Monday, May 14, 2012

විසි වසරකට පසු.....





 වර්ෂය 1992........

එය රණසිංහ ප්‍රේමදාස විසින් මේ රට පාලනය කළ යුගයයි. තමන් "වන් මෑන් ෂෝ" පාලකයෙක් බව ප්‍රසිද්ධියේ පැවසූ ප්‍රේමදාස අනෙකුත් සියළු මැති ඇමැත්තන් නිකමුන් ලෙස තබාගෙන ඒකාධිපති, අත්තනෝමතික සහ මර්දනකාරී පාලනයක් පවත්වාගෙන ගියේය.

ජේවීපී භීෂණය අවසන් වී තිබුනද, රාජ්‍ය භීෂණය නැවතී නොතිබුණි.ආණ්ඩුවට විරුද්ධව කට ඇරීමට පවා මිනිසුන් බියවූහ. නිල නොලත් රාජ්‍ය මැර හමුදාවලින් පැහැර ගැනීමට හෝ ඝාතනයට ලක්වීම විරෝධය පෑම්වලට ලැබෙන ප්‍රතිචාරය විය.
 
රිචඩ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණි.

ඒ.ජේ. රණසිංහ බඳු ජනපති සුරතලුන් "ජනාධිපතිගේ සෙරෙප්පු සුප් පවා බොන්නෙමි" යි වාචාලකම් දොඩමින් හිතූ හිතූ ලෙසින් පිස්සු නටමින් සිටියෝය.

ඒ අතර ප්‍රේමදාස පුත් සජිත් රාජ්‍ය බලය යොදා ගනිමින් රට පුරා නිධන් හාරන බවට කටකථාද පැතිරෙන්නට වී

රටේ යම් යම් සංවර්ධන වැඩ කටයුතු නොකෙරුණේ යැයි පැවසිය නොහැකි මුත් මිනිසුන් බියපත් කරගෙන පාලනය ගෙනයමින් කරන සංවර්ධනය කෙරෙහි ජනතාවගේ ප්‍රසාදයක් නම් නොවීය.


සාමාන්‍ය ජනතාවට පමණක් නොව විපක්ෂයේ ප්‍රබල තනතුරු හිමිකරගෙන සිටි දේශපාලන නායකයන් කියා ගත්තවුනටද මේ තත්වයට එරෙහි වීමට නිර්භීතකමක් නොතිබුණි. විපක්ෂයේ බල බිඳී තිබුණි. ඔවුන්, ඔවුනොවුන් අතර බල අරගලයේ නිරතව සිටියහ.







 ඒ මොහොතේදී සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොබියව ඉදිරියට පැමිණියේය.සැබෑ නායකයන්ට වැඩ කිරීමට, ප්‍රබල තනතුරු අනවශ්‍ය බැව් ඔහු ඔප්පු කළේය.විපක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් වූ බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, ඒකාධිපතිවාදයට හා රාජ්‍ය භීෂණයට එරෙහි ජනතා විරෝධය කුළු ගැන්වීමට  කතරගම පාද යාත්‍රාව සංවිධානය කිරීමට පෙරමුණ ගත්තේය.

1992 මාර්තු 16 දා කොළඹින් ඇරඹි පාද යාත්‍රාව දින 19 ක් ගමන්කර කතරගම ට පැමිණියේය.රාජ්‍ය මර්දනයට විරෝධය පෑම පාද යාත්‍රාවේ ප්‍රධානම සටන් පාඨය විය.

එය ජනතාව පිබිදවීය. බියපත්වී, මුළුගැන්වී සිටි සාමාන්‍ය ජනතාවගේ බිය දුරුකර ඔවුන්ගේ විරෝධය එළිපිට ප්‍රකාශ කිරීමට, පාරට බැසීමට තරම් නිර්භීතබවක් ඔවුන්ට එන්නත් කළේය.


විය යුතු පරිද්දෙන්ම මේ නිර්භීත නායකත්ව භූමිකාව හේතුවෙන්, ප්‍රාදේශීය නායකත්ව භූමිකාව ඉක්මවා ජාතික මට්ටමේ නායකයෙක් ලෙස ජනතාව අතර පිළිගැනීම ලැබීමට බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සමත් විය.

ප්‍රබල යූ.ඇන්.පී ආණ්ඩුවට එරෙහි ජන පෙළ ගැස්මේ ඇරඹුම එය විය.....



 -------------------------------------------------------------------------------------------
 වර්ෂය 2012........




 "ඉතිහාසය චක්‍රීය" යැයි කවුදෝ පඬිවරයෙක් කියා ඇත.


1992 සහ 2012 සංසන්දනය ඔබට බාරය. 
 
ප්‍රේමදාස පාලනය තරම් දුරකට මහින්ද පාලනය ගොස් නැතැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.
 
ප්‍රේමදාස සතු නොවූ පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ද, 
ජනපති ධූරය දැරීමට හැකි වාර ගණන දෙකක් දක්වා වූ සීමාව ඉවත් කරගෙන තිබීමද ,
දේශපාලන බලය සියළු අතින් මිටි කරගත් පවුලක ශක්තියද සැලකූ විට
මහින්දගේ බලය ප්‍රේමදාසගේ බලය ඉක්මවා යන්නකි. 



ශ්වේත වර්ණ වෑන්,
බල රහිත කෙරුණු මැති ඇමති නිකමුන්,  
එක්නැළිගොඩ බඳු අතුරුදන් වන මාධ්‍යවේදීන්,
හඬක් නැති, බල බිඳුණු විපක්ෂය, 
මර්වින් බඳු ජනපති සුරතලුන්ගේ අමන ක්‍රියා වලට අමතරව
දැන් නිදන් හෑරීමත්...


වසර 20 කට පසු අප සිටින්නේ යළිත් පාද යාත්‍රාවක් අවශ්‍ය පසුබිමකද?


 

Wednesday, May 9, 2012

හිරුණිකාගේ සෙල්ලම් තව කොච්චර කාලෙකටද?


පරණ හිංදි ෆිල්ම් වල සුලභ කථා තේමාවක් තමයි තම පියා මැරූ දුෂ්ටයාගෙන් පළිගැනීමට සටන් වදින වීරයාගේ කථාව. ඒ උනත් වීරයෙක් වෙනුවට වීරවරියක් ඉන්න කථානම් මට බලන්න ලැබිලා නැහැ. ඒත් ලංකාවේ දේශපාලනයේ වර්තමානයේ රඟ දැක්වෙන හිරුණිකා-දුමින්ද කථාන්දරෙන් ඒ අඩුව යම් තරමකට මඟ හැරෙන බවක් පේන්න තියෙනවා.
   
ධන බලය, මැර බලය, දේශපාලන බලය හැම එකක්ම තියෙන දුමින්ද සිල්වාට දුෂ්ටයාගේ චරිතය සඳහා හැම සුදුසුකමක්ම තියෙනවා. ඒ වගේම හිරුණිකාට ආකර්ශනීය රුවක් තියෙන එකත් මේක හිංදි ෆිල්ම් එකක් වගේ දකින්න හොඳ හේතුවක් සපයනවා.

දුමින්ද සිල්වා මීට කලිනුත් දුෂ්ටයාගේ චරිතය රඟපාපු අවස්ථා තියෙනවා. ඒ වෙලාවේ කෙල්ලගේ චරිතය කළේ අනර්කලී. අනර්කලී ඔහු හා අමනාපව ඔහුගෙන් ඉවත් වූ විට ඔහු සිය පිරිවර සමඟ ආයුධ සන්නද්ධව ඇගේ නිවසට  පැමිණ හැසිරුණු ආකාරය ඇය පුවත්පතකට විස්තර කර තිබුණේ "හරියට ෆිල්ම් එකක විලන් කෙනෙක් වගේ" කියලා.

හිංදි චිත්‍රපටනම් අවසාන වුනේ දුෂ්ටයා පරාජය වී සාධාරණය ජය ගැනීමෙන්. නමුත් හිරුණිකා-දුමින්ද කථාව හිංදි චිත්‍රපටයක් නොවන බව අපට මතක් කර දෙන්න එහි අවසානයට පුළුවන් වේවි.

            =============================================== 

පාඨලී චම්පික රණවක තමන්ගේ "පටිසෝතගාමීව තිස් වසක්" පොතේ සඳහන් කරනවා; දේශපාලනයේදී "මාධ්‍ය බුබුළු" වල වැදගත්කම. කාලය, මුදල්, ශ්‍රමය වැය කරමින් බොහෝ කැපවීමෙන් කරන සංවිධාන කටයුතු ඉක්මවා; මාධ්‍යය ආකර්ශනය හිමිවන සිද්ධිවලින් ජනතා අවධානය ලබාගැනීම කොතරම් ප්‍රබලව සිදුවෙනවාද යන්න ඔහු එහිදී විස්තර කරනවා.

කොළොන්නාව ප්‍රදේශය මූලික කර ගනිමින් 80 දශකයේ ආරම්භයේ පමණ සිට දේශපාලනයේ යෙදුණු භාරත ලක්ෂ්මන් ශ්‍රීලනිපය තුළ යම් මට්ටමකට ප්‍රබල චරිතයක් වුවත්, ජාතික මට්ටමේ අවධානයට ඔහු වැඩිපුර ලක්වූයේ යැයි පැවසීම අසීරුය. එසේ වුව ඔහුගේ ඝාතනයෙන් පසුව ගතවූ මාස 7 ක පමණ කාලය තුළ ඔහුගේ දියණිය, සිය පියා ඉක්මවා යමින් ජාතික මට්ටමේ අවධානයක් ලබන්නේ චම්පිකගේ වචනවලින් කියන්නේ නම් "මාධ්‍ය බුබුළක්" ලෙස මාධ්‍යයේ අවධානය ලබා ගන්නට සමත්වීම නිසාය.


ඒ එසේ වුව සුරූපී බව පමණක් සුදුසුකම් කරගත් අනර්කලී ආකර්ශා සහ උපේක්ෂා ස්වර්ණමාලී වැනි වර්තමාන "දේශපාලන නායිකාවන්" දෙස බලන විට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිටින්නේ ගව් ගණනක් ඉදිරියෙනි. ජනතා ආකර්ශනයට ඉවහල් වන "රූමත්කමට" අමතරව උගත්කමද දේශපාලනික දැනුමද කථිකත්වයද නිර්භීතකමද ආදී නායකත්ව සුදුසුකම් ප්‍රමාණවත් මට්ටමකින් තමන්ට ඇති බව ඇය පසුගිය කෙටි කාලය තුල පෙන්නුම් කළාය. කාන්තා නියෝජනය ප්‍රමාණවත් මට්ටමක නැති දකුණු ආසියානු දේශපාලනය තර්කයක් කර ගනිමින් අනර්කලීගේ සහ "පබා"ගේ දේශපාලන නායකත්වයන් සාධාරණීකරණය කළ අයට, දැන් ඔවුන්ට වඩා ඒ සඳහා සුදුසුකම් ඇත්තියක් ලෙස හිරුණිකා පිළි ගැනීමට සිදුවෙයි.

ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීමකදී, ජනතා කෝපය ඇවිලෙන සිදුවීමකදී, "කල් මැරීමේ" උපක්‍රමයෙන්, සිදුවීම ජනතාවට අමතක වන තුරු සිටීම නිරන්තරයෙන් භාවිතා වෙන උපක්‍රමයයි. සිදුවීමෙන් කලකට පසුව එළියට බසින දේශපාලඥයා නැවත සුපුරුදු හැසිරීම අරඹයි. මර්වින් සිල්වා සම්බන්ධයෙන් කීප වරකදීම සාර්ථකව මේ ක්‍රමය අත්හදා බැලිණි.ඒ අර්ථයෙන් ගත්විට, ඇත්තෙන්ම මාස 7 කට පසුව භාරත ඝාතන සිදුවීම ජනතාවට අමතකව යා යුතුව තිබුණකි.නමුත් එය එසේ නොවී ඇත්තේ හිරුණිකාගේ නිරන්තර හඬ නැඟීම නිසාය. එසේ නොවුනේ නම්, දුමින්ද සිල්වාට මේ වනවිට සිංගප්පූරුවේ සිට පැමිණ නැවත සුපුරුදු සෙල්ලම් පෑමට සහ නියෝජ්‍ය ඇමති ධූරයකින් පිදුම් ලැබීමටද අවස්ථාව සැකසී හමාරය. නමුත් මේ " නාහෙට නාහන" කෙල්ල නිසා එයට තවත් " කාලය" අවශ්‍යය වනු ඇත.


ඇගේ අනාගත දේශපාලන භූමිකාව තීරණය වනු ඇත්තේ භාරත නඩුවේ තීන්දුව මතය. ඇගේ අරමුණ දුමින්ද සිල්වා දඬුවම් ලබනු දැකීම බව පැහැදිලිය.නමුත් එය එසේ වීමට ඇති ඉඩකඩ අඩු බව පෙනෙන්නට තිබෙන කාරණයයි. දුමින්ද සිල්වා මෙම නඩුවේ වග උත්තරකරුවෙක් ලෙස නම් කෙරුණේ නඩුව ඇරඹී මාස කීපයකට පසුව වන අතර මේ වනවිට ඔහුද මේ සිදුවීමෙන් අගතියට පත්වූවෙකු ලෙස නම් කෙරී ඇත.මෙවැනි සිදුවීම් වලින් පෙනෙන්නේ ඇය බලාපොරොත්තු වන මට්ටමේ තීන්දුවක් ලැබීමට ඇති ඉඩකඩ අවම වන බවය. එදිනට ඇය කරන්නේ කුමක්ද?

තම පියාට නීතියෙන් සාධාරණය ඉටු නොවුණහොත් ජනතාව සමඟ පාරට බසින බව ඇය ප්‍රකාශ කර තිබුණි. නමුත් උසාවි තීන්දුවකට එරෙහිව පාරට බැසීමෙන් කල හැකි කෙංගෙඩියක් නැත.

ඇගේ එකම දේශපාලන ප්‍රකාශනය, පියාගේ ඝාතනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා පෙනී සිටීම පමණක්ම නම්, ඇයට ජනතාව සමඟ යා හැකි දේශපාලන ගමනක් නැත. මේ වෙනුවෙන් යම් හිතවතුන් කොටසක් ඇය සමඟ සිටිනු හැකි වුවද සාමාන්‍ය පොදු ජනතාව දිගින් දිගටම ඒ කාරණය වෙනුවෙන් ඈ පසුපස ඒ යැයි සිතිය නොහැක.

එක්කෝ ඇයට වන්නේ නිහඬ වීමටය. ඒ වෙනුවෙන් බොහෝ බලපෑම් දැනටමත් ඇයට එල්ල වනවා ඇත.තර්ජන, බිය ගැන්වීම් වලට අමතරව උපක්‍රමිකව ඇය නිහඬ කරලීමටද බොහෝ කටයුතු තිරයෙන් පසුපස ක්‍රියාත්මක නොවන්නට හේතුවක් නැත.දැනටමත් ඇගේ මව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තනතුරක් ලබාගෙන ඇත.මව සහ සොයුරා වෙනුවෙන් මෙය ඉවසීමට ඇයට සිදුව තිබේ. එබැවින් මව සහ සොයුරා වෙනුවෙන් නිහඬ වන්නටද ඇයට සිදු වුවහොත් එයට පුදුම වන්නට දෙයක් නැත.

අනෙක් අතට ශ්‍රීලමප ය හරහා දේශපාලන ගමනකට අවස්ථාව ලබාදීම මඟින් තමන්ට හානි නොවන තැනක ඇයව තබා ගැනීමද ආණ්ඩුව පැත්තෙන් හොඳ උපක්‍රමයකි. ඇය ලබන මාධ්‍ය අවධානය ක්‍රමයෙන් අහිමි වනදාට ඇගේ එම ගමනේ අවසානය උදාවනු ඇත.

එසේත් නැත්නම් ඇයට ඇති හොඳම විකල්පය කුමක්ද? ලැබූ ජනතා සහ මාධ්‍ය අවධානය උපයෝගී කර ගනිමින් වඩා පුළුල් දේශපාලන භූමිකාවකට ප්‍රවිශ්ට වන්නටය. ශ්‍රීලමප ය වැනි ආණ්ඩුවේ මුක්කුවකට එක්වීමෙන් ඇයට කළ හැකි කෙංගෙඩියක් නොමැති බව ඇය වටහා ගත යුතුව ඇත.


ඇයට වූ අසාධාරණය, රටේ නීතිය ක්‍රියාත්මක නොවීම ගැන හඬ නැඟූ ඇයට, එවන් හඬක් නැඟිය නොහැකි, එවන් සිවිල් බලයක් නොමැති අසාධාරණයට ලක්වූ අය වෙනුවෙනුත් හඬ නැඟිය හැකි නම්....හලාවත මියගිය ධීවරයාගේ දියණිය, සැමියා අතුරුදන්ව අසරණ වූ එක්නැලිගොඩ බිරිඳ ගැන ඇයට කථා කළ හැකිනම්.....පෞද්ගලිකව පමණක් නොව පොදුවේ අයුක්තියට, අසාධාරණයට, අවනීතිය රජ කිරීමට එරෙහිව හඬක් නැඟිය හැකිනම්....ඇය ධෛර්ය සම්පන්න, පුළුල් දැක්මක් ඇති දේශපාලන නායිකාවක ලෙස ජනතාව අතර පිළිගැනීමට ලක්වීම වැළැක්විය නොහැකි වනු ඇත...

Thursday, May 3, 2012

දෛවයේ සරදමට ලක්වූ අවාසනාවන්ත නායකයා...."ශ්‍රීමත්" රණසිංහ ප්‍රේමදාස...





"ප්‍රේමදාස මහත්තයා" ගැන මට දැනෙන්නේ එක්තරා විදිහක අනුකම්පාවක්. ඔහු දේශපාලන ගමන අරඹන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු තියාගෙන වෙන්න ඇත්ද? ඔහුගේ වැනි පසුබිමකින් ආව කෙනෙක් රටේ ඉහළම තැනට පත්වීමේ  ඉලක්කයක් තියාගන්නවා කියන එකම කොයි තරම් ධෛර්යවන්ත සිහිනයක්ද?

ඒ වගේම එයා තමන් තනතුරින් ඉහළ නැඟීම ගැන විතරක් සිහින මැව්වේ නැහැ.මේ රට දියුණු කරන්න, දුප්පත්, අහිංසක මිනිස්සුන්ට ඇත්තටම සේවයක් කරන්න ඔහු සිහින මැව්වා. ඒ සිහින සැබෑ කරගැනීම වෙනුවෙන් අසීමිත ලෙස වෙහෙස මහන්සි වෙලා වැඩ කළා.


ඔහුගේ වෙහෙස මහන්සිය, කැපවීම දශක ගණනාවක් තිස්සේ විහිදුනා.කථිකත්වය, සංවිධාන ශක්තිය,උපායශීලීත්වය, දක්ෂයන්ගෙන් වැඩ ගැනීමේ කලාව වගේ නායකත්ව ලක්ෂණ ඔහු උපරිමයටම ප්‍රගුණ කළා.

රට පුරා නිවාස හදපු මිනිසා....දහස් ගණනකට රැකියා දුන් මිනිසා...දුප්පතුන්ට ජනසවිය දුන් මිනිසා...ඔහු කළ තරම් වැඩ කළ දේශපාලන නායකයෙක් ලංකාවේ තවත් සිටියේද???

80 දශකයේ මුල භාගය දක්වාම මිනිස්සු ඔහුට ආදරය කළා.අගමැති ප්‍රේමදාස පොදු ජනයාගේ මිනිහෙක් ලෙසයි හැඳින්වුනේ.

නමුත් අවසන් වසර කීපය තුල දෛවය විසින් ඔහුව ඇදගෙන ගියේ කවර නම් දිශාවකටද? අවසානයේ ඔහු කොයි තරම් ජනතාවගේ පිළිකුලට භාජනය වී සිටියාද? පක්ෂ භේදයකින් තොරව ඔහුට ආදරය කළ මිනිසුන්ම අවසානයේදී පක්ෂ භේදයකින් තොරව ඔහුට වෛර කළා.පිළිකුල් කළා.





එසේ වූයේ ඇයි? ජේවීපී භීෂණය පරාජය කරන්න භීෂණ ක්‍රියා මාර්ගයම තෝරා ගන්න ඔහුට සිදුවුනා සේම ජේවීපී නිමාවෙන් පසුවද රාජ්‍ය භීෂණය සිය පැවැත්ම වෙනුවෙන් යොදා ගන්න ඔහු පෙළඹුනා.බලය පවත්වා ගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීමේදී ඔහු වියරු මිනිසෙක් බවට පත්වී සිටියා.අධිකතර හීනමානයකින් පෙලුනා.ලෝරන්ස් මාෆියාවෙන් රටක් බියපත් කළා.


එල්.ටී.ටී.ඊ ක්‍රියාත්මක ඒ යුගයේදී,  බෝම්බයකින් මියයාමට සිදුවීම ඒ තරම් කණගාටුවට කරුණක් නෙමෙයි, .නමුත් දශක ගණනාවක් තිස්සේ ඔහු වෙහෙස මහන්සි වී වැඩ කළ රටේ ජනතාවම ඔහුගේ මරණයෙන් උද්දාමව කිරිබත් කමින්, රතිඥ්ඥා පත්තු කරමින් සතුටු වන්නට සැලැස්වීම නම් දෛවයේ අකරුණාවන්ත සරදමක්.


මේ තරම් දක්ෂකම් ඔහුට උරුම කළ දෛවයම, ඔහුව මේ තරම් දුෂ්ටයෙක් බවට පත්කිරීම කොයිතරම් නම් අවාසනාවක්ද???




Popular Posts - Last 30 Days