Saturday, May 28, 2011

කලම්බෝ කලම්බෝ..............වී ලව් යූ කලම්බෝ..



2010 වසරේ හොඳම වේදිකා නාට්‍ය ලෙසින් සම්මානිත "කලම්බෝ කලම්බෝ" නාට්‍යය මරදාන එල්ෆින්ස්ටන් හිදී නරඹන්නට පසුගියදා අවස්ථාව ලැබුනා..මෙය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ ගේ නිර්මාණයක්..කලකට පෙර නිර්මාණය වූ "ජනාධිපති තාත්තා" ත් ඔහුගේ නිර්මාණයක්..

මෙය පසුගිය වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂනය, හොඳම නිළිය, හොඳම සංගීතය සහ තවත් සම්මාන කීපයක්ම දිනාගෙන තිබුනු බව ප්‍රචාරක පෝස්ටර් වලින් දැකීම නිසා නාට්‍ය බලන්නට උත්තේජයක් ලැබුනා..කොහොම උනත් මේ නාට්‍ය ගැන හොඳ අදහස් අරහෙන් මෙහෙන් අහන්නට කියවන්නට ලැබිලයි තිබුනේ..

නාට්‍යයට හොඳ සෙනඟක් හිටියා එල්ෆින්ස්ටන් එකට රැස්වෙලා...ඇත්තෙන්ම එයට හේතුව මෙය 2010 හොඳම නාට්‍යය වීම නිසා බවට සැකයක් නැහැ..මේ නාට්‍යයට ජනතාව අතරට යෑමට ඒ ලැබුනු සම්මාන පිටුවහලක් වෙලා තිබුනා..ඇත්තෙන්ම සිදුවිය යුත්තේද එයයි..

නාට්‍යය කොළඹ නගරය කේන්ද්‍ර කරගත් සිද්ධි 4 කින් සමන්විතය. විහාර මහා දේවි පාක් එකේ බංකුවක් අහිමිවීමේ ගැටළුවට මැදි වූ තරුණිය, බොරැල්ල මගී පාලම අසල බෝම්බයක් සම්බන්ධ ගැටළුවට මුහුණ දෙන තරුණිය, ලාස්ට් බස් එකේදී පෙම්වතා අහිමි වූ පසු අන් මිනිසුන්ගේ ආදරණීය රැකවරණය(..?) ලබන තරුණිය සහ අවසන මල් ශාලවකදී මළ මිනියක්ව සිටියදීත් රාගයේ සහ ලිංගික ආශාවේ ගොදුරක් වන තරුණිය..මේ සිදුවීම් පෙළයි.

පෞද්ගලිකව මුල් සිද්ධි දෙක ප්‍රබල හැඟීමක් දැනවූයේ නැතද දෙවන සිද්ධි දෙක අපූර්ව ලෙස ඉදිරිපත් කර තිබුනි. හොඳ දෙබස් කණ්ඩ, දක්ෂ රංගනයන් සංගීතයද මුසුව ඉදිරිපත් කෙරුනේ ආනන්දයෙන් ප්‍රඥාව ජනිත කරවමිනි. ලාස්ට් බස් එකේ සිද්ධිය පවතින යථාර්තය නිරුවත් කරයි. මල් ශාලාවේ සිද්ධිය වැඩිපුර සමාජය හමුවේ කථා නොකෙරෙන දෙයක් වුවද, සමාජයේ තිත්ත යථාර්තයම වෙයි. සමාජය විවෘතව කථා කිරීමට අකමැති හෝ විවෘතව කථා කිරීමට බිය දේවල් එලියට ගෙන, බුද්ධිමය ප්‍රශ්න කිරීමකට ලක්කිරීම සැබෑ කලා කරුවෙක්ගේ කාර්ය භාරය වෙයි.ඒ අතින් ඉන්දික ෆර්ඩිනැන්ඩෝ ඔහුගේ කාර්යය මැනවින් ඉටුකොට තිබේ.

"ඔබයි රම්‍ය සඳ කිරණ ගන අන්ධකාරේ" ...නන්දා මාලනී ගේ පරමාදර්ශී ප්‍රේමය පිලිබඳ ගීතය මෙහිදී උත්ප්‍රාසාත්මකව යොදා ගැනෙන අයුරු අපූරුය. රාගයට හා ව්‍යාජයට හසුවූ ප්‍රේමය නිරූපිත තැන්වල එය ගැයෙන්නේ වෙනස්ම තනුවකට අනුවය. එය සැබැවින්ම නිර්මාණාත්මක භාවිතයකි. විශේෂයෙන්ම මල් ශාලාවේ මිනියක් හා සංසර්ගයේ යෙදීමට සැරසෙන මිනිසා සිය කමිසය ගලවන විට.....අප කම්පිතව බලා හිඳින විට..පසුබිමෙන්....ඉහල ස්වරයකින් හා ලයකින් යුතුව...ඔබයි රම්‍ය සඳ කිරණ .....ගන අන්ධකාරේ.....ගැයෙන විට....හ්ම්ම්ම්.. සැබැවින්ම අපූරුය.

ආකෘතික හරඹයන් අපූර්වත්වයෙන් ඉදිරිපත් වෙයි...තරුණිය මියයාම නිරූපනය වන ජවනිකාව....ඇය සුදු ඇඳුමින් සැරසී සිටී....සියළු පිරිමින්ගේ උඩුකය නිරුවත්ය....සංගීතය නිපදවෙන්නේ ඔවුන්ගේම සිරුරට අත්ලෙන් පහර දීමෙනි....ඇය උච්ච ස්වරයෙන් මරණයේ ගීතිකාව ගයන විට ප්‍රේක්ෂාගාරයට වේදිකාවේ සිට තරුණියක් සෙමෙන් සෙමෙන් පියවර ඔසවන්නේ "මිනී සෙන්ට්" එකක් ඉසිමිනි....මුළු ප්‍රේක්ෂකාගාරයම "මිනී සෙන්ට්" සුවඳින් සුවඳවත් වෙයි..ඇගේ මරණය අපි සමීපව අත්විඳිමු..ප්‍රේක්ෂකාගාරයේ සිටින අපි ද ඇගේ මරණයේ සාක්ෂිකරුවෝ වෙමු.

"මල් වඩම අතින් ගත් මිනිසා" සංකේතයකි.නිරන්තරයෙන් අප වටා සැරිසරන මරණය, විහාර මහා දේවී පාක් එකේදී...බොරැල්ල මගී පාලමේදී තරුණියට හමුවෙයි.("සිහින දේශයෙන්" චිත්‍රපටයට බුඩී කීර්තිසේන යොදාගත් මරණයේ සංකේතය-මහේන්ද්‍ර පෙරේරා සිහිපත් වීම නොවැලැක්විය හැකිය.) එසේ වුව එම සංකල්පයම වෙනත් ආකාරයකින් නිර්මාණය කිරීම අකැප දෙයක් නොවේ.

කොලඹ කේන්ද්‍රීය ජීවිතය තේමා කරගත් "කලම්බෝ කලම්බෝ" නාට්‍යයේ කොලඹ ගැන අපූරු හැඳින්වීමක් වරෙක ප්‍රකාශ වෙන්නේ මෙසේය. "කොලඹ කියන්නේ ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය...ඒත් ලංකාවේ හැමදේම සිද්ධ වෙන්නේ කොලඹ..එහෙම බැලුවාම කොලඹ ලංකාවට වඩා ලොකුයි..අමාරුවෙන් හරි කොලඹට වෙලා හිටියේ නැත්නම් නිකන් ලංකාවේ නෙමෙයි වගේ.."

රංගනයන් නම් උපරිමය. සියළු දෙනාම තම තමන්ගේ භූමිකාවන් මැනවින් ඉටුකොට තිබුනි. එයිනුදු වඩාත් මතුවී පෙනෙන ප්‍රධාන කාන්තා භූමිකාව රඟන්නිය, මෙවර හොඳම නිළිය ලෙස තමන්ව තේරීම සැබෑ නිවැරදි තේරීමක් බව අප හමුවේ ඔප්පු කොට සිටියාය. ගායන හැකියාවෙන්ද, රංගන හැකියාවෙන්ද පොහොසත් ඇයට ලාංකේය කලාවේ විශාල භූමිකාවකට සුදුසුකම් ඇත.

සංගීතයට මේ නාට්‍යයේ විශේෂ තැනක් හිමිව තිබුනි. (නාට්‍යයේ අප දකින ආරම්භක දර්ශනය වන්නේ ද වේදිකාව මත තැබූ ගිටාර් කීපයකි.) නාට්‍යයට පසුබිමෙන් සංගීතය සපයනු වෙනුවට, වේදීකාව මතදීම නලු නිළියන් විසින්ම ගිටාර වයමින්, ගායනයේ යෙදෙන්නේ අපූර්ව නර්තනයක් ද සමඟිනි. රූපවාහිනි හෝ සිනමා මාධ්‍යයේදී මවාපෑම් මඟින් වීරයන්/ වීරවරියන් වන්නන්ට වඩා වේදිකා නළුවෙකුට/නිළියකට බොහෝ ක්ෂේත්‍රවල දක්ෂතා වර්ධනය කර ගන්නටද ඒවා සජීවීව ඉදිරිපත් කරන්නට ද සිදුවීමේ අභියෝගයක් වෙයි. මේ අභියෝගය තුලින්ම, එය නොපැකිලව ජයගැනීම තුලින්ම සැබෑ කලාකරුවන්/ කලාකාරියන් බිහිවන අයුරු මේ නාට්‍යය මැනවින් පසක් කොට සිටී.

අපූර්ව වූ ඉදිරිපත් කිරීමක්..සෞන්දර්ය සමඟ මුසුව යථාර්තය නිරුවත් කිරීමක්...රංගන, ගායන, අධ්‍යක්ෂණ කුසලතාවන්ගේ මනා එකමුතුවක් ලෙස.."කලම්බෝ කලම්බෝ"..2010 හොඳම වේදිකා නාට්‍යය බවට පත්වීම නිවැරදි තීරණයක් ලෙස දකිමි.

7 comments:

  1. wow!I witnessed!One of the great stage dramas Ive ever enjoyed. It left some thing to take home at end unlike most plays.
    http://www.dailymirror.lk/entertainment/theatre/3506-colombo-colombo-interview-with-indika-ferdinando-.html

    ReplyDelete
  2. @GG: yes indeed, it is an excellent one. One of the best among recent stage dramas.

    ReplyDelete
  3. @නෙරංජි: බොහොම ස්තූතියි :-)

    ReplyDelete
  4. මමත් පහුගිය අවුරුද්දේ අපේ කැම්පස් එකේදී මේ නාට්‍යය බැලුවා කතාව, සංගීතය වගේ හැම දේකින්ම මේ නාට්‍යය නම් උපරිමයි. මගේ හිතේ කොස්සකට හිටියේ එදා මේ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව කලේ සෞම්‍ය ලියනගේ නැතුව වෙන නළුවෙක් වීම

    ReplyDelete
  5. 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ පෙන්නපු දවසේ මම මේ නාට්‍යය බැළුවා. පළවෙනි දවසේ ටිකක් වෙලා යනකොට වහින්න ගත්තා. ජෝන් ද සිල්වා එකේ තහඩු වහලෙට වතුර වැටෙන සද්දෙට නාට්‍යය පෙන්නන්න බැරිවුනා. අන්තිමට රෑ 8ට විතර නාට්‍යය නැවැත්තුවා. ඊට සතියකට පස්සෙ තමයි හරියට නාට්‍යය පෙන්නුවේ. ෆර්ඩි සර් ගොඩක් නිර්මාණාත්මක කළාකරුවෙක්. එයාට හොද අනාගතයක් තියෙනවා.
    මේ විචාරය අගය කරනවා... දිගටම ලියන්න...

    ReplyDelete
  6. @ Hasitha and Pradeep,

    ස්තූතියි ප්‍රතිචාරවලට.

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days