 1976  -  කවුද රජා
16. 1977  -  දෙවියනි ඔබ කොහිද
17. 1997 -  අපායේ තප්පර අසූ දහසක්
18. 1998 -  අන්තිම රැය

හාමිණි-මාලිනි එක්ව රඟපෑ චිත්‍රපට ගණන 18 ක්. ඉනුදු 15 ක් ම තිරගත වී ඇත්තේ 70 දශකයේදී.

(1977 දී "දෙවියනි ඔබ කොහිද " තිරගත වූවාට පසු ඔවුන් එක්ව රඟපෑවේ නැහැ.යම් අමනාපවීමක් නිසා එය සිදුවූ බවයි පැවසෙන්නේ. ඔවුන් සමඟි වී නැවත චිත්‍රපටයක රඟපාන්නේඉන් වසර 20 කට පසු. එවිට දෙදෙනාගෙම හොඳම තාරුණ්‍ය ගෙවී ගිහින්.)

මේ චිත්‍රපටවල ගීත අදටද ඉතා ජනප්‍රියයි.ගාමිණි-මාලිනි එක්ව රැඟූ සොඳුරුතම ගීත කීපයක් මේ.මේවායේ අසීමිත ජනප්‍රියත්වයට ප්‍රබලම සාධකයක් වුනේ ජෝතිගේ ගැඹුරු සහ හැගීම්බර කටහඬට එක්වූ ඇන්ජලීන් ගේ සුමියුරු කටහඬ බව අමුතුවෙන් කිව යුත්තක් නෙමෙයි.


1.  පාට පොදක් තිලක ලා  - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
2. ලස්සන ලෝකෙක ඉපදීලා - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්
3. හද විමන් දොරින්  - කස්තුරි සුවඳ  චිත්‍රපටයෙන්
4. කොයි යන්නේ බඳ නලවාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්
5. සුදු පාට මීදුම් ගලාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්
6. මල් වැහි සීතල මල් වැස්සේ  - හොඳට හොඳයි චිත්‍රපටයෙන්
7. අමර පෙම් ලතාවේ  - සදහටම ඔබ මගේ චිත්‍රපටයෙන්
8. ආවා සොයා ආදරේ  - ආවා සොයා ආදරේ  චිත්‍රපටයෙන්
9. දෑසෙ විමන් දොරින්   -ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයෙන්


                                     
                                      පාට පොදක් තිලක ලා  - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්


                                     හද විමන් දොරින්  - කස්තුරි සුවඳ චිත්‍රපටයෙන්


                                          සුදු පාට මීදුම් ගලාලා - එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්

ඉතින් ගාමිණි-මාලිනි යුගයේ චිත්‍රපටිවලට, ගීතවලට ආදරය කරන රසිකයන්ට ඇරයුමක් මේ. ගාමිණි-මාලිනි එක්ව රැඟූ සුන්දරම ගීතය තෝරන්නට.....:-)

හරිම අමාරු වැඩක්.ඔක්කොම එකකට එකක් නොදෙවෙනියි. ඉතාම අමාරුවෙන් මා නම් අංක එකට තෝරන්නේ....................................................................!!!

|
|
|
|
|
 එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයෙන්...................!!!
|
|
|
|
|
" සුදු පාට මීදුම් ගලාලා" ගීතයයි.   :-)

Friday, March 23, 2012

ජිනීවා සමුළුව පිළිබඳ ගැටළුවේදී.......ඔබ ඉන්නේ කොතැනද????



ජිනීවා සමුළුව පිලිබඳව විවිධ සංවාද, මත ගැටුම් මේ දිනවල දැකගන්න පුළුවන්..ඒවායේ අදහස් නිරීක්ෂණයේදී පෙනෙන දෙයක් තමයි මේ පිලිබඳව ස්ථාවරයන් කීපයක් සිටින ලාංකිකයන් ඉන්න බව...ඒවා දළ වශයෙන් පහත පරිදි වර්ග  කරන්න පුළුවන්.

1 වන ස්ථාවරය:- " යුද්ධය ජයග්‍රහණය කරදුන්නේ ජනපතිතුමා සහ රණවිරුවන්ය.එය ජයග්‍රහණය කළේ අනේක විධ දුෂ්කරතා මැද, විදෙස් බලපෑම් වලට හිස නොනමාය.දැන් අමෙරිකාව ප්‍රමුඛ බලවතුන් සැරසෙන්නේ එහි වාඩුව ගැනීමටය. කුඩා රටක් මෙලෙස සිය ආධිපත්‍යට හිස නොනැමීමට දඬුවම් නොකළහොත්, වෙනත් රටවලුත් මෙය ආදර්ශයට ගනු ඇතැයි අමෙරිකාවේ කල්පනාවය.අප මෙහිදී ජනපතිතුමා සහ රට වෙනුවෙන් , මේ විදෙස් බලපෑම්වලට කොන්දේසි විරහිතව විරුද්ධ විය යුත්තෙමු.

2 වන ස්ථාවරය:- " යුද්ධය ජයග්‍රහණය කරදුන්නේ ජනපතිතුමා සහ රණවිරුවන්ය.එය ජයග්‍රහණය කළේ අනේක විධ දුෂ්කරතා මැද, විදෙස් බලපෑම් වලට හිස නොනමාය..........

ඒ සියල්ල හරිය. නමුත් යුද්ධයෙන් පසු අවුරුදු 3 කට ආසන්න කාලය, ජනපතිතුමා සහ ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය ගැන සෑහීමකට පත් විය නොහැක.සුදු වෑන් සංස්කෘතිය, ඥාති සංග්‍රහය, දුමින්ද සිල්වාට , මර්වින් සිල්වාට රජ කරන්නට ඉඩ දී තිබීම වැනි අකටයුතු බොහෝය.මේ තත්වය වෙනස් කරන්නට විපක්ෂයෙන් ඉටුවන කෙංගෙඩියකුත් නැත. ආණ්ඩුව මෙහිදී උත්සාහ කරන්නේද දේශප්‍රේමය අවුස්සා, රටේ අනෙක් ප්‍රශ්ණ යට ගසන්නටය. එබැවින් මේ අවස්ථාව මානව හිමිකම් රකින්නට, ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වන්නට ආණ්ඩුවට කෙරුණු බලවත් බලපෑමක් ලෙස සතුටු විය හැකිය. ."

3 වන ස්ථාවරය:- " යුද්ධය ජයග්‍රහණය කරදුන්නේ ජනපතිතුමා සහ රණවිරුවන්ය.එය ජයග්‍රහණය කළේ අනේක විධ දුෂ්කරතා මැද, විදෙස් බලපෑම් වලට හිස නොනමාය.....ඒ සියල්ල හරිය...

 නමුත් යුද්ධයෙන් පසු අවුරුදු 3 කට ආසන්න කාලය, ජනපතිතුමා සහ ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය ගැන සෑහීමකට පත් විය නොහැක.සුදු වෑන් සංස්කෘතිය, ඥාති සංග්‍රහය, දුමින්ද සිල්වාට , මර්වින් සිල්වාට රජ කරන්නට ඉඩ දී තිබීම වැනි අකටයුතු බොහෝය.මේ තත්වය වෙනස් කරන්නට විපක්ෂයෙන් ඉටුවන කෙංගෙඩියකුත් නැත.........එයද ඇත්තය......

නමුත් කුකුළන් නරියන්ට බාරදීමට බැරිය.රටේ ඇති ප්‍රශ්ණ ගැන සිතා විදෙස් බලපෑම් වලට ඉඩ දුන්නොත් කොහෙන් කෙළවර වේදැයි සිතාගත නොහැක.අමෙරිකාවේ පැටිකිරිය අපි සැවොම දනිමු.ලිබියාවට, ඉරාකයට අත පොවද්දී මුලදී කිව්වේද මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි සුන්දර වදන්ය.නමුත් අවසානය කෙබඳු දැයි කවුරුත් දනිති...
එමනිසා ආණ්ඩුවත් එක්ක අපිට ඇති ප්‍රශ්ණ අපි වෙනම විසඳා ගත යුත්තෙමු.රටේ ප්‍රශ්ණයකදී අනෙකුත් ප්‍රශ්ණ පසෙකට කර, එකමුතුව මෙයට එරෙහි විය යුතුය.

මෙයින් ඔබ ඉන්නේ කොතැනද????

Sunday, March 18, 2012

නීතියක් නැති රටක්...........!!!


පසුගිය සති දෙකක පමණ සිදුවීම් නිරීක්ෂණය කල විට වුවද දේශපාලන බලය හමුවේ රටේ නීතිය, යුක්තිය සහ සාධරණය වල් වැදී අවනීතිය රජවී ඇති අයුරු පැහැදිලි වෙයි.

ආණ්ඩු පක්ෂයේම කොළොන්නාව නගර සභා සභාපතිවරයා ඝාතනයට පැමිණි සුදු වෑන් කරුවන් ජනතා මැදිහත් වීමකින් අල්ලා  ගැනීම (ජනතාව රාත්‍රිය වන තුරුම පොලීසිය අසළ රැකවළේ සිටි අතර ඔවුන් පාන්දර 2 ට පමණ ඉවත් වී ගිය පසු අත් අඩංගුවට ගත් සුදු වෑන් රථයේ පැමිණියවුන් මුදා ගෙන ගොස් තිබුනි.), කහවත්ත ද්වි පුද්ගල ඝාතකයන් ලෙස, ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සොයුරා සහ බිරිඳ අත් අඩංගුවට ගැනීම (මෙය සිදුවන්නේද ඝාතනයෙන් පසු පොලීසියේ නිද්‍රශීලිබවට එරෙහිව ජනතාව උද්ඝෝෂණය කළ පසුය )සහ රත්නපුරයේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ගේ පහර දීමෙන් තරුණයෙක් මිය යාම යන සියල්ල පසුගිය සති දෙකක පමණ කාලය තුල සිදුවූ සිදුවීම් 3 කි.

මහ දවල් දෙනෝ දාහක් ඉදිරිපිට මිනී මැරූ දේශපාලන බලවතුන්ට ඉහළ දේශපාලන බල අධිකාරයේ ආරක්ෂාව කිසිම හිරිකිතයක් නැතිව ලැබීම, ඉතාම නරක පූර්වාදර්ශයක් පහළ මට්ටමේ දේශපාලන අධිකාරියට ලබා දී ඇති බවක් පැහැදිලිව පෙනී යන කරුණකි.

"දුමින්ද සිල්වා" ගේ සිද්ධියේදී ඉහළින් පැවසුනේ ඔහු දේශපාලන රැස්වීම් වලට විශාල වශයෙන් සෙනඟ ගෙන එන, සහ දේශපාලන ක්‍රියාවලියේදී විශාල සහයෝගයක් දැක්වූ අයෙක් නිසා ඔහු "කරදරයක වැටුණ විට " අහක බලා ගැනීම කළ නොහැක්කක් බවයි.

මෙය අද දවසේ " දේශපාලනික කළගුණ දැක්වීමේ" විධි ක්‍රමයයි. ඡන්දවලදී සල්ලි විසි කරන්නට, මිනිස්සු ගෙන එන්නට , මැර බලය ලබා දෙන්නට ඇති හැකියාව අර්ථ දැක්වෙන්නේ දේශපාලනික සහයෝගය ලෙසිනි. එයට පෙරළා කළගුණ සැලකීම වන්නේ වියදම් කළ මුදල මෙන් කීප ගුණයකින් උපයා ගැනීම සඳහා ඕනෑම දහදුරා ක්‍රමයකින් මුදල් ඉපයීමට අවශ්‍ය දේශපාලනික රැකවරණය ලබා දීමයි.

"ගුරා හිටගෙන කරන විට ගෝලයන් දුව දුව කරනවා" යැයි කියමනක් ඇත. අද දවසේදී ලාංකේය සමාජය අත් දකින්නේ මේ සත්‍යයයි.

කහවත්ත සිද්ධියේදී "කුඩු බිස්නස්" කරන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සහෝදරයායි.එය දැනගත් බැවින් සහ පොලීසියට තොරතුරු දුන්නායැයි සැකයට අසල්වැසි මව සහ දුව මරා දැමෙයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයක ඇති බලය...! 

අද ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීකමක් ගැනීම පවා අයුතු ලෙස මුදල් ඉපයීමට, අපරාධ කිරීමට බලපත්‍රයක් ලැබීමක් බවට පත්වී ඇත. කුඩු ව්‍යාපාරය, හොර අරක්කු, ගණිකා ව්‍යාපාරය, කප්පම් ගැනීම, චණ්ඩිකම් සහ මැරවරකම් කරන්නට අනිවාර්යෙන් අවශ්‍ය බලපත්‍රය වන්නේ කුමක් හෝ දේශපාලන සබඳකමක් පමණි.

දහසක් සිදුවීම් හොර රහසේම කිසිම බාධාවකින් තොරව සිදුවන අතරේ ,ජනතාව නොබියව පෙරට ආ අවස්ථා කීපයකදී පමණක් වැරදිකරුවන්ට වැඩ වැරදුණි.පොලීසියට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවිය. ජනතාව නීතිය අතට ගැනීම අනුමත කළ නොහැක්කක් වුවත් රාජ්‍ය හා දේශපාලන බලය පාවිච්චි කරමින් වැරදිකරුවන් ආරක්ෂා කරමින් අවනීතිය රජ කරවයි නම්.......යුක්තිය සහ සාධාරණය සඳහා වෙනත් විකල්පයක් තිබේද....???

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters