Monday, October 31, 2011

12 වෙනි සියවසේ ජීවත් වූ අපි...........


ඔබ ෂර්වුඩ් කැලය ගැන දන්නා කෙනෙක්ද? එය පිහිටියේ එංගලන්තයේ...12 වෙනි සියවසේදී මේ කැලයේ වාසය කලා පිටුවහල්ලු (Outlaws)..ඔවුන් රජයේ අයබදු හොරකම් කල හොර තක්කඩි..මේ කාණ්ඩයට නායකත්වය දුන්නේ හිස වැසූ මිනිසෙක් (Hooded Man.)..ඔහුට Robin in the hood එහෙමත් නැත්නම් Robinhood කියලා කියනවා..



මේ අපි බොහෝ දෙනෙක් ආදරය කළ Robinhood ගේ වෘත්තාන්තය..රොබින්හුඩ් මගේ ලෝකයේ වීරයෙක්..මගේ විතරක් නෙමෙයි..ලංකාවේ පරම්පරා කීපයකම වීරයෙක්....Robin of Sherwood නම් TV Series එක 1982 දී පමණ එංගලන්තයේදී නිපදවී රටවල් ගණනාවකම ප්‍රදර්ශනය වී ඇති හෙයින්, රටවල් ගණනාවක රොබින්හුඩ් රසිකයන් සිටින බවට සැකයක් නැහැ.

මට මතක හැටියට ඉරිදා හවස 4 ට තමයි "හසරැළි රසාර" පටන් ගත්තේ..ඉරිදා සෙල්ලම් හවස 4 වෙනකොට ඉවරයි..රොබින්හුඩ් බලන්න...රොබින්හුඩ් ආරම්භ වෙන සංගීතය යනකොට දැනෙන හැඟීම...විස්තර කරන්න වදන් නැත..!!.

එංගලන්තයේ පිහිටි ෂර්වුඩ් කැළය අපිටත් අපේ ගෙදර වගේ හුරුපුරුදු තැනක් වුනා ඒ කාලයේදී...සියවස් ගණනාවකට කලින් එහි වාසය කළ පිටුවහල්ලු අපේ ආදරය දිනාගත්..අපේ ජීවිතවලට තදින් ළංවුනු සමීපතමයන් වුනා..රොබින්හුඩ්, මැරියන්, ලිට්ල් ජෝන්, විල් ස්කාලට්, ටක්, නසියර් සහ මාච්..රොබින්හුඩ් ගේ ගැන්සිය.ෂර්වුඩ් කැලය ආසන්නයේ පිහිටි විකම් ගම සහ එහි වැසියන්..ඒ විතරක්ද? . නොටින්හැම්හි ෂෙරීෆ් සහ ගිස්බන්..අමතක කරන්න පුළුවන්ද?

රොබින්හුඩ් ගේ ගැන්සියේ මා වඩාත් ප්‍රිය කළ චරිතයක් (රොබින් හැරුණාම )..නසියර්...එයාගේ වෙනස තමයි එයා ෆයිට් කරන්නේ කඩු දෙකකින්..කඩු දෙක පිටේ එල්ලන් ඉන්නේ cross එකක් විදිහට..සටනක් පටන් ගන්න කොට උරහිසට උඩින් අත් දෙක cross වෙන විදිහට දාලා, කඩු දෙක ඇදලා අරගෙන සටනට සැරසෙන හැටි..මේ ලියන මොහොතේත් සිතේ මැවෙනවා.Nothing has forgotten..Nothing has ever forgotten......(කිසිවක් අමතක නොවේ..කිසිවක් කිසිදාක අමතක නොවේ )...රොබින්හුඩ් එකේ ජනප්‍රියම වදන් පෙළට අනුවම මේ දර්ශනත් තාමත් මතකයේ තියෙනවා.. නසියර් ගැන අනිත් විශේෂත්වය තමයි ඔහු නිහඬ වැඩ කාරයෙක් වීම..වැඩි සද්ද බද්ද නැති නිහඬ මිනිහෙක්..නමුත් තමන්ගේ කාර්යය ඉහලින්ම කරන..!

අපි කාටත් වැඩිය දිරවන්නේ නැති චරිතයක් තමයි කුකුල් කේන්තිකාර විල් ස්කාලට්..ඔහු විටෙක රොබින් ටත් අවනත නොවෙන විට අපිටත් පුදුම මලක් පනින්නේ..දඩබ්බර, මුරණ්ඩු, ඉක්මනින් කෝපවෙන චරිතයක්..නමුත් ඔහුත් කණ්ඩායමට නැතිවම බැරි චරිතයක්..අපේ ජීවිතවලත් මෙවැනි චරිත හා වැඩ කරන්නට ලැබෙන විට, රොබින් ඔහු සමඟ කටයුතු කල ඉවසිලිවන්ත සහ බුද්ධිමත් ආකාරය මනා ආදර්ශයක් ලබාදෙනවා...

ටක්..බුද්ධිමත්, බහුශ්‍රැත මෙන්ම තරබාරු පූජකයා..ලිට්ල් ජෝන්..විසල් සිරුරැති මුත් මුදු හදක් ඇති, විනෝදකාමි මිනිසා..මාර්ච්..ගැන්සියේ පොඩි එකා..

මැරියන්..රොබින් සේම අපත් ඇයට ආදරය කළා..පළමු රොබින් (Michael Praed)..මියගිය දින සේම..ඇය දෙවෙනි රොබින් (Jason Connery ) මියගියේ යැයි සිතා කන්‍යාරාමයකට ගොස් කණ්ඩායමෙන් නික්මුන දාත් අප කඳුළු සැලුවා..

රොබින්හුඩ් ගැන මගේ මතකයේ තවත් දිගුවක් විහිදෙන්නේ විශ්ව විද්‍යාල ජීවිතයට..අප විශ්ව විද්‍යාලයේ ඉන්නා කාලයේත් රූපවාහිනියේ රොබින්හුඩ් පෙන්නුවා..රටේ ආණ්ඩු සමඟ හැප්පෙන, විප්ලව කරන්නට කථා කරන බැරෑරුම් චරිත උදේ පාන්දර රොබින්හුඩ් බලන්නට අක්බාර් කැන්ටිමේ සෙට්වෙන හැටි මුලදී පුදුමයක් වගේ පෙනුනත් සුන්දර අත්දැකීමක් වුනා..එහි පුදුම වෙන්න දෙයක් ඇත්තටම නැහැ..යුක්තිය,සාධාරණය වෙනුවෙන් සිතන්නට, ක්‍රියාත්මක වෙන්නට ඔවුන්ගේ මනස්වලට මුල්ම උත්තේජනය ලබාදුන්නේ සමහර විට "රොබින්හුඩ්" වෙන්නට පුලුවන්..

ළමා මනසකට යුක්තිය, සාධාරණය පිලිබඳ හැඟීම ලබා දෙන්නට මීට වඩා හොඳ ක්‍රමයක් මා නම් දන්නේ නැහැ.සමාජයේ ජීවත් වෙනවිට යුක්තිය, සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නට අපේ යම් නැඹුරුවක් ඇත්නම්, එයට පදනම වැටෙන්නට මේ නිර්මාණ රස විඳීමත් අනිවාර්යෙන්ම හේතුවක් වෙන්නට ඇති..

``ටයිටස් තොටවත්තයන්ට පින් සිදුවෙන්න ඕනේ අපට ලබාදුන්න සුන්දර ළමා කාලය පිලිබඳව..ලංකාවේ අති විශාල පිරිසක් ඔහුගේ නිර්මාණවල රසිකයන්..රොබින්හුඩ්, දොස්තර හොඳහිත, ගලිවර්, කුංෆු, පිස්සු පූසා, හා හා හරි හාවා ආදී නිර්මාණ කන්දරාවක් රස විඳීමට ශ්‍රී ලාංකේය ළමා පරපුරට අවස්ථාව ලැබුනේ මේ මිනිසා නිසාය. පසුගිය දාක ජීවන ගමන නිමාකර අපෙන් සමුගත් මේ නිර්මාණ කරුවාට පිං අනුමෝදන් කරමින් රොබින්හුඩ් ගැන මගේ මතක සටහන නිම කරන්නට සිතුවා....

Saturday, May 28, 2011

කලම්බෝ කලම්බෝ..............වී ලව් යූ කලම්බෝ..



2010 වසරේ හොඳම වේදිකා නාට්‍ය ලෙසින් සම්මානිත "කලම්බෝ කලම්බෝ" නාට්‍යය මරදාන එල්ෆින්ස්ටන් හිදී නරඹන්නට පසුගියදා අවස්ථාව ලැබුනා..මෙය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ ගේ නිර්මාණයක්..කලකට පෙර නිර්මාණය වූ "ජනාධිපති තාත්තා" ත් ඔහුගේ නිර්මාණයක්..

මෙය පසුගිය වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂනය, හොඳම නිළිය, හොඳම සංගීතය සහ තවත් සම්මාන කීපයක්ම දිනාගෙන තිබුනු බව ප්‍රචාරක පෝස්ටර් වලින් දැකීම නිසා නාට්‍ය බලන්නට උත්තේජයක් ලැබුනා..කොහොම උනත් මේ නාට්‍ය ගැන හොඳ අදහස් අරහෙන් මෙහෙන් අහන්නට කියවන්නට ලැබිලයි තිබුනේ..

නාට්‍යයට හොඳ සෙනඟක් හිටියා එල්ෆින්ස්ටන් එකට රැස්වෙලා...ඇත්තෙන්ම එයට හේතුව මෙය 2010 හොඳම නාට්‍යය වීම නිසා බවට සැකයක් නැහැ..මේ නාට්‍යයට ජනතාව අතරට යෑමට ඒ ලැබුනු සම්මාන පිටුවහලක් වෙලා තිබුනා..ඇත්තෙන්ම සිදුවිය යුත්තේද එයයි..

නාට්‍යය කොළඹ නගරය කේන්ද්‍ර කරගත් සිද්ධි 4 කින් සමන්විතය. විහාර මහා දේවි පාක් එකේ බංකුවක් අහිමිවීමේ ගැටළුවට මැදි වූ තරුණිය, බොරැල්ල මගී පාලම අසල බෝම්බයක් සම්බන්ධ ගැටළුවට මුහුණ දෙන තරුණිය, ලාස්ට් බස් එකේදී පෙම්වතා අහිමි වූ පසු අන් මිනිසුන්ගේ ආදරණීය රැකවරණය(..?) ලබන තරුණිය සහ අවසන මල් ශාලවකදී මළ මිනියක්ව සිටියදීත් රාගයේ සහ ලිංගික ආශාවේ ගොදුරක් වන තරුණිය..මේ සිදුවීම් පෙළයි.

පෞද්ගලිකව මුල් සිද්ධි දෙක ප්‍රබල හැඟීමක් දැනවූයේ නැතද දෙවන සිද්ධි දෙක අපූර්ව ලෙස ඉදිරිපත් කර තිබුනි. හොඳ දෙබස් කණ්ඩ, දක්ෂ රංගනයන් සංගීතයද මුසුව ඉදිරිපත් කෙරුනේ ආනන්දයෙන් ප්‍රඥාව ජනිත කරවමිනි. ලාස්ට් බස් එකේ සිද්ධිය පවතින යථාර්තය නිරුවත් කරයි. මල් ශාලාවේ සිද්ධිය වැඩිපුර සමාජය හමුවේ කථා නොකෙරෙන දෙයක් වුවද, සමාජයේ තිත්ත යථාර්තයම වෙයි. සමාජය විවෘතව කථා කිරීමට අකමැති හෝ විවෘතව කථා කිරීමට බිය දේවල් එලියට ගෙන, බුද්ධිමය ප්‍රශ්න කිරීමකට ලක්කිරීම සැබෑ කලා කරුවෙක්ගේ කාර්ය භාරය වෙයි.ඒ අතින් ඉන්දික ෆර්ඩිනැන්ඩෝ ඔහුගේ කාර්යය මැනවින් ඉටුකොට තිබේ.

"ඔබයි රම්‍ය සඳ කිරණ ගන අන්ධකාරේ" ...නන්දා මාලනී ගේ පරමාදර්ශී ප්‍රේමය පිලිබඳ ගීතය මෙහිදී උත්ප්‍රාසාත්මකව යොදා ගැනෙන අයුරු අපූරුය. රාගයට හා ව්‍යාජයට හසුවූ ප්‍රේමය නිරූපිත තැන්වල එය ගැයෙන්නේ වෙනස්ම තනුවකට අනුවය. එය සැබැවින්ම නිර්මාණාත්මක භාවිතයකි. විශේෂයෙන්ම මල් ශාලාවේ මිනියක් හා සංසර්ගයේ යෙදීමට සැරසෙන මිනිසා සිය කමිසය ගලවන විට.....අප කම්පිතව බලා හිඳින විට..පසුබිමෙන්....ඉහල ස්වරයකින් හා ලයකින් යුතුව...ඔබයි රම්‍ය සඳ කිරණ .....ගන අන්ධකාරේ.....ගැයෙන විට....හ්ම්ම්ම්.. සැබැවින්ම අපූරුය.

ආකෘතික හරඹයන් අපූර්වත්වයෙන් ඉදිරිපත් වෙයි...තරුණිය මියයාම නිරූපනය වන ජවනිකාව....ඇය සුදු ඇඳුමින් සැරසී සිටී....සියළු පිරිමින්ගේ උඩුකය නිරුවත්ය....සංගීතය නිපදවෙන්නේ ඔවුන්ගේම සිරුරට අත්ලෙන් පහර දීමෙනි....ඇය උච්ච ස්වරයෙන් මරණයේ ගීතිකාව ගයන විට ප්‍රේක්ෂාගාරයට වේදිකාවේ සිට තරුණියක් සෙමෙන් සෙමෙන් පියවර ඔසවන්නේ "මිනී සෙන්ට්" එකක් ඉසිමිනි....මුළු ප්‍රේක්ෂකාගාරයම "මිනී සෙන්ට්" සුවඳින් සුවඳවත් වෙයි..ඇගේ මරණය අපි සමීපව අත්විඳිමු..ප්‍රේක්ෂකාගාරයේ සිටින අපි ද ඇගේ මරණයේ සාක්ෂිකරුවෝ වෙමු.

"මල් වඩම අතින් ගත් මිනිසා" සංකේතයකි.නිරන්තරයෙන් අප වටා සැරිසරන මරණය, විහාර මහා දේවී පාක් එකේදී...බොරැල්ල මගී පාලමේදී තරුණියට හමුවෙයි.("සිහින දේශයෙන්" චිත්‍රපටයට බුඩී කීර්තිසේන යොදාගත් මරණයේ සංකේතය-මහේන්ද්‍ර පෙරේරා සිහිපත් වීම නොවැලැක්විය හැකිය.) එසේ වුව එම සංකල්පයම වෙනත් ආකාරයකින් නිර්මාණය කිරීම අකැප දෙයක් නොවේ.

කොලඹ කේන්ද්‍රීය ජීවිතය තේමා කරගත් "කලම්බෝ කලම්බෝ" නාට්‍යයේ කොලඹ ගැන අපූරු හැඳින්වීමක් වරෙක ප්‍රකාශ වෙන්නේ මෙසේය. "කොලඹ කියන්නේ ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය...ඒත් ලංකාවේ හැමදේම සිද්ධ වෙන්නේ කොලඹ..එහෙම බැලුවාම කොලඹ ලංකාවට වඩා ලොකුයි..අමාරුවෙන් හරි කොලඹට වෙලා හිටියේ නැත්නම් නිකන් ලංකාවේ නෙමෙයි වගේ.."

රංගනයන් නම් උපරිමය. සියළු දෙනාම තම තමන්ගේ භූමිකාවන් මැනවින් ඉටුකොට තිබුනි. එයිනුදු වඩාත් මතුවී පෙනෙන ප්‍රධාන කාන්තා භූමිකාව රඟන්නිය, මෙවර හොඳම නිළිය ලෙස තමන්ව තේරීම සැබෑ නිවැරදි තේරීමක් බව අප හමුවේ ඔප්පු කොට සිටියාය. ගායන හැකියාවෙන්ද, රංගන හැකියාවෙන්ද පොහොසත් ඇයට ලාංකේය කලාවේ විශාල භූමිකාවකට සුදුසුකම් ඇත.

සංගීතයට මේ නාට්‍යයේ විශේෂ තැනක් හිමිව තිබුනි. (නාට්‍යයේ අප දකින ආරම්භක දර්ශනය වන්නේ ද වේදිකාව මත තැබූ ගිටාර් කීපයකි.) නාට්‍යයට පසුබිමෙන් සංගීතය සපයනු වෙනුවට, වේදීකාව මතදීම නලු නිළියන් විසින්ම ගිටාර වයමින්, ගායනයේ යෙදෙන්නේ අපූර්ව නර්තනයක් ද සමඟිනි. රූපවාහිනි හෝ සිනමා මාධ්‍යයේදී මවාපෑම් මඟින් වීරයන්/ වීරවරියන් වන්නන්ට වඩා වේදිකා නළුවෙකුට/නිළියකට බොහෝ ක්ෂේත්‍රවල දක්ෂතා වර්ධනය කර ගන්නටද ඒවා සජීවීව ඉදිරිපත් කරන්නට ද සිදුවීමේ අභියෝගයක් වෙයි. මේ අභියෝගය තුලින්ම, එය නොපැකිලව ජයගැනීම තුලින්ම සැබෑ කලාකරුවන්/ කලාකාරියන් බිහිවන අයුරු මේ නාට්‍යය මැනවින් පසක් කොට සිටී.

අපූර්ව වූ ඉදිරිපත් කිරීමක්..සෞන්දර්ය සමඟ මුසුව යථාර්තය නිරුවත් කිරීමක්...රංගන, ගායන, අධ්‍යක්ෂණ කුසලතාවන්ගේ මනා එකමුතුවක් ලෙස.."කලම්බෝ කලම්බෝ"..2010 හොඳම වේදිකා නාට්‍යය බවට පත්වීම නිවැරදි තීරණයක් ලෙස දකිමි.

Saturday, April 2, 2011

2011 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට.......................?




අදයි දවස...පෙබරවාරි 19 ඇරඹුනු ලෝක කුසලාන ගමන් මඟේ පරිසමාප්තිය...2011 ලෝක ශූරයන් තෝරන දවස...

අපේ පැතුම් මල් ඵල ගන්වමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට ඇවිත්..ප්‍රතිවාදීන් අසල්වැසි ඉන්දියාව...

දක්ෂ, සමබර, පරිණත කණ්ඩායම් දෙකක් අවසන් තරඟයට....තියුණු තරඟයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තව පැය කීපයකින් "වෙන්කඩේ" ක්‍රීඩාංගනයේදී..
..
මැතිව්ස් නැතිවීම බරපතල පාඩුවක් ..නමුත් ක්‍රීඩකයන්ගේ ආබාධ කියන්නේත් මුහුණ දියයුතු අභියෝග...තිසර ට සහ රන්දීව් ට මැතිව්ස් ගේ අඩුව පුරවන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු....

කාසියේ වාසිය දිනන කණ්ඩායම බොහෝ දුරට පළමුවෙන් පන්දුවට පහර දේවි...

ලකුණු 250ක්, 260 ක් කියන්නේ මේ ක්‍රීඩාංගනයේදී ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක්..

අපේ අවුල මැද පෙළ..මේ තරඟයේදීවත් තම යුතුකම ඉටු කරාවියැයි බලාපොරොත්තුවෙමු...

අද දවස ගැන බලාපොරොත්තු නම් උපරිමයි..නමුත් බලාපොරොත්තු වලට විතරක් තරඟ දිනන්න බැරි බව අපි දන්නවානේ...

සන්සුන් මනසින්..නිවැරදි සැලස්මෙන්..නොපසුබසින ධෛර්යයෙන්..යුතු අපේ කොල්ලන් ගැන අපි විශ්වාසය තබමු...

.සංගා සහ පිරිවරට ජය....!!! ශ්‍රී ලංකාවට ජය...!!!

ප.ලි. : මාතෘකාවේ ඇති ප්‍රශ්නාර්ථ ලකුණ තව පැය කීපයකින් ඉවත් කරන්න හැකිවේවිද???....!!!

Wednesday, March 23, 2011

සජිත්..........අනාගත නායකයෙක් ලෙස......



සජිත් ප්‍රේමදාස චරිතය වර්තමානයේ මුහුණදෙන දේශපාලන අවස්ථාව, 90 දශකය මුලදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මුහුණදුන් අවස්ථාවට යම් ආකාරයක සමානකමක් දක්වනවා..

සිරිමාවෝගේ නායකත්වය ආකර්ශනීය නොවී පැවතුන කලක, ශ්‍රි.ල.නි.ප යට නව නායකත්වයක් වුවමනා උනා. නොසෙල්විය හැකිව තිබූ යූ.ඇන්.පී. ආණ්ඩුව පරදවන්නට, අලුත්, ආකර්ශනීය තරුණ නායකත්වයක් එයට අත්‍යවශ්‍ය වුනා...

එයට ගැලපෙන චරිතය ලෙස මතුවූයේ චන්ද්‍රිකායි..බණ්ඩාරනායක නාමධාරී වීම ඇයගේ ප්‍රධානතම සුදුසුකමක් වුනා..ඇය මිනිසුන්ගේ ආකර්ශනය හා ජනප්‍රියත්වය දිනාගත්තා...ඉතා කෙටි කලකින් ඇය බලයේ හිණි පෙත්තට ලඟා වූවා...

නමුත් ගැටළුව වන්නේ ඇය ශ්‍රි.ල.නි.ප. යේ වුවමනාව වූ "පක්ෂය බලයට ගෙන ඒම" කියන කාරණයේදී සාර්ථක වුවත්, සම්ස්තයක් ලෙස රටට ඇගේ ආගමනයෙන් සිදු වූ යහපත කුමක්ද යන්නයි..

සාමය හා සමෘද්ධිය ගෙන එන්නට පොරොන්දු වූ ඇය ඒ දෙකෙන්ම අසාර්ථක වූවා..ඇය යුද්ධය ද ආර්ථිකය ද යන දෙකෙන්ම පරාජය වූවා...අන්තිමේදී 94-2005 වසර 11 ක් රට පාලනය කල ඇය, මේ රටට ඉතිරි කර ගිය සාධනීය ජයග්‍රහණ මොනවාද යන්න ඇත්තටම ගැටළුවක්....

සජිත්ව විමසිය යුත්තේ ද මේ පසුබිමෙනුයි...සජිත් ඉදිරියට ගෙන එන්නේම "දිනන්න පුළුවන් නායකයෙක්" අවශ්‍යයි කියන තර්කයෙනුයි..."පක්ෂය දිනවිය යුතුයි..පාක්ෂිකයා දිනවිය යුතුය.." යන්නයි සටන් පාඨය...නැතිව රට දිනවිය යුතුය යන්න නොවේ....

පරාජයෙන් හෙම්බත් වී ඇති යූ.ඇන්.පි යට අලුත් නායකත්වයකින් නව ජවයක් ලැබිය හැකි බව පිළිගත හැකි කාරණයක්...

එලෙසම අද තනි අශ්වයෙකුගේ රේස් එකක් බවට පත්ව ඇති මහින්දගේ දේශපාලන ගමනට, ප්‍රබල විපක්ෂයක අඩුව තදින් දැනෙන බව සිදුවන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග වලින් පැහැදිලිව පෙනී යන්නක්..
.
එබැවින් සජිත් යු.ඇන්.පී නායකත්වයට පත්වන්නේ නම් යු.ඇන්.පි ය පණ ගසා නැඟිටිනු ඇති බවටද..අලු ගසා දමා යු.ඇන්.පි ය ප්‍රබල විපක්ෂයක් ලෙස නැඟී සිටියහොත්, එය සාධාරණ සමාජ ක්‍රමයක් හා ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් අගයන ජනතාවගේ හිතසුව පිණිස වනු ඇති බවටද සිතන්නට පුළුවන්...

නමුත් මේ වගකීම දරන්නට තරම් සජිත් පරිණත හා දක්ෂ නායකයෙක්ද යන්න ගැටළුවක්...එය හරියටම චන්ද්‍රිකා ට ලබාදුන් අවස්ථාව වගේ වෙන්නට ඉඩක් තියෙනවා.....

Monday, March 21, 2011

ලෝක කුසලානයේ ඊලඟ පියවරට පෙර.....




කණ්ඩායම් තරඟ අවසන්..දැන් ඇත්තේ අර්ධ අවසන් පූර්ව තරඟ(Quarter Final)..බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල කීපයක් ලැබුනත්, දැන් යළිත් කණ්ඩායම් සියල්ල ආරම්භ වූ තැනටම ඇවිත් ඉන්නවා.......Quarter Final සඳහා වඩාත් පරිණත කණ්ඩායම් 8 තේරී තිබෙනවා..

ලකුණු සටහන







A කණ්ඩායමලකුණු B කණ්ඩායමලකුණු
පකිස්තානය 10 ද.අප්‍රිකාව 10
ශ්‍රි ලංකාව 09 ඉන්දියාව 09
ඕස්ට්‍රේලියාව 09 එංගලන්තය 07
නවසීලන්තය 08 බ.ඉ.කොදෙව් 06


මේ කණ්ඩායම් 8 ඇතුලට ඇතුලත් වීමට බංගලාදේශයට ඉතා විශාල අවස්ථාවක් තිබුනත් අවසාන මොහොතේදී එය නූලෙන් වැලකී ගියා.. මෙවර ලෝක කුසලානයේදී අත්දැකීම් අඩුයැයි සැලකෙන කණ්ඩායම් අතින් වඩාත් ප්‍රබල යැයි සැලකෙන කණ්ඩායම් පරාජය වීම හොඳ ප්‍රවණතාවයක්..ඉදිරි ලෝක කුසලානය වනවිට මෙම කණ්ඩායම් වලින් බංගලාදේශය, අයර්ලන්තය වැනි කණ්ඩායම් ප්‍රබල යැයි සැලකෙන කණ්ඩායම් අතරට එක්වී සිටීවියැයි බලාපොරොත්තු වන්න පුළුවන්...එය ලෝක කුසලානයේ තරඟකාරීත්වය තවත් වැඩි කරන්නට හේතුවේවි..

පසුගිය තරඟ දෙස බලන විට එංගලන්තය මුහුණ දුන් තරඟ සියල්ලම වාගේ සුවිශේෂි තරඟ වුනා..බලාපොරොත්තු විය නොහැකි ප්‍රතිඵල ගෙනා, ක්‍රිකට් විස්මය පිරුණු, ආකර්ශනීය තරඟ වුනා..පලමුව ඔවුන් ප්‍රබල ඉන්දියාව සමඟ වූ තරඟය ලකුණු 338 ක් හඹා ගොස් ලකුණු සමකරගෙන අවසන් කලා..ද.අප්‍රිකාව සමඟ තරඟයේදී ලකුණු 171 ක් පමණක් ලැබූ නමුත් ප්‍රබල ද.අප්‍රිකාව ලකුණු 165 කට දවාගෙන එය ජයග්‍රහණය කළා..නමුත් ඔවුන් බංගලාදේශය සහ අයර්ලන්ත වැනි අපරිණත කණ්ඩායම් අතින් පරාජය වූවා..අවසන Quarter Final ආවෙත් බ.ඉ.කොදෙව්. තරඟය යන්තම් ලකුණු 18 කින් දිනාගෙන..

මෙයින් පෙනෙන්නේ ප්‍රබල/දුර්වල හෝ පරිණත/ අපරිණත සාධකය මත ක්‍රිකට් අනාවැකි ඵල කිරීමේ දුෂ්කරතාවයයි..එදා දවසේදී හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායම සහ වාසනාව වැනි සාධක තමයි වඩාත් බලපෑවේ..

අනික් සුවිශේෂි කණ්ඩායම පාකිස්ථානයයි..ඔවුන් මුලදී ඉහලින් නම කියවුනේ නැති කණ්ඩායමක් වූවත් A Group එකේ ප්‍රබලයන් වූ ඕස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාවත් දෙකම පරාජය කර A Group එකේ පළමු තැනට පැමිණියා..

කෙසේ හෝ මෙවර තරඟාවලියේදී අපරාජිත කණ්ඩායම් නැහැ..සියළු කණ්ඩායම් එක් වරක් හෝ පරාජය වී තිබෙනවා..

දැන් තරඟාවලිය සියළු දෙනාට විවෘතයි..ඉහලින් ඇති කණ්ඩායම් 6න් ඕනෑම කණ්ඩායමකට ලෝක කුසලානය දිනිය හැකියි..(නවසීලන්තයට හා බ.ඉ.කොදෙව්වන්ට ඒ සඳහා ඇති ඉඩකඩ ඉතා අඩුයි..)


අර්ධ අවසන් පූර්ව තරඟ

මාර්තු 23 -:{A1-B4} පකිස්තානය - බ.ඉ.කොදෙව් [පකිස්තානය ]
මාර්තු 24 -:{A3-B2} ඕස්ට්‍රේලියාව- ඉන්දියාව [ඕස්ට්‍රේලියාව] ??
මාර්තු 25 -:{A4-B1} නවසීලන්තය - ද.අප්‍රිකාව [ද.අප්‍රිකාව ]
මාර්තු 26 -:{A2-B3} ශ්‍රි ලංකාව - එංගලන්තය [ශ්‍රි ලංකාව]

මෙහි ඕස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට අර්ධ අවසන් පූර්ව වටයේදී මුණ ගැසෙන්නට සිදුවීම ඉතා සුවිශේෂයි..ලෝක කුසලානය මෙවර දිනනවා යැයි ආරම්භයේදී ඉහලින්ම කියවුනු නම් දෙකක් මේ කණ්ඩායම් දෙක..දැන් ඉතින් ඉන් එකකට අර්ධ අවසන් වටයෙන්ම ගෙදර යන්න වෙනවා..:) [මගේ අනාවැකිය, ඕස්ට්‍රේලියාව ජයගනු ඇති බවයි]

ශ්‍රී ලංකා- එංගලන්ත තරඟයත් සුවිශේෂයි..එය ශ්‍රී ලංකාව ජයගැනීමේ සම්භාවිතාවය වැඩි නමුත්, එංගලන්තය මේ තරඟාවලිය පුරා දැක්වූ පෙරළිවල හැටියට, කිසිසේත් තරඟය සුළුවෙන් තකන්න බැහැ..

ක්‍රිකට් වලදී දක්ෂතාවය සේම වාසනාවත් වැදගත් සාධකයක් බව අප දන්නවා..වර්තමාන සැකැස්ම අනුව නම් අපට අවසාන තරඟයට යාමට වැඩි අවස්ථාවක් තිබෙන බව පෙනෙන්නට තියෙනවා..!!! [6493]

Monday, March 14, 2011

2011 අතරතුර...96 මතකය......"අර්ජුන රණතුංග" නම් ඔහු....!





"අර්ජුන රණතුංග".....එය අභිමානවත් නාමයක්..රටකට, ජාතියකට අභිමානය දිනාදුන් මිනිසෙක් ඔහු..96 ලෝක කුසලානය දිනීම සරලව ක්‍රිකට් දක්ෂතාවන්ට ලඝු කරන්නට බැහැ..ඒ පිටුපස වෙනත් බොහෝ දුක් කම්කටොළු, දුෂ්කරතා, අභියෝග තිබුනා..ඒවා ජයගන්නට මේ මිනිසාගේ අසහාය පෞර්ෂය, නායකත්වය ඉවහල් වූ බව කළගුන මතක ඇති අයෙකුට අමතක කරන්නට පුළුවන්කමක් නැහැ..[ ඔහුගේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරකම් හෝ 96 ලෝක කුසලානයෙන් පසු ඔහුගේ හැසිරීම් පිලිබඳව අපට කොතෙකුත් විවේචන තිබිය හැකි වුවත්..]


ඔහුගේ නායකත්වය අසාමාන්‍ය වූවක්.."කැප්ටන් කූල්" ඔහුව හැඳින්වූ අන්වර්ථ නම..ඕනෑම අසීරු හෝ දුෂ්කර මොහොතකදී හෝ ඔහුගේ සන්සුන්බව බිඳී ගියේ නැහැ..සමහර නායකයන් මෙන් අනිත් ක්‍රීඩකයන්ට කෑ ගහන චරිතයක් නෙමෙයි ඔහු..(මේ කාරණය නම් අපේ ක්‍රිකට් නායකයන් බොහෝ දෙනෙකුට අදාලයි..මේ දුර්වලතාවය බොහෝවිට දැකිය හැක්කේ පාකිස්ථානය, ඉන්දියාව වැනි රටවලයී)


තීරණාත්මක මොහොතවල් වලදී ඔහු තම තනි මතයට තීරණ නොගෙන කණ්ඩායමේ ජ්‍යේෂ්ටයන් සමඟ පිටිය මැද සාකච්චා කරමින් තීන්දු තීරණ ගැනීම එකල සුලබ දසුනක්..ඉතා තියුණු, තීරණාත්මක මොහොතවල්වල ඔවුන් එසේ එකමුතුව සැලසුම් සකසන විට නරඹන අපටත් දැනෙන්නේ පුදුම "මොරාල්" එකක්....බොහෝවිට පවතින අසීරු තත්වයන් අනිත් පැත්ත හරවන්නට ඒ සාමූහික තීරණ ඉවහල් වූ අවස්ථා බොහොමයි..


"සින්ගල්" දැමීමේ කලාව හොඳින්ම ප්‍රගුණ කළ අයෙක් අර්ජුන...කඩුළු බිඳ වැටී අසීරුතාවයට පත්වූ විට අර්ජුන බොහෝ විට ඉතිරි වන්නේ මැද පෙළ හෝ පන්දු යවන්නන් වන දුර්වල පිතිකරුවන් සමඟ...අර්ජුන කරන්නේ සෑම පන්දුවකටම වාගේ "සින්ගල්" එක දැමීමේ කලාව..විශාල පහරවලට යාමේදී මෙන් කඩුල්ල බිඳ වැටීමේ අවදානමත් අවමයි..නොදැනීම ලකුණු 5 ක්, 6 ක් ඕවරයට ලැබෙනවා.. මුලදී අති දුෂ්කර යැයි පෙනෙන ඉලක්කයට, අනිත් දුර්වල යැයි සැලකෙන පිතිකරුවන් සමඟ, අනිත් පිලටත් නොදැනීම වාගේ ඔහු ලඟාවී ඇති අවස්ථා විශාල ගනනක් තියෙනවා...අත දිගහැර පහර දී ඔල්වරසන් ලබනු වෙනුවට අර්ජුන බොහෝ විට තෝරාගත්තේ උපායශීලිව, සන්සුන්ව නමුත් ස්ථාවරව ජයග්‍රහණය කරා ගමන් කිරීමේ කලාව....


ඔහු තුල නිර්මාණශීලී නායකත්වයක් තිබුනා..ඒ නිසා තමයි ලෝකයේ වෙනත් කිසිම ක්‍රිකට් කණ්ඩායමක් එතෙක් නොසිතා තිබූ, මුල් පන්දු ඕවරවලට වේගයෙන් පහරදීමේ කලාව ශ්‍රි ලංකා කණ්ඩායම හඳුන්වා දෙන්නේ..එයට සනත් සහ කළු යොදාගන්නේ, ඒ ක්‍රමය අසාර්ථක වුවහොත් කණ්ඩායමේ ඔවුන්ගේ පැවැත්ම පිලිබඳ වගකීම අර්ජුන බාර ගනිමින්..ඔහුට එවන් පෞර්ෂයක්, ශක්තියක් තිබුනා..[එය කෙනෙකුට විවේචනය කල හැක්කක් වුවත්...]..සනත් සහ කළු ඒ අත්හදා බැලීම සාර්ථක කලේ, අනිත් කණ්ඩායම් අන්ද මන්ද කරමින්..පන්දු ඕවර 4ක් 5 ක් යනවිට ලකුණු 50 පසු කරනු දුටු ඒ මුල්ම දවස්...අදටත් සුන්දර මතකයක්...සනත් සහ කළු ට ඒ ප්‍රහාරයේ ගෞරවය ලැබෙන අතරම ඒ පිටුපස තිබූ නිර්මාණශීලී නායකත්වයද අපේ ඇගයීමට ලක්විය යුතුයි.



ඔහුගේ නායකත්වයේ විශිෂ්ටතම මොහොත ඔහු මුරලි වෙනුවෙන් නැගී සිටි මොහොතයි…

.95 කියන්නේ ක්‍රිකට් වලින් අපිට ලොකු පිලිගැනීමක් තිබුනු කාලයක් නෙවෙයි...ආර්ථික, දේශපාලනික ක්ෂේත්‍රවලදී වාගේම ක්‍රීඩාවේදීත් බලවත් ජාතීන්ගේ කෙණෙහිලිකම්වලට ලක්වෙන්නට අපට සිදුවුනා..95 ඕස්ට්‍රේලියානු සංචාරයේදී නැගී එන තරුණ දඟ පන්දු යවන්නෙකු ලෙස මතුවෙමින් ඔවුන්ට අභියෝගයක් වුන මුරලිට මුහුණ දෙනු වෙනුවට, ඔහුව ක්‍රිකට් වලින් ඉවත් කර දැමීමේ අනිසි උපාය මාර්ගයක් ඕස්ට්‍රේලියානුවන් යොදාගත්තා..

ඔහු පන්දු දමා ගසනවා යැයි චෝදනා කරමින්, ඔහුගේ පන්දු "නිපන්දු" ලෙස නම් කෙරුණා..අර්ජුන රණතුංග නම් නායකයාගේ අසහාය පෞර්ෂය සදා අපේ ගෞරවයට පත්වන්නේ මේ සිද්ධියේදී ඔහු හැසුරුණු ආකාරය නිසා..විනිසුරුවරයාගේ අසාධාරණ ක්‍රියාවට එරෙහි වූ අර්ජුන සිය කණ්ඩායම සමඟ පිටියෙන් ඉවත්ව ගියේ ඔහුගේ ක්‍රිකට් ජීවිතය පවා අවදානමේ හෙලමින්..[කාරණය කුමක් වුවත් මෙවන් හැසිරීමක් අයි.සී.සී. යට අනුමත කරන්නට බැරිබව පැහැදිලියි.. අර්ජුන ට අයි.සී.සී යෙන් දඩයක් නියම කෙරුණත් එය අර්ජුනට ගෙවන්නට ඉඩ නොතැබූ කණ්ඩායමේ ක්‍රීඩකයන් එකතු වී එය ගෙවා දැමුවා..]


සියළු දෙනාගේ දැඩි උත්සහයෙන් මුරලිගේ ක්‍රිකට් අනාගතය සුරක්ෂිත කර ගන්නට හැකියාව ලැබුනා..අද දවසේදී ලොව වැඩිම කඩුළු ලාභියා වෙමින් ලෝක පූජිත ක්‍රිකට් තරුවක් බවට පත්වී ඇති මුරලිට එදා ඒ අභියෝගය හමුවේ ක්‍රිකට් වලින් සමුගන්නට සිදු වූවානම්...??? මුරලි රැක ගැනීමේ ගෞරවයෙන් විශාල කොටසක් ඒ ශක්තිමත් සහ අභිමානවත් නායකයාට හිමිවිය යුතු බවට විවාදයක් ඇත්ද?


96 න් පසු ඔහුගේ හැසිරීම සම්බන්ධව බොහෝ විවේචන එල්ල වුනා..

ඒ කෙසේ වෙතත් ඔහු දුෂ්කරතා අභියෝග මැද්දෙන් ඉදිරියට ගොස් රටට අනගිභවනීය ජයග්‍රහණ උරුම කර දුන්න..මේ රටට ආඩම්බර විය හැකි මිනිහෙක්...!!!

Friday, March 11, 2011

2011 ලෝක කුසලානයේ "අරා" ගේ භූමිකාව...





අරවින්ද යනු අපට ලැබිය හැකි හොඳම තේරීම් කමිටු සභාපති..ඔහු සැබෑම සුපිරි ක්‍රිකට් තරුවක් ලෙස ලාංකේය ක්‍රිකට් වලට කල මෙහෙය සියළු දෙනාගේ ගෞරවයට ලක් වූවක්..එබැවින් බොහෝ දෙනාට ඔහු සමඟ වැඩ කිරීම ගැටළුවක් නොවෙයි...

අතීතය විසින් ඔහු කවුදැයි මනාව ඔප්පු කොට තිබෙනවා..ඔහු කොහොමටත් තමන්ගේ වැඩේ හරියට කරන චරිතයක් මිස අනවශ්‍ය බාධක ඇතිකර ගන්න චරිතයක් නොවේ..අර්ජුනට වගේ ඔහුට දේශපාලනික ගැටීම් නැහැ..තිලංග ට වගේ ඔහුට ක්‍රිකට් හරහා "චරිතයක්" වීමේ වුවමනාවක් නැහැ..(ඔහු සැබෑ "චරිතයක්" බව හැමෝම දන්නවා..)..ඔහු ක්‍රීඩා කරන කාලයේ පවා මාධ්‍යවල ප්‍රසිද්ධිය/ ජනප්‍රියත්වය සැලකුවේ නැහැ..සල්ලිකාරයෙක් වන ඔහුට මේකෙන් ගසාකන්න/සල්ලි හම්බ කරන්න උවමනාවක් ඇතැයි සිතන්න බැහැ..[හැබැයි ඒ කාලේ නම් කිව්වේ "මෑන් ඔෆ් ද මැච්" ට කාර් එකක් දෙනවා නම් "අරා" ඒ මැච් එක අතාරින්නේ නැහැ කියලා:)..]

තේරීම් කමිටුව විදිහට , අපට සිටින ක්‍රීඩකයන්ගෙන් හොඳම සංයුතිය සහිත කණ්ඩායම ඔහු ලබාදී තියෙනවා..තේරීම් සම්බන්ධව මත ගැටීම් ඇතිවීම ඉතාම ස්වාභාවික කාරණයක් වුනත්, මෙවර එයට එල්ල වුනු ප්‍රතිවිරෝධතා අවමයි...

අවසාන 15 දෙනාගෙන් "සනත්" , "වාස්" සහ "සුරාජ් රන්දීව්" ඉවත් කිරීමට ගත් තීරණ දුෂ්කර ඒවා බව ඔහු මාධ්‍ය සාකච්චාවකදී පැවසූ අතර, වර්තමාන 15 දෙනා තේරීමේදී ඔවුන් සලකා බැලූ කරුණු පැහැදිලිව ඉදිරිපත් කලා...

විශේෂයෙන්ම "සනත්" සහ "වාස්" ඉවත් කිරීමට සිදුවීම දුෂ්කර මෙන්ම හැගීම්බර තීරනයක් බව පැවසූ ඔහු ලෝක කුසලානය වෙනුවෙන් වූ මිලියන 20 ක ජනතාවකගේ බලාපොරොත්තු වලට තමන් වගකිව යුතු හෙයින් ඒ දුෂ්කර තීරණ ගැනීමට සිදුවූ බව පැවසූවා..සැබැවින්ම එය අගනා ප්‍රකාශයක්...

ඔහුට කල හැකි උපරිමය ඔහු කර තිබෙනවා..( 96 ලෝක කුසලානයේදී අවසාන මහා තරඟයේදී ශතකයක් සමඟ කඩුළු 3 ක් ගෙන මැච් එක ගොඩ දමා දුන්නාක් මෙන්..)

දැන් ඇත්තේ ක්‍රීඩකයන්ගේ වාරයයි...තමන් ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට තරම් සුදුස්සන් බව ඔප්පු කිරීමේ අභියෝගය ඔවුන්ට පැවරෙනවා..

සංගා, මහේල සහ මුරලි කියන්නේ ඒ බව හොඳින් ඔප්පු කොට ඇති ලෝක පූජිත ක්‍රිකට් තරු...ඒ මට්ටමේම නැතත් දිල්ශාන්, තරංග, මැතිව්ස්, මාලිංග, කුලසේකර, මෙන්ඩිස් වැන්නන් තමන් මැච් එකක් ගොඩ දැමීමට සමත් වූවන් බව ඔප්පු කොට තිබෙන ක්‍රීඩකයන්..එය මෙතෙක් ඔප්පු නොකල තිසර, රංගන, දිල්හාර, සමරවීර, චාමර සිල්වා සහ කපුගෙදර ට ඒ අභියෝගය ජයගැනීමේ වගකීම තිබෙනවා....!

Monday, March 7, 2011

ක්‍රිකට් ලෝක කුසලානයට මගේ අනාවැකි...




ක්‍රිකට් වලදී අනාවැකි කීම කොහොමටවත් පහසු දෙයක් නෙමෙයි.....

හිතාගන්න වත් බැරි දේවල් තමයි අන්තිමට සිද්ධ වෙන්නේ....ක්‍රිකට් වල සුන්දරත්වයත් ඒ අවිනිශ්චිත බව නිසාමයි.....

ඕනෑම දෙයක් සිදුවිය හැකියි..ඕනෑම දෙයක් නොසිදුවිය හැකියි....

මෙවර ලෝක කුසලානයේදී අයර්ලන්තය එංගලන්තයට ගහයි කියල කවුද හිතුවේ..? ඒ වගේම ශ්‍රි ලංකා-ඕස්ට්‍රේලියා මැච් එකේදී අවසානයේ ජයගත්තේ වැස්ස...

ඒ කොහොම උනත් දක්ෂතාවයට ජය උරුම නොවෙනවාම නෙවෙයි..ඕස්ට්‍රේලියාව පිට පිට තුන් වතාවක් ලෝක කුසලානය දිනුවේ නිකම්ම නිකම් වාසනාවට නෙමෙයි..ඔවුන් සැබෑ දක්ෂයනුත් වූ නිසායි...

ඉතින් ඒවා මේවා සියල්ල සලකලා තමයි මේ අනාවැකිය.......

හැඟීම්බර නොවී..යථාර්තවාදීව..වියහැකි දේ හැකිතාක් දුරට නිවැරදිව උපකල්පනය කිරීමට දැරූ උත්සහයක් මේක..



මාර්තු 08 -: නවසීලන්තය-පාකිස්තානය [පාකිස්තානය]
මාර්තු 09 -: ඉන්දියාව-නෙදර්ලන්තය [ඉන්දියාව]
මාර්තු 10 -: ශ්‍රි ලංකාව - සිම්බාබ්වේ [ශ්‍රි ලංකාව]
මාර්තු 11 -: අයර්ලන්තය - බ.ඉ.කොදෙව් [බ.ඉ.කොදෙව්]
මාර්තු 11 -: බංගලාදේශය-එංගලන්තය [එංගලන්තය]
මාර්තු 12 -: ඉන්දියාව - ද.අප්‍රිකාව [ඉන්දියාව]
මාර්තු 13 -: කැනඩාව - නවසීලන්තය [නවසීලන්තය]
මාර්තු 13 -: ඕස්ට්‍රේලියාව - කෙන්යාව [ඕස්ට්‍රේලියාව]
මාර්තු 14 -: බංගලාදේශය - නෙදර්ලන්තය [බංගලාදේශය]
මාර්තු 14 -: පකිස්තානය - සිම්බාබ්වේ [පකිස්තානය]
මාර්තු 15 -: අයර්ලන්තය - ද.අප්‍රිකාව [ද.අප්‍රිකාව ]
මාර්තු 16 -: ඕස්ට්‍රේලියාව - කැනඩාව [ඕස්ට්‍රේලියාව]
මාර්තු 17 -: එංගලන්තය - බ.ඉ.කොදෙව් [එංගලන්තය]
මාර්තු 18 -: අයර්ලන්තය - නෙදර්ලන්තය [අයර්ලන්තය]
මාර්තු 18 -: ශ්‍රි ලංකාව - නවසීලන්තය [ශ්‍රි ලංකාව]
මාර්තු 19 -: බංගලාදේශය - ද.අප්‍රිකාව [ද.අප්‍රිකාව]
මාර්තු 19 -: ඕස්ට්‍රේලියාව - පකිස්තානය [ඕස්ට්‍රේලියාව]
මාර්තු 20 -: කෙන්යාව - සිම්බාබ්වේ [සිම්බාබ්වේ]
මාර්තු 20 -: ඉන්දියාව - බ.ඉ.කොදෙව් [ඉන්දියාව]


ලකුණු සටහන







A කණ්ඩායමලකුණු B කණ්ඩායමලකුණු
ඕස්ට්‍රේලියාව 11 ඉන්දියාව 11
පකිස්තානය 10 එංගලන්තය 09
ශ්‍රි ලංකාව 09 ද.අප්‍රිකාව 08
නවසීලන්තය 06 බ.ඉ.කොදෙව් 06


අර්ධ අවසන් පූර්ව තරඟ

මාර්තු 23 -:{A1-B4} ඕස්ට්‍රේලියාව - බ.ඉ.කොදෙව් [ඕස්ට්‍රේලියාව]
මාර්තු 24 -:{A2-B3} පකිස්තානය - ද.අප්‍රිකාව [පකිස්තානය]
මාර්තු 25 -:{A3-B2} ශ්‍රි ලංකාව - එංගලන්තය [ශ්‍රි ලංකාව]
මාර්තු 26 -:{A4-B1} නවසීලන්තය - ඉන්දියාව [ඉන්දියාව]

අවසන් පූර්ව තරඟ

මාර්තු 29 -: ඕස්ට්‍රේලියාව - ශ්‍රි ලංකාව [ඕස්ට්‍රේලියාව]???
මාර්තු 30 -: පකිස්තානය - ඉන්දියාව [ඉන්දියාව]

අවසන් මහා තරඟය

අප්‍රේල් 02 -: ඕස්ට්‍රේලියාව - ඉන්දියාව


2011 ලෝක කුසලාන ජය

ඉන්දියාව

Saturday, February 5, 2011

මේ යන්නේ කොයි පාරේ......


දැන් ඉතින් මොකාට බය වෙන්නද?...2/3 කුත් ඇතිකොට...මිනිස්සු 2/3 ක් ම දුන්නේ නෑ තමා...ඒත් ඉතින් ඔලුගෙඩි කීපයක් මාරුකරලා ගත්තාම ඔය යස අගේට 2/3 ක් තියෙන්නේ....

දැන් ඉතින් මේක අපේ රාජ්ජේ...අපි කාටද බය...

අපේකම විකුණන කම්, දේශප්‍රේමය විකුණනකම් මිනිස්සු ඇස් කන් පියාගෙන ඉඳියි..**ට ඇරියත්.....

ඇයි ඉතින් රනිල් ටයි කෝට් අඳින මිනිහා කිව්ව ගමන්..රෙද්ද බැනියම අඳින මර්වියා ඇවිල්ලා ගස් බැන්ඳත් සැපයිනේ මුන්ට....

නිදහස් දිනේ මොන මඟුලකට "නිදහසේ විලාප" තියන්න එනවද?..මාත් එක්ක හැප්පෙන්න ආවට හිරේ දාලා මදි ජෙනරාලයව...මුන්ට දෙන්නම තමයි තියෙන්නේ දුවන්න....තිලංගයයි දුමින්දයයි දුන්නා වැඩේ නියමෙට..එල කොල්ලෝ දෙන්නා..උන් දෙන්නා තරඟෙට ලකුණු රැස් කරනවා..හෙ හෙ...

මේ දයාසිරියා දඟලනවා වැඩියි...ඌ මේ සිංදුවක් දෙකක් කියලා "මෑන්ස්" කියලයි හිතාන ඉන්නේ.....මට ටිකක් තද උනොත් මාත් බහිනවා ඔය සින්දු කියන වැඩේට...අම්මපා....සජිතයාවත් ෆෝම් කරන්නේ මේ ගොබිලා තමයි..දැන්මම වැඩක් දුන්නේ නැත්නම්..ඇණයක් වෙලයි නවතින්නේ...

මමත් ඉතින් "මහතීර් මොහොමඩ්" වෙන්නනේ යන්නේ...උන්දැත් ප්‍රජාතන්ත්‍රවාදේ බල්ලට දැම්මා කියනවානේ රට සංවර්ධනය කරන්න යනකොට....මාත් ඉතින් දානවා ඕක බල්ලට....සංවර්ධනේ නම් ඉතින් පස්සේ හිමීට බැරුවායැ...නැද්ද මං කියන්නේ...!!

Wednesday, February 2, 2011

2011...රනිල්ගේ අවසන් වසරද...?


2011 රනිල්ගේ නායකත්වයේ අවසන් වසරද? ඔහුගේ දේශපාලනයේ අවසන් වසරද? අපි බලා හිඳිමු සිදුවන්නේ කුමක්ද කියා...

ඒ අතරේදී ඔහුගේ දේශපාලන භූමිකාව විග්‍රහ කර ගැනීමකටයි මේ වෑයම..


රනිල් ක්‍රියාකාරි දේශපාලනයට එන්නේ 1977 දී...ඔහුගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ...මව නාලිනී වික්‍රමසිංහ...ඇය ලාංකේය පුවත්පත් ව්‍යාපාරයේ පුරෝගාමියෙක් වන ඩී.ආර්.විජයවර්ධනගේ දියණිය... ඒ කියන්නේ ඔහු කීර්තිමත්..ධනවත්..ප්‍රභූ පවුලකින් පැවත එන්නෙක්..පාසල් ගියේ කොලඹ රාජකීය විදුහලට...පදිංචිය කොල්ලුපිටියේ...මේ ධනවත් ,high class පසුබිමම ඔහුට එක් අතකින් වාසනාවත් අනෙක් අතින් අවාසනාවත් උරුම කරලා දීලා තියෙනවා...


රනිල්ගේ දේශපාලන ඉතිහාසය ගත්තාම, 77 සිට 94 දක්වා සෑහෙන මට්ටමක කීර්තිමත්, අගය කලහැකි දේශපාලනයක් ඔහුට හිමියි..ජේ.ආර්.ජයවර්ධන ඔහුව අනාගත නායකයෙක් විදිහට පක්ෂය තුල ගොඩ නැඟුවා.ඒ යුගයේදී ප්‍රේමදාස, ලලිත්, ගාමිණී, රොනී කියන ප්‍රබල චරිතවලින් පස්සේ යූ.ඇන්.පි යේ සිටි නායකත්ව චරිතය ඔහුයි..


ඔහු වැදගත් ඇමති ධූර දරමින් රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කර තිබෙනවා..
1) විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති
2) අධ්‍යාපන ඇමති
3) තරුණ කටයුතු ඇමති
4) විද්‍යා හා තාක්ෂන ඇමති
5) පාර්ලිමේන්තු සභානායක


රනිල් පාර්ලිමේන්තුවට එන්නේ 77 මහ මැතිවරණයෙන් බියගම ආසනය ජය අරගෙන..ජේ.ආර්.තමයි මුලින්ම වෙනමම විදේශ ඇමති ධූරයක් ඇති කලේ..(එතෙක් එය රාජ්‍ය නායකයාට පැවරුනු කාර්යභාරයක්..)

රනිල් මුලින්ම විදේශ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරුවා..ඊට පසු අධ්‍යාපන ඇමති ධූරය ලැබූවා...ඔහු එහිදී විශාල කාර්යභාරයක් ඉටු කර තිබෙනවා....

1. ගුරුවරුන් පුහුණු කිරීම සඳහා අධ්‍යාපන පීඨ ක්‍රමය ආරම්භ කිරීම
2. ජාතික පාසල් ක්‍රීඩා උලෙල ආරම්භ කිරීම
3. ගුරුවරුන් බඳවාගැනීමේ තරඟ විභාග ක්‍රමයක් හඳුන්වා දීම
4. අධ්‍යාපන පරිපාලන සේවය ආරම්භ කිරීම


එයට අමතරව පාසල්වල ඉංග්‍රීසි භාෂාව හා පරිගණක අධ්‍යාපනය දියුණු කිරීමට විශේෂ උනන්දුවකින් ක්‍රියා කලා...

ඊලඟට තමයි ඔහු පලමු තරුණ කටයුතු ඇමති බවට පත්වන්නේ...

තරුණ සේවා සභාව ඔහුගේ නිර්මාණයක්.. ජාතික තරුණ සේවා සභාව හරහා විශාල වැඩ කොටසක් කර තිබෙනවා..Infotel Lanka ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ ගෞරවය ඔහුට හිමිවෙනවා...අනිත් දේශපාලනඥයන්ට වඩා නවීන ලෝකය ගැන, නවීන තාක්ෂනය ගැන අවදියෙන් සිටි ඔහු එහි ප්‍රතිලාභ රටට ගෙන ඒමට විශාල වැඩ කොටසක් කලා..

ඔහු ජාතිවාදියෙක් නෙමෙයි...මිනිස්කම අගයන ඔහු 83 කළු ජූලියේදී සුළු ජාතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කල බව ප්‍රකටයි..බොරු පොරොන්දු නොදී..ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් වෙනුවෙන් ඔහු කැපවූවා...වඩා සාධාරණ සමාජ ක්‍රමයක්..සමෘධිමත් දේශයක් අපේක්ෂා කරන්නෙකුට රනිල් වික්‍රමසිංහ කියන්නේ හොඳ තේරීමක්....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters