Wednesday, October 8, 2014

හොඳම සිංහල චිත්‍රපට 10



චිත්‍රපටගීත හෝ කියවූ පොත් අතරින් තමන් කැමතිම දේවල් ගැන කථා කිරීමඒවා ලැයිස්තුවකට සකස් කිරීම වගේ දේවල් ආස්වාදනීය අත්දැකීමක්.  තමන් කැමතිමතමන් වඩාත් වින්දනය කළ නිර්මාණ තේරීම  විඳීම් ඇනලයිස් කිරීමේ තෘප්තියආස්වාදය අපට ලබාදෙනවා.

සිංහල චිත්‍රපට රසිකයෙක් විදිහට මා කල්පනා කළා මා මෙතෙක් නරඹා ඇති සිංහල චිත්‍රපටවලින් මා වඩාත් ප්‍රියකරනවඩාත් වින්දනය කළ නිර්මාණ අනුපිළිවෙකට පෙළගස්වන්න. අදහස් ඔබත් එක්ක බෙදාගන්න.

මා තෝරනවා නිර්මාණ 10 ක්.
අපි පටන් ගනිමු 10 වෙනි ස්ථානයෙන්.

10 වෙනි තැන: දියමන්ති: වසන්ත ඔබේසේකර 1976

ස්පෙක්ස් දාපු විජයගේ අමුතුම ලුක් එකත්, මාලිනිගේ තාරුණ්‍යයේ සුන්දරත්වයත්, මහැදුරු සුනිල් ලියපු නන්දා මාලිනි ගයපු "යොවුන් වසන්තයේ" ගීතයත් බලන් ඉන්න හිතෙන තරම් වන කථා රසයත් මා මේ චිත්‍රපටයට ප්‍රිය කරන හේතු හැටියට සඳහන් කරන්න පුළුවන්.සම්භාව්‍ය නිර්මාණයක් නොවුනත් සරල රස වින්දනයක් දෙන ලස්සන ෆිල්ම් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්.







වෙනි තැන: ගම්පෙරළිය-ලෙස්ටර් ජේමිස් පීරිස්

මාටින් වික්‍රමසිංහගේ නවකථාවේ රසය බිඳකින් හෝ අඩු නොකර,එහි රසය උද්දීපනය කළ නිර්මාණයක් ලෙස ලෙස්ටර්ගේ "ගම්පෙරළිය" චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.නවකථාවලින් චිත්‍රපටි කරන්න ගියාම බොහෝ විට අසාර්ථක වීම් තමයි මම නම් දැකලා තියෙන්නේ.ඒ අතින් සිංහලයේ හොඳම නවකථාව චලන චිත්‍රයට නැඟීමේ අභියෝගය ඉහළින්ම ජයගෙන "ගම්පෙරළිය" නමින් හොඳම නවකථාවක් පමණක් නොව 
හොඳම චිත්‍රපටයක්ද ලාංකේය කලාවට එක්කළ ආචාර්ය ලෙස්ටර් ට මාගේ ප්‍රණාමය.

8 වෙනි තැන සප්ත කන්‍යා: එච්.ඩී.ප්‍රේමරත්න 1993

දූවිල්ලෙන් වත්සුණු තැවරූ අබිසරුලියක උන්මාද වූ ප්‍රේමාදරයක පැටලීමේ කථාවයි සප්ත කන්‍යා.  කමල් අද්දරාඅරච්චි සහ සංගීතා වීරරත්න 90 දශකයේ ලාංකේය සිනමාවේ පෙම් යුවළ බවට මේ නිර්මාණයෙන් අබිසෙස් ලැබුවා.

කළු චරිතයකට දියහැකි හොඳම භාවයන් එක්කළ ප්‍රවීන නළු ටෝනි රණසිංහ,කලකට පසුව ඉහළම ජනප්‍රියත්වයක් දිනූ සිනමා ගීත පෙළ මේ නිර්මාණයේ අගය වැඩි කළා. "උන්මාද වූ ප්‍රේමාදරේ", "සුවඳ දැනි දැනී දැනෙනවා" සහ "දූවිල්ලෙන් වත්සුණු තවරා" ජනප්‍රියත්වය අදටත් ගිලිහී නොගිය ගීත.






අංක 7 - තුෂාරා : යසපාලිත නානායක්කාර

විජය-මාලනි සිනමා යුගයේ ආකර්ශනීයතම චිත්‍රපටය "තුෂාරා" යැයි මම සිතමි. යසපාලිත නානායක්කාරගේ නිර්මාණයක්. 1973 දී නිර්මාණය වූවක්. "හෝ හෝ තුෂාරා", "කලක් තිස්සේ" වැනි ගීත අඩංගු වූ මේ චිත්‍රපටය විජය සහ මාලනී ගේ හොඳම තරුණ කාලයේ නිමැවූවක්. තාරුණ්‍යයේ චිත්‍රපටයක්.

අංක 6 - සංකාරා: ප්‍රසන්න ජයකොඩි


සංකාරා වෙනස්ම ආකාරයේ අපූර්වතම අත්දැකීමක් ලාංකේය සිනමා ප්‍රේක්ෂකයාට ලබාදුන් නිර්මාණයක්. ප්‍රසන්න ජයකොඩිගේ පළමු සිනමා නිර්මාණය වූවත් එය අතිශයින් පරිණත සිනමා කෘතියක් වුනා. තරුණ භික්ෂුවකගේ චිත්ත අභ්‍යන්තරය විනිවිද දකින්නට දැරූ නිර්මාණශීලී වෑයම සංකාරා අප වෙත ගෙන ආවා.

5 වන ස්ථානය - සිහින දේශයෙන්: බුඩී කීර්තිසේන

නාට්‍යක් නිර්මාණය කරන්නට එක්වුණු තරුණ පිරිසක් වටා, ඔවුන්ගේ ජීවිතවල සිදුවන නොයෙකුත් හැල හැප්පීම් හරහා 90 දශකයේ ලාංකේය තාරුණ්‍ය, ලාංකේය ජීවිතය පිළිබඳව අපූර්ව විග්‍රහයක් "සිහින දේශයෙන්" චිත්‍රපටයෙන් ගෙන ආවා. බුඩී කීර්තිසේනගේ පළමු සිනමා නිර්මාණය.රොජර්, ශ්‍රියන්ත,පාලිත, මහේන්ද්‍ර ආදී දක්ෂතමයන් රැසක් මේ නිර්මාණයට එක්වී සිටියා."මරණය" සංකේතවත් කළ මහේන්ද්‍ර පෙරේරාගේ රංගනය සිංහල චිත්‍රපටයක එවැන්නක් දුටු පළමු වතාවයි.

4 වන ස්ථානය - ගරිල්ලා මාකටිං -ජයන්ත චන්ද්‍රසිරි

ආත්මය පැකට් කොට ජීවිතය මාකට් කළවුන්ගේ යාගය -ගරිල්ලා මාකටිං අප වෙත ගෙන ආවා. තිසර නම් නිර්මාණශීලී යව්වනයා(කමල් අද්දර ආරච්චි ) සහ ග්‍රෙගරි මහාධිකාරම් නම් දේශපාලඥයා අතර ගැටුම තුළින් බොහෝ අර්ථාන්විත, සිනමාත්මක අත්දැකීමක් ලාංකේය ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නට ජයන්ත චන්ද්‍රසිරි සමත් වුනා.මගේ අදහසට අනුව ජයන්තගේ සිනමා නිර්මාණ අතරින් හොඳම නිර්මාණය මෙයයි.


අංක 3 - නිධානය-ලෙස්ටර් ජේම්ස් පීරිස්

අවාසනාවන්ත මිනිසෙක්ගේ (විලී අබේනායක- ගාමිණි ෆොන්සේකා) කථාවක්. ඒ අවාසනාවට ගොදුරු වූ අහිංසක ගැහැනියකගේ (අයිරින්-මාලනී ෆොන්සේකා) කථාවක්. ලෙස්ටර් නිමැවූ, තිස්ස අබේසේකර තිර පිටපත ලිවූ, ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ, ගාමිණි-මාලනී රඟපෑ චිත්‍රපටයක් කියූ විට එහි විශිෂ්ටත්වය පිළිබඳව තවත් කියනුම කවරේද?







අංක 2 - මිල්ලෙ සොයා:බුඩී කීර්තිසේන




60,70 දශකවල ලෙස්ටර්, පතිරාජ වැන්නවුන් වර්තමානයේ නැතිද යන කුකුස තිබූ කාලයක, ඒ කුකුස නැතිකළ අපේ කාලයේ විශිෂ්ටත්ම සිනමාවේදියෙක් ලෙස බුඩී කීර්තිසේන හඳුන්වා දිය හැකියි. "මිල්ලෙ" සොයා ඉතාලි පනින ලාංකේය තරුණයාගේ ජීවිතයට කළ නිර්මාණශීලී එබී බැලීමක්.



පළමු ස්ථානය- බඹරු ඇවිත්: ධර්මසේන පතිරාජ




වැල්ලට එන නාගරික තරුණයා-බේබි මහත්තයා (විජය ) සහ වැල්ලේ මාළු වෙළඳාමේ ආධිපත්‍ය එතෙක් හිමිකරගෙන සිටි ඇන්ටන් (ජෝ ) අතර ගැටුම ඒ සන්සුන් ධීවර ගම්මානයේ දිවි පෙවෙත සහමුලින් වෙනස් කර දමනවා. හරවත්, ගැඹුරු තේමාවක්, ජීවිත සහ සමාජ අවබෝධයක් සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීම පිළිබඳව සිංහල සිනමාවේ මා දුටු හොඳම උදාහරණය පතිරාජගේ "බඹරු ඇවිත්" චිත්‍රපටයයි.සරල ජනප්‍රිය සිනමාවේ විජය-මාලනි හොඳම චිත්‍රපටය "තුෂරා" නම් සම්භාව්‍ය සිනමාවේ ඔවුන් ගේ හොඳම චිත්‍රපටය "බඹරු ඇවිත්" යනු මගේ හැඟීමයි. එහි එන, කේමදාසයන් සංගීතවත් කළ "උදුම්බරා" සිංහල සිනමා ගීතයේ මුදුන් මල් කඩක්.


අවාසනාවකට තවමත් මට "පාර දිගේ" (පතිරාජ) සහ "වැලිකතර" (ඩී.බී.නිහාල්සිංහ) සම්පූර්ණයෙන් නරඹන්න හැකිවෙලා නැහැ. ඒවා ගැන අසා, කියවා ඇති දෙයිනුත් බලන්නට ලැබී ඇති කුඩා කොටස් වලිනුත් මට හිතෙන්නේ නැරඹුවානම් ඒවා මේ ලැයිස්තුවට එක්විය හැකි ආකාරයේ නිර්මාණ බවයි.

 .

15 comments:

  1. මගේ ප්‍රියතම සිංහල චිත්‍රපටි
    1. මචං
    2. මාරුතය
    3. සිහින දේශයෙන්
    4. මිල්ලේ සොයා
    5. කර්ම
    6. අක්ෂරය
    7. සමනල සංධ්වනිය
    8. කොළඹ සන්නිය
    9. දොරකඩ මාරාව
    10. සිකුරු හතේ

    තපස් කාලෙකින් , දිගටම ලිව්වනම් හොඳ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ..ස්තූතියි ඉවාන් කමෙන්ටුවට. දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා....

      Delete
  2. [තපස්, සංතෝසයි කාලෙකින් ආවට!]
    මම නං වැඩිය චිත්‍රපටි බැලිල්ලක් නෑ. කොහොම උනත් මගේ එක මචං. කොමඩි නං සිකුරු හතේ!

    ReplyDelete
    Replies
    1. ..හෙලෝ රාජ්, කොහොමද ඉතින්? දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා. "මචං", හොඳම චිත්‍රපටයක්. "සිකුරු හතේ" හොඳ කොමඩියක්. දෙකම අගය කරන්න පුළුවන් නිර්මාණ..

      Delete
  3. නරඹා නැත-

    සප්ත කන්‍යා
    සංකාරා
    සිහින දේශයෙන්
    මිල්ලෙ සොයා

    ගරිල්ලා මාකටිං

    ReplyDelete
    Replies
    1. ..කමෙන්ටුවට ස්තූතියි කශූ. ඔබ වැනි කලාවට ලැදි කෙනෙක් නැරඹිය යුතුම චිත්‍රපටි කීපයක් බවයි මගේ හැඟීම."සප්ත කන්‍යා" කෙසේ වෙතත් අනෙක් හතර..

      Delete
  4. මෙන්න මගේ තේරීම (කැමැත්තේ පිළිවෙලට නොවේ):

    1. අක්කර පහ
    2. වැලි කතර
    3. හතර දෙනාම සූරයෝ
    4. ආදරේ හිතෙනවා දැක්කම
    5. තුෂාරා
    6. පික් පොකට්
    7. සත පනහ
    8. බයිසිකල් හොරා
    9. ඔන්න බබෝ බිල්ලෝ එනවා
    10. වීර පුරන් අප්පු

    ReplyDelete
    Replies
    1. 3,4 සහ 10 ට මමත් ගොඩක් කැමතියි.

      Delete
  5. 10,9.8,4,1 හැර අනිත්ව බලල නැ නේ

    ReplyDelete
    Replies
    1. ඒවා බලන්න වටින නිර්මාණ දමිත්..

      Delete
  6. තපස්, අපි කලින් හමුවෙලා නෑ. අද උඹෙ කමෙන්ට් එක දැකලයි මේ හොයාන ආවෙ.

    එකේ සිට 10 අනුපිළිවෙලක් කියන්න බැරි උනත්, මගේ ප්‍රියතම සිංහල චිත්‍රපට ගොන්නෙන් 10 වෙන්නෙ මෙන්න මේව.

    සප්ත කන්‍යා
    නිධානය
    වැළිකතර
    දඩයම
    සූරිය අරණ
    මචං
    විරාගය
    පාරදිගේ
    බඹරු ඇවිත්
    සරුංගලේ

    ReplyDelete
    Replies
    1. හමුවීම ගැන සතුටුයි මිත්‍රයා.මේ චිත්‍රපට ඔක්කොටම වගේ මමත් කැමතියි. ඔබේ ලිපි කීපයක් කියෙව්වා. සමාන අදහස් තියෙන කෙනෙක් බව පේනවා. :-)

      Delete
  7. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  8. නිධානය සම්පූර්ණ ෆිල්ම් එක බැලුවේ කොහොමද අයියා ?

    ReplyDelete
    Replies
    1. ..සමාවෙන්න හසිත පිළිතුර ප්‍රමාද වූවට. නිධානය චිත්‍රපටය දෙතුන් වතාවක්ම TV එකේ පෙන්නුවා.

      Delete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters