Wednesday, October 8, 2014

හොඳම සිංහල චිත්‍රපට 10



චිත්‍රපටගීත හෝ කියවූ පොත් අතරින් තමන් කැමතිම දේවල් ගැන කථා කිරීමඒවා ලැයිස්තුවකට සකස් කිරීම වගේ දේවල් ආස්වාදනීය අත්දැකීමක්.  තමන් කැමතිමතමන් වඩාත් වින්දනය කළ නිර්මාණ තේරීම  විඳීම් ඇනලයිස් කිරීමේ තෘප්තියආස්වාදය අපට ලබාදෙනවා.

සිංහල චිත්‍රපට රසිකයෙක් විදිහට මා කල්පනා කළා මා මෙතෙක් නරඹා ඇති සිංහල චිත්‍රපටවලින් මා වඩාත් ප්‍රියකරනවඩාත් වින්දනය කළ නිර්මාණ අනුපිළිවෙකට පෙළගස්වන්න. අදහස් ඔබත් එක්ක බෙදාගන්න.

මා තෝරනවා නිර්මාණ 10 ක්.
අපි පටන් ගනිමු 10 වෙනි ස්ථානයෙන්.

10 වෙනි තැන: දියමන්ති: වසන්ත ඔබේසේකර 1976

ස්පෙක්ස් දාපු විජයගේ අමුතුම ලුක් එකත්, මාලිනිගේ තාරුණ්‍යයේ සුන්දරත්වයත්, මහැදුරු සුනිල් ලියපු නන්දා මාලිනි ගයපු "යොවුන් වසන්තයේ" ගීතයත් බලන් ඉන්න හිතෙන තරම් වන කථා රසයත් මා මේ චිත්‍රපටයට ප්‍රිය කරන හේතු හැටියට සඳහන් කරන්න පුළුවන්.සම්භාව්‍ය නිර්මාණයක් නොවුනත් සරල රස වින්දනයක් දෙන ලස්සන ෆිල්ම් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්.







වෙනි තැන: ගම්පෙරළිය-ලෙස්ටර් ජේමිස් පීරිස්

මාටින් වික්‍රමසිංහගේ නවකථාවේ රසය බිඳකින් හෝ අඩු නොකර,එහි රසය උද්දීපනය කළ නිර්මාණයක් ලෙස ලෙස්ටර්ගේ "ගම්පෙරළිය" චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.නවකථාවලින් චිත්‍රපටි කරන්න ගියාම බොහෝ විට අසාර්ථක වීම් තමයි මම නම් දැකලා තියෙන්නේ.ඒ අතින් සිංහලයේ හොඳම නවකථාව චලන චිත්‍රයට නැඟීමේ අභියෝගය ඉහළින්ම ජයගෙන "ගම්පෙරළිය" නමින් හොඳම නවකථාවක් පමණක් නොව 
හොඳම චිත්‍රපටයක්ද ලාංකේය කලාවට එක්කළ ආචාර්ය ලෙස්ටර් ට මාගේ ප්‍රණාමය.

8 වෙනි තැන සප්ත කන්‍යා: එච්.ඩී.ප්‍රේමරත්න 1993

දූවිල්ලෙන් වත්සුණු තැවරූ අබිසරුලියක උන්මාද වූ ප්‍රේමාදරයක පැටලීමේ කථාවයි සප්ත කන්‍යා.  කමල් අද්දරාඅරච්චි සහ සංගීතා වීරරත්න 90 දශකයේ ලාංකේය සිනමාවේ පෙම් යුවළ බවට මේ නිර්මාණයෙන් අබිසෙස් ලැබුවා.

කළු චරිතයකට දියහැකි හොඳම භාවයන් එක්කළ ප්‍රවීන නළු ටෝනි රණසිංහ,කලකට පසුව ඉහළම ජනප්‍රියත්වයක් දිනූ සිනමා ගීත පෙළ මේ නිර්මාණයේ අගය වැඩි කළා. "උන්මාද වූ ප්‍රේමාදරේ", "සුවඳ දැනි දැනී දැනෙනවා" සහ "දූවිල්ලෙන් වත්සුණු තවරා" ජනප්‍රියත්වය අදටත් ගිලිහී නොගිය ගීත.






අංක 7 - තුෂාරා : යසපාලිත නානායක්කාර

විජය-මාලනි සිනමා යුගයේ ආකර්ශනීයතම චිත්‍රපටය "තුෂාරා" යැයි මම සිතමි. යසපාලිත නානායක්කාරගේ නිර්මාණයක්. 1973 දී නිර්මාණය වූවක්. "හෝ හෝ තුෂාරා", "කලක් තිස්සේ" වැනි ගීත අඩංගු වූ මේ චිත්‍රපටය විජය සහ මාලනී ගේ හොඳම තරුණ කාලයේ නිමැවූවක්. තාරුණ්‍යයේ චිත්‍රපටයක්.

අංක 6 - සංකාරා: ප්‍රසන්න ජයකොඩි


සංකාරා වෙනස්ම ආකාරයේ අපූර්වතම අත්දැකීමක් ලාංකේය සිනමා ප්‍රේක්ෂකයාට ලබාදුන් නිර්මාණයක්. ප්‍රසන්න ජයකොඩිගේ පළමු සිනමා නිර්මාණය වූවත් එය අතිශයින් පරිණත සිනමා කෘතියක් වුනා. තරුණ භික්ෂුවකගේ චිත්ත අභ්‍යන්තරය විනිවිද දකින්නට දැරූ නිර්මාණශීලී වෑයම සංකාරා අප වෙත ගෙන ආවා.

5 වන ස්ථානය - සිහින දේශයෙන්: බුඩී කීර්තිසේන

නාට්‍යක් නිර්මාණය කරන්නට එක්වුණු තරුණ පිරිසක් වටා, ඔවුන්ගේ ජීවිතවල සිදුවන නොයෙකුත් හැල හැප්පීම් හරහා 90 දශකයේ ලාංකේය තාරුණ්‍ය, ලාංකේය ජීවිතය පිළිබඳව අපූර්ව විග්‍රහයක් "සිහින දේශයෙන්" චිත්‍රපටයෙන් ගෙන ආවා. බුඩී කීර්තිසේනගේ පළමු සිනමා නිර්මාණය.රොජර්, ශ්‍රියන්ත,පාලිත, මහේන්ද්‍ර ආදී දක්ෂතමයන් රැසක් මේ නිර්මාණයට එක්වී සිටියා."මරණය" සංකේතවත් කළ මහේන්ද්‍ර පෙරේරාගේ රංගනය සිංහල චිත්‍රපටයක එවැන්නක් දුටු පළමු වතාවයි.

4 වන ස්ථානය - ගරිල්ලා මාකටිං -ජයන්ත චන්ද්‍රසිරි

ආත්මය පැකට් කොට ජීවිතය මාකට් කළවුන්ගේ යාගය -ගරිල්ලා මාකටිං අප වෙත ගෙන ආවා. තිසර නම් නිර්මාණශීලී යව්වනයා(කමල් අද්දර ආරච්චි ) සහ ග්‍රෙගරි මහාධිකාරම් නම් දේශපාලඥයා අතර ගැටුම තුළින් බොහෝ අර්ථාන්විත, සිනමාත්මක අත්දැකීමක් ලාංකේය ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නට ජයන්ත චන්ද්‍රසිරි සමත් වුනා.මගේ අදහසට අනුව ජයන්තගේ සිනමා නිර්මාණ අතරින් හොඳම නිර්මාණය මෙයයි.


අංක 3 - නිධානය-ලෙස්ටර් ජේම්ස් පීරිස්

අවාසනාවන්ත මිනිසෙක්ගේ (විලී අබේනායක- ගාමිණි ෆොන්සේකා) කථාවක්. ඒ අවාසනාවට ගොදුරු වූ අහිංසක ගැහැනියකගේ (අයිරින්-මාලනී ෆොන්සේකා) කථාවක්. ලෙස්ටර් නිමැවූ, තිස්ස අබේසේකර තිර පිටපත ලිවූ, ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ, ගාමිණි-මාලනී රඟපෑ චිත්‍රපටයක් කියූ විට එහි විශිෂ්ටත්වය පිළිබඳව තවත් කියනුම කවරේද?







අංක 2 - මිල්ලෙ සොයා:බුඩී කීර්තිසේන




60,70 දශකවල ලෙස්ටර්, පතිරාජ වැන්නවුන් වර්තමානයේ නැතිද යන කුකුස තිබූ කාලයක, ඒ කුකුස නැතිකළ අපේ කාලයේ විශිෂ්ටත්ම සිනමාවේදියෙක් ලෙස බුඩී කීර්තිසේන හඳුන්වා දිය හැකියි. "මිල්ලෙ" සොයා ඉතාලි පනින ලාංකේය තරුණයාගේ ජීවිතයට කළ නිර්මාණශීලී එබී බැලීමක්.



පළමු ස්ථානය- බඹරු ඇවිත්: ධර්මසේන පතිරාජ




වැල්ලට එන නාගරික තරුණයා-බේබි මහත්තයා (විජය ) සහ වැල්ලේ මාළු වෙළඳාමේ ආධිපත්‍ය එතෙක් හිමිකරගෙන සිටි ඇන්ටන් (ජෝ ) අතර ගැටුම ඒ සන්සුන් ධීවර ගම්මානයේ දිවි පෙවෙත සහමුලින් වෙනස් කර දමනවා. හරවත්, ගැඹුරු තේමාවක්, ජීවිත සහ සමාජ අවබෝධයක් සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීම පිළිබඳව සිංහල සිනමාවේ මා දුටු හොඳම උදාහරණය පතිරාජගේ "බඹරු ඇවිත්" චිත්‍රපටයයි.සරල ජනප්‍රිය සිනමාවේ විජය-මාලනි හොඳම චිත්‍රපටය "තුෂරා" නම් සම්භාව්‍ය සිනමාවේ ඔවුන් ගේ හොඳම චිත්‍රපටය "බඹරු ඇවිත්" යනු මගේ හැඟීමයි. එහි එන, කේමදාසයන් සංගීතවත් කළ "උදුම්බරා" සිංහල සිනමා ගීතයේ මුදුන් මල් කඩක්.


අවාසනාවකට තවමත් මට "පාර දිගේ" (පතිරාජ) සහ "වැලිකතර" (ඩී.බී.නිහාල්සිංහ) සම්පූර්ණයෙන් නරඹන්න හැකිවෙලා නැහැ. ඒවා ගැන අසා, කියවා ඇති දෙයිනුත් බලන්නට ලැබී ඇති කුඩා කොටස් වලිනුත් මට හිතෙන්නේ නැරඹුවානම් ඒවා මේ ලැයිස්තුවට එක්විය හැකි ආකාරයේ නිර්මාණ බවයි.

 .

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters