Monday, July 29, 2013

පණ නැති විපක්ෂයේ හුන් පණ ඇති මිනිසාගේ නික්ම යාම





දයාසිරි තීරණය ගන්න ඇත්තේ අනිවාර්යෙන්ම තමන්ගේ දේශපාලන ගමන, දේශපාලන අනාගතය ගැන හිතලා. බලයට එන්නේ නැති විපක්ෂයක තව දුරටත් කාලය නාස්ති කරනවාද කියන ගැටළුව තමයි ඔහුට විසඳා ගන්න තිබුනේ.මේ ඔහුගේ ජනතා ප්‍රසාදයේ හොඳම කාලය. එයින් ප්‍රයෝජනය අරගෙන, වැඩක් කරලා නමක් තියන්න වයඹ මහ ඇමතිකම හොඳ තැනක්.ඒ නිසා ඔහු ගත්ත තීරණය ගැන දොසක් කියන්න බැහැ.


 නමුත් රට ගැන හිතලා මේ සිදුවීම ගැන බැලුවොත් මේ තීරණය වැරදි එකක්. වයඹ මහ ඇමතිකම හරියට කරන්න පුළුවන් අය ( දයාසිරිටත් වඩා ) ඕනෑ තරම් ඉන්නවා. අතුල නිමලසිරි ජයසිංහලා වයඹට වැඩක් කළ, වැඩක් කරන දක්ෂ මිනිස්සු; මාධ්‍ය මඟින් පිම්බුණු චරිත නොවුණාට.ඒ අයට සින්දු කියන්න බැරිද? ලස්සන නැද්ද? කියන එක වෙනම කථාවක් :) .

දයාසිරි මහ ඇමති වුනා කියලා වයඹ ජනතාවට අමුතු කෙංගෙඩියක් ලැබෙන්නේ නැහැ. ඔහු මේක දක්ෂ විදිහට කළොත් ඔහුට ලකුණු ලැබෙනවා හැරෙන්න. මේක වැටිච්ච තැනක් නෙමේ දයාසිරි ඇවිල්ලා ගොඩ දාන්න.



නමුත් අද මිනිස්සු නැත්තේ කාටද? විපක්ෂයට. මේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරන්න, විවේචනය කරන්න, කරුණු සහිතව හොරකම්, දූෂණ හෙළි කරන්න , කොන්දක් තියෙන, කට තියෙන, දක්ෂ , පණ ඇති මිනිසුන්ගේ අඩුවක් තියෙන කාලයක් මේක.යම් මට්ටමකට දයාසිරි ඒ කාර්යභාර්ය ඉෂ්ට කරමින් හිටියා. එයට තව තවත් එකතු වෙනවා වෙනුවට හිටපු මිනිහත් ගියාම??

Tuesday, March 19, 2013

ඇත්ත සිදුහත්....!!!





බුදු දහම නිදහස් චින්තනය අගය කරන දර්ශනයක්.විශ්වාසයෙන් යුතුව ඇදහීමකට වඩා කරුණු නුවණින් විමසා බැලීමට මඟ පෙන්වන්නක්.නමුත් බෞද්ධ වූ පමණින් සෑම කෙනෙක්ම මේ නිදහස් චින්තනයට හුරුවක් නැහැ. සාම්ප්‍රදායිකව එන දෙය ඒ ලෙසටම බාරගන්න අය වැඩියි, තමන් විසින්ම නුවණින් විමසා බලන්න පෙළඹෙන අයට වඩා.

සිදුහත් චරිතය සහ බුද්ධ චරිතය හැදෑරීම කෙනෙකුට විශාල බුද්ධිමය ආස්වාදයක්,ජීවිත අවබෝධයක්, ආදර්ශයක් ගෙනදෙන කාර්යයක්.නමුත් පොත් පත්වල ඇති මේ චරිත කථාවල අඩුපාඩු ගොඩක් තියෙනවා. භක්තිය විසින් එකතු කළ සාහිත්‍යමය කොටස් වලින් නියම චරිත කථාව වැසී ගිහින්. යථාර්තවාදීව සිදුහත් චරිතය දිහා බලන්න, හදාරන්න එය බාධාවක්.

සැබෑවටම සිද්ධාර්ථ ගේ ජීවිත කථාව කෙබඳු වන්නට ඇත්ද? මාටින් වික්‍රමසිංහයන් සිදුහත් චරිතය  නවකථාවකට නැඟුවා. ඒ "බවතරණය". එය නිර්මාණයක්. පැරණි පොත පතේ සඳහන් දේ හදාරා ඒ අනුවත් සිය පරිකල්පනයෙන් මැවූ සිදුවීම් ඇසුරිනුත් වඩා යථාර්තවාදී සිදුහත් චරිතයක්   මාටින් වික්‍රමසිංහයන් විසින් "බවතරණයෙන්" අප වෙත ගෙන එනවා.

මෙය ලියැවී ඇත්තේ 1973 දී. මාටින් වික්‍රමසිංහයන්ගේ අවසන් නවකථාව.ඔහුගේ ලේඛක ජීවිතයේ වඩාත් පරිණත අවදියකදී තමයි ඔහු මේ බැරෑරුම් කාර්යයට අත ගසන්නේ.



මේ මාටින් වික්‍රමසිංහයන් ලියූ පෙරවදනින්...

"රහත් බව ලැබූ තෙරුන් අතර කැත්, බමුණු කුලවල ජනයා පමණක් නොව සැඬොලුන්, දාසයන් හා අපරාධකාරයන්ද වූ බව ථෙර ගාථාවලින් හා සූත්‍ර දේශනාවලින් හෙළිවෙයි. බුදුන්ගේ දහම නිසා පොදු ජනකාය අතර පිබිදුමක් හා විප්ලවයක්ද ඇතිවිය. සිදුහත් ගිහිගෙය හැරගියේ උපත,ජරාව, මරණය නිසා හටගත් කළකිරීමෙන් තමාගේ ආත්මය ගලවා ගැනීමට නොවන බව එයින් හෙළිවෙයි.කුලබේදය හා අසමාන සමාජ ජීවිතය ද නිසා අපමණ දුක් පීඩා විඳිමින් ජීවත්වන ජනකායට එකසේ උචිත මාර්ගයක් සොයනු පිණිස සිදුහත් ගිහිගෙය හැරගිය බවද මේ නවකථාවෙන් හෙළි කරන්නට මම වෑයම් කළෙමි."


------------------------------------------------------------------


මේ නිර්මාණයේදී යසෝදරා සහ සිදුහත් අතර වන අවබෝධය වඩාත් ගැඹුරු දෘෂ්ටියකින් විවරණය වෙනවා.

යසෝදරා නින්දෙන් අවදි වූ රහල් කුමරා වඩාගෙන සිප අනතුරුව කුඩා මවගේ දෝතෙහි තැබුවාය.

"පියා පුතාත් අම්මාත් හැර වල් වදින්ට යනවා" යි කියමින් ගෝතමී, සිනාසෙන බිළිඳාගේ කම්මුල සිම්බාය.


"පුතා ටිකක් ලොකු නම් පුතාත් එක්ක මමත් පියා සමඟ තපසට යනවා" කියමින් යසෝදරා සිනාසුණාය.

"අම්මා තමයි පියාට අනුබල දෙන්නේ" කියමින් ගෝතමී යසෝදරාව දෙස බැලුවේ අමනාපයෙනි.

"කුඩම්මා සිදුහත් සමඟ තුන් හතර දවසක් කථා කළහොත් ඔය අදහස් වෙනස් කරගනීවි" යි යසෝදරා කීවාය.


----------------------------------------------------------------------------

  අකුරැටියේ අමරවංශ හිමියන් පොත වෙනුවෙන් ලියූ පසුවදන...

"සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසී භාෂාවලින් ලියූ බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹු වන අයුරු ලියා තිබීම ආශ්චර්යජනකය.
         බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්ටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින් සුදුසුය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන් ඇතිකළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නෙකුට උගත හැකිය."

----------------------------------------------------------------------------- 

අහසේ සක්මන් කරමින්, නාසයෙන් කටින් ඇඟෙන් ජල කඳ ගිනිකඳ පිට කිරීම් වැනි  සිදුවීම්වලින් බුදුන්වහන්සේගේ ජීවිත කථාව පුරවා උන් වහන්සේ දෙවියෙකු, ඊශ්වරයෙකු කරන්නට තැත්දැරීම උන් වහන්සේට කරන නිගාවක්. 

 වඩාත් යථාර්තවාදීව බුදුන් වහන්සේව හඳුනා ගැනීම, ඇදහීමෙන් ඔබ්බට ගොස්, එතුමන්ගේ දර්ශනය වඩාත් ගැඹුරින් හැදෑරීමට අපට පෙළඹවීමක් ඇති කරනවා.

 

Monday, January 28, 2013

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ සදානුස්මරණීය "නිෂ්මි" ගැන මතකයෙන් බිඳක්...



විශ්ව විද්‍යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහෝදර සගයන් අතරේ පිළිගත් නායකයෙක් වන්නටත් කෙනෙකුට හොඳ පෞර්ෂයක් තිබිය යුතු වෙනවා. විශ්ව විද්‍යාලවල දේශපාලනය යන්න බොහෝවිට විවේචනයට ලක්වන්නක් වුණත් බොහෝ සිසුන් තම නායකත්ව ගුණාංග ඔප මට්ටම් කරගන්නේ මේ ක්‍රියාකාරකම් හරහා.

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් ඉහළ නායකත්ව කුසලතා ඇති නායකයන් බොහෝ ගණනක් බිහිකර තිබෙනවා. ඒ නායකයන් අතර ඉහළින්ම කියවෙන නමක් තමයි "නිෂ්මි"....

80 දශකයේ අග භාගයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් නායකයෙක් ලෙස මතුවුණු නිෂ්මි ඒ යුගයේ ස්වාභාවය අනුව "ජෙප්පෙක්" බව ඇත්ත. නමුත් අවුරුදු විසි ගණනකට පස්සේ අපි ආපහු හැරී බලා ඔහු කළ දේශපාලනය හරිද වැරදිද කියා විග්‍රහ කරනවා වෙනුවට මේ තරුණයා පෑ අසාමාන්‍ය නායකත්ව කුසලතාව හා විදහා පෑ අසාමාන්‍ය පෞර්ෂය විග්‍රහ කරගැනීමේ වටිනාකමක් තියෙනවා.


අද වෙනවිට නිෂ්මි ජීවතුන් අතර නැහැ. 88-89 ධවල භීෂණයේදී ඔහු ඝාතනයට ලක්වුණා.

ඔහු ඇසුරු කළ සගයන් එක්ව ඔහු ගැන මතකයන් එක් රැස් කර පොතක් නිර්මාණය කර තිබෙනවා. ඒ "සැඩ සුළඟ සහ මඳ පවන " නමින්. එයට ඔහුත් සමඟ විශ්ව විද්‍යාලයේ සිටි සගයන්, එක්ව දේශපාලනය කළවුන්, විරුද්ධව දේශපාලනය කළවුන්, එකල විශ්ව විද්‍යාලයේ සිටි උප කුලපති මහාචාර්ය අර්ජුන අළුවිහාරේ, ඔහුව මුණගැසී තිබූ ඉහළ හමුදා නිළධාරියෙක් වැනි බොහෝ පිරිසක් ඔහු ගැන සිය මතකයන් හා අදහස් එක්කර තිබුණා.

මේ ඒ පොතේ ඔහු ගැන සඳහන් මතකයන්ගෙන් බිඳක්.


"දැඩි මානුෂීය බවද, කැපී පෙනීමේ උද්ධච්ඡ අදහස් වෙනුවට නිහතමානී නායකත්ව ලක්ෂණද, දැඩි සහෝදර බැඳීමද ඔහු වෙත නොඅඩුව පැවතුණි."....

......"එවකට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිව සිටි මහාචාර්ය අර්ජුන අළුවිහාරේ මහතාගේ ගෞරවාදරයට නිෂ්මි පත්වීමේ හේතුවද, ඔහු සතු තාර්කික හැකියාව සහ අව්‍යාජ නායකත්ව කුසලතාව විය".. 

"නිෂ්මි ශිෂ්‍යන් අතර ජනප්‍රිය ම හා නිර්මාණශීලී ම නායකයා බවට පත්විය.මෙහිදී අනෙක් නායකයන්ට වඩා ඔහු තුළ පැවති සුවිශේෂිම දක්ෂතාවය වූයේ හා කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඔහුගේ තාර්කික හැකියාවයි. ඔහු ඉදිරියේ දී කුමන මතවාදයක අයෙකුට වුව තම මතය ජයගැනීමට හැකියාවක් තිබුණේ නැත.ඔවුහු සෑම විටම මෙන් ඔහු ඉදිරියේ නිරුත්තර වූහ. දේශපාලන වශයෙන් ඔහු හා විරුද්ධ වූ අය පවා නිෂ්මි නිවැරදි අයකු ලෙසද, ඔහු තම ගෞරවනීය නායකයා ලෙසද පිළිගත්හ." ( නිමල් කරුණාසිරි - ආයුර්වේද කොමසාරිස්- බස්නාහිර පළාත් සභාව )

--------------------------------------------------

"නිෂ්මි රෑ එක දෙක වෙනතුරු වැඩ කරලා නිදා ගන්න අක්බාර් නෙල් ශාලාවට එනවා. ඔය වෙලාවට කොල්ලෝ ඒ කාමරේ උඩින් තියෙන හිලෙන් එල්ලිලා එබිලා බලනවා නිෂ්මි ඇවිත්ද කියලා. ඇවිත් නිදි කියලා දැනගත්තොත් ඒ ආරංචිය ඉක්මනට විසිරෙනවා. ඒක යන්නේ රහසින් කෙඳිරීම් වලින්. "නිෂ්මි ඇවිත්. සද්ද කරන්න එපා". මුළු ශාලාවම නිහඬ වෙනවා. හරියට මුළු ශාලාවම  මීයට පිම්බා වගෙයි".............................(අයි.පී.ෂෙල්ටන්)

ඒ ඔහුට සහෝදර සිසුන් අතර තිබුණු ආදරය සහ ගෞරවය...
-----------------------------

"එක වරක් නිෂ්මිගේ බැච් එකේ හිටි විකොස (විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය) දේශපාලනය දැරූ සගයෙක් නුවරදී නිෂ්මිට මුණ ගැසුණ. ඒ වෙලාවේ ඔහු අහක බලා ගත්තා. නිෂ්මි ගොස් ඔහුට කථා කළා, පිටට තට්ටු කරමින්. එතකොට ඔහු කිව්වා "අපි අතරේ දේශපාලන ගනුදෙනු නෑ" කියලා. නිෂ්මි එතකොට කිව්වේ  "මම මේ ආවේ දේශපාලන ගනුදෙනුවකට නෙවෙයි, උඹ මගේ බැචා හින්දා කථා කරලා යන්න" කියලා"....(අයි.පී.ෂෙල්ටන්)

                                                                                             -

------------------------------

පරිපාලනය ඉදිරියේ පෑ පෞර්ෂය..

"ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයේ කිසිම අයෙක් නොකළ විදිහට පරිපාලනය තමන්ගේ ග්‍රහණයට ගන්නට ඔහුට හැකි වුණා. ඔහු සමහරවිට ඔවුන්ට මූණට බැන්නා. නමුත් ඔහු මිය ගිය විට ඇඬුවේත් ඔවුන්. එය එසේ වූයේ ඔහුගේ වූ සුවිශේෂි ගුණය නිසායි. පුද්ගල ඇසුර ගොඩනඟා ගත් අයුර නිසායි. දැඩි විදිහේ ඝට්ටනවලට ගියා. ඔවුන් විසින් ම නිෂ්මිව ආරක්ෂා කළා. කොයිම මොහොතක හෝ පරිපාලකයින් නිෂ්මිව පාවා දෙනු මම දැකලා නැහැ.ඔවුන් වෙන අයව පාවා දෙන්නට ඇති. නමුත් නිෂ්මි පාවා දෙන්නට ඔවුන් දෙවරක් කල්පනා කළා."  (කුමුදු බණ්ඩාර-වෛද්‍ය)


                                                                             

----------------------------------------------
විශ්ව විද්‍යාලය තුළදී ශිෂ්‍ය නායකයන් හා සංවාදයක නිරත වන්නට එකළ මධ්‍යම පළාත භාර ආඥාපති බ්‍රිගේඩියර් රංජන් ද සිල්වා මහතාට අවස්ථාවක් ලැබී තිබුණා. ඒ සංවාදය ගැන ඔහුගේ මතකය ඔහු පළකර තිබෙන්නේ මෙලෙස...

"මා සමඟ සංවාදයට පැමිණියේ නිෂ්මි. නිෂ්මි ඉතාමත් ලස්සනට තමන්ගේ කරුණු ගොනුකොට තර්ක කළා. වාදය ගියේ ඉතා උසස් ආකාරයකින්.ඉතා දියුණු ආකාරයකින්. ඔහු මුළු වාදය පුරාම හැසිරුණේ ඉතාම බුද්ධිමත් අයෙක් ලෙස.ඉතාම ලස්සනට තර්ක ඉදිරිපත් කළා. අතරමැදින් පැනීම් කළේ නැහැ.බාධා කළේ නැහැ.ඇත්තටම මගෙ හිතේ ඔහු ගැන ප්‍රශංසාවක්, ගෞරවයක් ඇතිවුණා." ( බ්‍රිගේඩියර් රංජන් ද සිල්වා )


------------------------------------

"දේශපාලන වශයෙන් පමණක් නොවෙයි. සෑම මිනිසෙකුම මිතුරකු වශයෙන්, සහෝදරයකු වශයෙන් ඔහු දිනාගත්තා."  (මැතිව් ප්‍රනාන්දු-පශු වෛද්‍ය )

============================================================

අද නිෂ්මි නමින් පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ නේවාසිකාගාරයක් නම් කර තිබෙනවා.ඔහු ගැන පුරාවෘතය අලුත් සිසුන්ට අහන්නට ලැබෙනවා. සැබෑ නායකයන්, යුක්ති ගරුක මිනිසුන් ලෙස ගොඩ නැඟෙන්නට එය ඔවුන්ට ධෛර්ය සපයනවා. ඔහු ගැන සම්පූර්ණ මතක සටහනක් ගොඩ නඟන්නට කැපවූ මේ පොතේ සම්පාදකයන්ට සහ එයට දායක වූ සැමට අපගේ ස්තුතිය හිමිවෙනවා.

  

-------------------------------------------------------------

[මේ පොත සම්පාදනය සහ සංස්කරණය කර ඇත්තේ මහින්ද සෙනරත් ගමගේ සහ අනිල් ජයරත්න යන මහත්වරුන්.
නිෂ්මිගේ ඡායාරූපය ගත්තේ මෙතනින්.http://www.arunalla.tk/
ඒ වෙනුවෙන් ස්තූතිය:අරුණැල්ල ලියන රැංගෝට.]

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters