Sunday, October 21, 2012

"සංකාරා" ගෙනා ප්‍රසන්න ජයකොඩිගෙන් "කර්ම"...


ප්‍රසන්න ජයකොඩිගේ අලුත් සිනමා පටය පිළිබඳව ප්‍රචාරක පෝස්ටරයක් හදිස්සියේ නෙත ගැටුණි. ඉතින් "සංකාරා" මතකයට ඒම පිළිබඳව අමුතුවෙන් කිව යුතුද? අපූර්ව වූ රසයක් විඳි "සංකාරා" නිර්මාණය කළ ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයක් නම් නැරඹීමට දෙවරක් සිතිය යුතුද? එනිසාවෙන් අද හවස රීගල් සිනමා හලට ගොඩ වැදුනේ "කර්ම" විඳ ගන්නටය.




ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා ඉහළය."හොඳ සිංහල චිත්‍රපට" නරඹන්නට ඇත්තටම ලංකාවේ විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිති."සංකාරා" තුළින් ප්‍රසන්න ජයකොඩි ඇති කරගත් ප්‍රතිරූපය මෙයට ප්‍රේක්ෂකයන් ඇදගන්නට උත්තේජනයක් සපයන්නටද ඇත.

නමුත් මෙය ලියවෙන්නේ අසතුටෙනි. "කර්ම" නැරඹීමෙන් "හොඳ නිර්මාණයක් රස විඳීමේ" මගේ බලාපොරොත්තුව කඩවිය.[අවංකවම මෙය මගේ රස වින්දනයේ අඩුවක් විය හැක.තව කෙනෙකුට මෙය උසස් නිර්මාණයක් විය හැක. නමුත් මා ලියන්නේ මට හැඟුණු දෙයයි.]

මෙය "බලහත්කාරයෙන් සම්භාව්‍ය " කිරීමට තැත් දැරූ නිර්මාණයක් බවයි මටනම් හැඟුනේ. 




අඩු දෙබසින් යුතුව, රූප වලින් කථාව කීම ප්‍රසන්න ජයකොඩිගේ සිනමාව බව අපි "සංකාරා" හිදී අත් දැක්කෙමු.නමුත් එය මෙහිදී අපූර්වත්වය මවනු වෙනුවට "බොරු සම්භාව්‍ය" බවක් මවයි. 

මේ කථාව වුව ඇඟට දැනෙන ගතියක් නැත. අහසේ පාවෙන, හුදෙකලා, මුල් නැති, ඕපපාතික වැනි වදන්
භාවිතා වෙන්නේ මෙවන් නිර්මාණ වලට යැයි සිතමි.

නමුත් මෙය අගය කළ හැකි දෙයක් ඇත්තේම නැති වර්ගයේ චිත්‍රපටයක් නොවේ. නිර්මාණශීලී රූප රාමු, අපූර්වත්වයක් ගෙනෙයි. ආලෝකකරණයද,පසුතලද අගනේය.අලුත් නළු නිළියන් යොදාගැනීම අගය කළයුතුය.නමුත් විශේෂයෙන් අගය කළ හැකි මට්ටමේ රංගනයක් ගැන කිව නොහැක.[මිෂෙල් නම් ලස්සනය. එය වෙනම කථාවකි.:)] 

රූප රාමුවලින්ද, දෙබස් වලින්ද විටෙක "හඳගම" සිහිවෙයි.

ප්‍රසන්න ජයකොඩි සුවිශේෂි යමක් සිංහල සිනමාවට දායාද කළ හැකි නිර්මාණකරුවෙක් බවට සැකයක් නැත. තම මුල් නිර්මාණය "සංකාරා" තුලින් ඔහු එය ඕනෑවටත් වඩා ඔප්පු කළේය.විය යුත්තේ "සම්භාව්‍ය එක්ටැම් ගෙවල්" වලින් එළියට ඒමට හිත හදා ගැනීම පමණකි...!!

15 comments:

  1. සම්භාව්‍ය කියන ලේබලයට අපෙ රටේ නිර්මාණ කාරයො ඇලුම් කරනවා වැඩියි . ඒ නිසා ගොඩ වෙලාවකට ප්‍රේක්ෂය අන්ද බූත වෙනවා විතරයි . ප්‍රසන්නගේ නිර්මාණයක් නිසා සිනමාත්මක බව නම් උපරිමයෙන් දකින්න ඇති කියලා හිතනවා , අපේ රටේ ගොඩක් සිනමා කරුවන් සිනමාව නිසි විදිහට භාවිතා කරන්නේ නෑ ,

    මේ දවස් වල නිතරම ඉන්නේ ඔලුව කැරකිලා යන කාර්ය බහුල කමක , ඒ වගේ වෙලාවට සිරියස් ෆිල්ම් බලන්න ගිහින් තව ටිකක් මඤ්ඤං වෙනවට වඩා සරල ආශ්වාදයක් දෙන ෆිල්ම් එකක් බලන එක හිතට සනීපයි . ලොකු කාර්ය බහුල කමකින් පස්සේ හම්බුවුනු නිවාඩුවේ දවස් 2ක් එක හුස්මට බැලුවේ Avengers, MIB3 , Dictator,Cocktail , Ek tha tiger, Iron sky වගේ ඒවා

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම සිනමාත්මක බව අගය කළ හැකියි.මටත් නිවාඩු දවසේ සරල ආශ්වාදයක් ලබන එක හොඳයි කියලා හිතුණා වුණත් ප්‍රසන්නගේ "සංකාරා" බලලා ලබපු ආස්වාදය නිසා, ඔහුගේ චිත්‍රපටයක් අතාරින්න ලෝබ හිතුණා :)

      Delete
    2. අද ලෝකයේ මෙවැනි චිත්‍රපට හදුන්වන්නේ පුවත් පත් ,වලින් බ්ලොග් වලින් පමනක් "නැරඹිය" (කියවිය) යුතු චිත්‍රපටි කියාය. මේ වගේ තැනකින් බලගත්තම මට ඇති.

      Delete
  2. trailer එක බලද්දි මටත් එහෙම හිතුනා. ඒත් තවම චිත්‍රපටය නැරබුවෙ නෑ ඔබගේ දැක්ම පිලිබදව සැසදිය හැක්කෙ මෙය නැරබීමෙන් අනතුරුවය.

    ReplyDelete
    Replies
    1. මමත් trailer එක බලලයි ගියේ. මටත් trailer එක බලද්දිම එහෙම හිතුණා වුණත් ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයක් අතාරින්න බැරිකමටයි ගියේ.

      Delete
  3. //මෙය "බලහත්කාරයෙන් සම්භාව්‍ය " කිරීමට තැත් දැරූ නිර්මාණයක් බවයි මටනම් හැඟුනේ.//

    සහතික ඇත්ත.. සියයට සියයක් එකඟ වෙනවා.

    පාලිතගේ කැමරා අධ්‍යක්ෂණය සාර්ථක ය. කැමරා කෝණ අද්විතීය ය. නමුත් එහි බොහෝ තැන් වල පරිනත නොවූ බවක් දැනුණි. සමහර රූපරාමු අනවශ්‍ය තරම් සංකීර්ණ කරන්නට ගොස් තිබිණි. ආලෝකකරණය නම් ඔබ කියූ පරිදි ම අගනේ ය.

    එමෙන් ම හඬේ මිශ්‍ර නොවූ ගතිය හෙවෙත් අමු ගතියත්, හුස්ම අදින හඬේ සීමාව ඉක්මවා ගිය ගතියත් ප්‍රේක්ෂකයා තුල ඇති කරන්නේ නොපහන් ගතියකි. නොරිස්සුමකි.

    රංගනයේ නම් මට ඒ තරම් අඩුවක් දැනුනේ නැත. ප්‍රධාන නළු නිලි ත්‍රිත්වය ම සිය චරිත වලට සාධාරණයක් කරන ලද්දේ යැයි මට සිතෙයි. නමුත් එහි කැපී පෙනෙන දක්ෂතාවක් නම් නොදැක්කෙමි.

    මෙහි මා දුටු ප්‍රධාන ම ගැටලුව වන්නේ හීයක් ඇතත්, එය විද්ද ඉලක්කයක් නොතිබීමයි. දුනුවායා වෙර යොදා හීය විද ඇති බවක් දැනෙයි. එය ගමන් කළ මාර්ගය මට දැනෙන්නේ නම් විශිෂ්ඨ ලෙස ය. නමුත් හීය වැදුණු තැනක් නැත.

    ප්‍රධානකොට ම කර්ම තුලට ඕනෑවට වඩා සම්භාව්‍ය බවක් බලෙන් රිංගවන්නට නොගියා නම්, මීට වඩා සාර්ථක වන්නට ඉඩ තිබිණි.

    කෙසේ වෙතත්, ලංකාවේ අපේ කෙහෙතලාගේ ඊනියා රැඩිකල් වාදයට නම් රිදෙන්නට අතුල් පහරක් දෙන්නට ප්‍රසන්න ජයකොඩි සමත් වූ බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම සිනමාත්මක බව අගය කළ හැකියි."සීමාව ඉක්මවා ගිය, ව්‍යාජ සම්භාව්‍ය බව" තමයි මගෙත් විවේචනය..

      Delete
  4. බලන්න ඕන ‍කො‍හොම හරි ‍වෙලාවක් හදා‍ගෙන.... ‍නොබලා අදහසක් කියන්න බැහැ

    යාලුවා ඔයා ‍පේරාදෙණි‍යෙද? මමත් එ‍හෙ

    ReplyDelete
    Replies
    1. ඔව්. පේරාදෙණියේ හිටියා. :)

      Delete
  5. මම සිංහල චිත්‍රපට බලන්නෙ කලාතුරකින්.ඒත් තෝරගත්ත නිර්මානකරුවන්ගේ ඒවා පමණයි. මෑත කාලයේ ලංකාවෙ සිනමාව ලංකාවෙ සිනමාකරුවන්ගෙ බංකොලාත් භාවය නිරූපණය කලේ . ඓතිහාසික පුරාවෘත සිනමාවට ගෙන ඒමෙන්.

    70 සහ 80 දශකවල සිනමාවේ තිබුණ දේශපාලන දර්ශනය සහ කලාත්මක බව පවා වර්තමානයේ දකින්න නැත්තේ සිනමා කෘතියක් මගින් දේශපාලන විචාරයක් කරන්න තිබෙන බියද එහෙමත් නැත්නම් නිර්මානකරනයේ ඇතිවූ හීන තාවයක්ද යන්න පිලිබඳ සැයක් උපදිනවා.

    ඒත් ප්‍රසන්න විතානගේ , අතුල, හඳගම, විමුක්ති, මේ සිනමාව තුළ උඩුගංබල‍ා පිනනවා.විය යුත්තේද එයයි.ඒත් මෙතෙක් ප්‍රසන්නජයකොඩිගේ මේ "කර්ම" බලන්න බැරිවුණා.මට ලැබුණ තොරතුරු අනුව නම් තරමක් හොඳ ඉසව්වක් කතාබහට ලක්වන බවයි පැවසෙන්නේ.ඉදිරි දවසක බලන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සිනමාවේ පෙරළි කරන මේ සිනමාකරුවන් ගැන සතුටුයි. ආඩම්බරයි.සමහර වෙලාවට පෞද්ගලිකව මගේ රස වින්දනය, ඔවුන්ගේ සිනමා භාවිතාවන් සමඟ සමපාත නොවුණත්..

      Delete
  6. බොහොම කාලෙකට පස්සේ ,මම හිතුවේ නෑවිත්ම හිදීවි කියලයි.සතුටුයි

    ReplyDelete
    Replies
    1. කාර්ය බහුලතාවය නිසා බ්ලොග් එක ලිවීමෙන් තරමක් ඈත් වුනා. ඇත්තටම ලිපියක් ලිව්වේ මාස 2 කට පස්සේ. ඉඳලා හිටලා හරි ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වෙනවා :)

      Delete
  7. ෆිල්ම් එක බලලාම කතාවට එන්නම් :)

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters