Monday, November 26, 2012

වික්‍රමසිංහගේ "විරාගය" සහ අබේසේකරගේ "විරාගය"..


අරවින්ද කියන නම ඇහෙන කොට මට මතකයට එන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් "අරා" හෙවත් අරවින්ද ද සිල්වා;සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා. අනෙත් කෙනා විරාගයේ අරවින්ද.. නවකථාවක චරිතයක් උනත්,අරවින්ද ද සිල්වා තරම්ම නොවුනා වුනත්, විරාගයේ අරවින්ද කිව්වාම ලාංකේය සමාජයේ බොහෝ දෙනෙක් ඔහුව හඳුනනවා.





විරාගය ලියවෙන්නේ 1956 දී. එය සිංහලෙන් බිහිවූ විශිෂ්ඨතම නවකථාවක් බව බොහෝ දෙනෙක් පිළිගන්නවා.

-------------------------------
"ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වීය. අරවින්ද තමාගේ චරිතයෙහි හොඳ තැන් මෙන්ම නරක තැන්ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගතිද හෙළි කරන්නේ පාපෝච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නකු ලෙසිනි...
විරාගය ශෝකාන්ත අධ්‍යාත්මක නාටකයකි.
."


ඒ විරාගය පොතේ පිටකවරයේ ඇති හැඳින්වීම.
 වෙසක් දවසක රැයක පෙරහැරක් බලනු පිණිස අරවින්දගේ ගෙදර පිරිස රැස්වූ දා අරවින්දට සරෝජනී හමුවෙයි....

"ගෙපිලෙහි රැස්වී කතාබහින් සන්තෝෂ වන පිරිස අතර සිටි එක් දැරියක් මගේ සිත් ගත්තාය. පාසලට යනවිට ගවුම අඳින ඇගේ කය අද වසා සිටියේ සාරියකි. ඈ හා කතාබහ කිරීමටත් ඈ දෙස බැලීමටත් ආසාවක් මා තුළ හට ගත්තේය.

පාසලෙහි දී මා හැමදා දැක පුරුදු සිනිඳු කොපුල් දෙකත් කෙළින් පිහිටි නැහැයත් ඇති ඇගේ මුහුණ පෙර නොවූ විරූ සුන්දරත්වයක් අද ලැබුවේ කෙසේද?....."

අරවින්දගේ හදවතට සරෝජිනි පිවිසෙන්නේ එලෙස.

 "සරෝජිනී මා හා හුදෙකලාව කථා බහ කළ අවස්ථාවක මා ඇගේ මුහුණ සිපගනු ඇතැයි යන හැඟීමෙන් ඈ ඇගේ කොපුල් තලය මගේ මුහුණෙහි හැපෙන තරම් ළං කළාය. බියත් ලජ්ජාවත් නිසා මම ඇගේ මුහුණ නොසිම්බෙමි. ඈ මා දෙස යටැසින් බලා සිනාසුණා මිස කෝප නොවීය. ඈ මට ආලය කෙළේ මා හැඳිනගෙනය."

නමුත්  අවසානයේදී අරවින්දට සරෝජිනි හිමිවන්නේ නැහැ.

අරවින්දගේ වැඩිමල් සොයුරිය මේනකා...ඇය අරවින්දට හාත්පසින්ම වෙනස් චරිතයක්.

"නිදහසින් ප්‍රයෝජන ගන්නත් පුළුවන් කමක් තියෙන්න ඕනෑ.නුඹේ සිත ඉබාගාතේ පියාඹන කුරුල්ලෙක් වගෙයි.  තාත්තාගේ මරණේ නිසා නුඹේ අතීතය නැතිඋණා. සරා වෙන කෙනෙක් සමඟ විවහ වීම නිසා නුඹේ අනාගතය නැති උණා."  

තනිව වෙසෙන අරවින්ද බලන්නට එන මේනකා, අරවින්ද ගැන දෙන්නේ එහෙම විනිශ්චයක්..

මේනකා, සරෝජනී, සිරිදාස ආදී නවකථාවේ එන චරිත අතින් විතරක් නොවෙයි; විරාගය නවකථාව රස විඳි බොහෝ දෙනෙක් අතින් අරවින්දගේ චරිතය විවිධ විදිහට විග්‍රහ වුණා.

විරාගයේ අනෙත් ප්‍රධානම චරිතය "බතී"...

කාමරය තුළට වී සිටින බතීට මම හඬ ගෑවෙමි.
"දැන් ඇවිත් ගිය ඩ්‍රයිවර්ට උඹ ලියුම් යැව්වාද" මම මඳක් කෝපයෙන් ඇසුවෙමි."නැහැ"
"ඒ මිනිහා ලියුම් එව්වාද"
"නැහැ"
බතීගේ දෙවන පිළිතුර බොරුවක් නොවේ. ඔහු ලියුම් එවනු වෙනුවට බතී බැලීමට රැයෙහිත් ඇතැම් විට දවල් වරුවෙහිත් පැමිණියේය
"ඒ මිනිහා උඹ බලන්න ආවාද"
බතී පිළිතුරු නොදුන්නාය.


 -----------------------------------------------------
කථාවෙන් ගොඩ නංවා ඇත්තේ ජයග්‍රාහකයෙක්ද පරාජිතයෙක්ද යන්න  හෝ කථාවෙන් ආදර්ශයක් දෙනවාද නැද්ද හෝ නොවෙයි වැදගත් කාරණාව.එම චරිතය මාටින් වික්‍රමසිංහ ගොඩනැංවූ ආකාරයයි එහි විශිෂ්ටත්වය.

නවකථාවක් ලෙස, නවකථාංගයන්ගෙන් පූර්ණ වූවක් ලෙස විරාගය හැඳින්විය හැකියි.

 මෙවැනි කෘතියකට අවශ්‍යම පරිදි මෙය ගොඩ නැංවෙන්නේ ආත්ම කථනයක් විදිහට.

අරවින්ද සාමන්‍යය මිනිසුන්ට වෙනස් චරිතයක් වූවත්  කථාවේ  විශ්වාසනීයත්වට කිසිදු බලපෑමක් නැහැ. කථාව හෝ සිද්ධි කෘතීමව කථාවට පුරුද්දා ඇතැයි කිසිදු විටෙක පාඨකයාට සිතෙන්නේ නැහැ.

---------------------------------------------------

ප්‍රවීන සිනමාවේදී තිස්ස අබේසේකරයන් අරවින්දව සිනමාවට කැඳවාගෙන ආවා..




 

 
විරාගය සිනමාවට නැඟෙන්නේ 1987 දී.   සනත් ගුණතිලක ට අවස්ථාව ලැබේනවා විරාගයේ අරවින්ද සිනමා තිරයේ මවන්නට.ඔහු එය අපූරුවට ඉටු කරනවා; ඔහුගේ හොඳම රංගනයක් සනිටුහන් කරමින්.



මෙවන් නිර්මාණ විශිෂ්ඨ යැයි කියන්නේ ඇයි? වර්තමාන නිර්මාණකරුවන් මේවායින් උගත යුත්තේ මොනවාද?

අපූර්ව වූත් විශ්වාසනීය වූත් කථාව, මිනිස් සිතක හැඟීම් විනිවිද දුටු ප්‍රඥ්ඥා සම්පන්න, නිර්මාණශීලී රචනය ප්‍රධාන කරුණ යැයි සිතමි. වික්‍රමසිංහයන්ගේ විශිෂ්ඨ රචනය තිස්ස අබේසේකරයන් මනාව චිත්‍රපට තිර රචනයකට පෙරළා තිබුණා.

තිර රචනය ප්‍රබල වූ විට දක්ෂ රංගන ශිල්පියෙකුට/ශිල්පිනියකට එයට ජීවය එක්කළ හැකිය. සනත් ගුණතිලකගෙන්, ශ්‍රියානි අමරසේන ගෙන් අප දකින්නේ ඒ ප්‍රතිභාවයි.

    


 විරාගය ආරම්භ වන්නේ නවකථාවේ ආකාරයට නොවේ. එයට අලුතෙන් කොටසක් එක්කර තිබුනා. අරවින්දගේ මරණයෙන් පසු හමු වී ඇති ඔහුගේ දිනපොතක් ඇසුරෙනුයි කථාව පටන් ගන්නේ. එය අපූරුයි. නිර්මාණාත්මක යෙදීමක්.

ආනන්දයෙන් ප්‍රඥ්ඥාව මැවෙයි.සෞන්දර්ය, අපූර්වත්වය සේම ජීවන අවබෝධය ගෙනෙයි. සිනමා ශාලාවට ඇතුල් වූ රසිකයා සැබෑ නිර්මාණයක් රස විඳ, ආනන්දය ද ප්‍රඥ්ඥාවද ලැබ ඉන් පිටව යයි.විය යුත්තේ එය නොවේද?

තරුණ, නිර්මාණශීලී සිනමාකරුවන් රැසක් ලාංකේය සිනමාවට අද එක්වී සිටිති. එය සතුටු වන්නට කාරණාවකි. අපට ඔවුන්ට කීමට ඇත්තේ මෙයයි.

ව්‍යාජ සම්භාව්‍ය එක්ටැම්ගෙවල් වලින් මිදෙන්න...
අන්තර්ජාතික සම්මාන සිහිනයෙන් ඇහැරෙන්න..
ලාංකේය සිනමාවට විශිෂ්ඨත්වය උදා කරලන්න ඔබට හැකියාව ඇත...

Popular Posts - Last 30 Days