Wednesday, June 9, 2010

රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රි ලාංකේය දේශපාලනය....



විවාදය ආයෙත් පටන් අරන්....මේක ඇවිල්ලා හෝද හෝද මඩේ දාන වර්ගයේ විවාදයක්..රනිල් යු.එන්.පී නායකත්වයෙන් යන්න ඕනැද? නැද්ද?..(ජයසූරිය ක්‍රිකට් ටීම් එකේ ඉන්න ඕනැද? නැද්ද වගේම ජනප්‍රිය මාතෘකාවක්...)
මේකේ වැදගත්ම සීන් එක තමයි මේ විවාදයට ලාංකේය දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සියළු දෙනාගේ ඇති දායකත්වය....යු.එන්.පී කාරයන් විතරක් නෙමෙයි දැඩි යු.එන්.පී විරෝධීන් පවා, අන්ත සමාජවාදීන් පවා යු.එන්.පී කාරයන්ට තමන්ගේ අනාගතය ගැන හිතන්න උපදෙස් දෙනවා..
රනිල් සම්බන්ධව ඇති ප්රධානම චෝදනාව වන්නේ ඔහුට ඡන්ද දිනන්න බැරිවීමයි.ඔහු ආකර්ශනීය නායකයෙක් නොවීමයි.
මේ කාරණයේ නිවැරදි භාවය සැකසහිතයි.ඔහුගේ නායකත්වයෙන් 2001 මැතිවරණය යු.එන්.පි ජයගෙන යු.එන්.පී ආණ්ඩුවක් පිහිටෙව්වා.2005 ජනපතිවරණයේදී ඔහු මහින්දට පරාජය වූයේ ඡන්ද එක් ලක්ෂ අසූදහසක් වැනි සුලු ගනනකින්.උතුරු නැගෙනහිර ඡන්ද එල්.ටී.ටී. එක නැවැත්තුවේ නැත්නම් 2005 ඡන්දයේදී ලංකාවේ ජනපති වෙන්නේ රනිල්..!
රනිල් සාම ගිවිසුමෙන් හොඳටම ඇනගත්තා. විමල් වීරවංශ ඔහුට ඇලවූ "දොන් ජුවන් වික්‍රමසිංහ " ලේබලය හා දේශද්‍රෝහි ලේබලය ඔහුව අනාථ කලා. යුද්ධය මොහොතේදී ඔහු හැසිරුනු ආකාරය පොදු ජනතාවගේ අප්‍රසාදයට ලක්වුනා.ඔහු බටහිර රටවලට මානව හිමිකම් පිලිබඳව කේලම් කියන්නෙක් බවට පත්වුනා. හමුදාව යුද්ධය පරදින තුරු යු.එන්.පි ය බලා සිටින්නේදැයි පක්ෂ භේදයකින් තොරව ජනතාව විමතියට පත්වුනා.එය රනිල්ට පහසුවෙන් මකා දැමිය නොහැකි කළු පැල්ලමක්.
ඔහුගේ අදක්ෂකම් සේම දක්ෂකම්ද කතා කිරීමේ යුතුකම අප සතු වෙනවා. ඔහු පොරොන්දු දේශපාලනයෙන් බැහරව ප්‍රතිපත්ති දේශපාලනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූවෙක්. ඔහුට පෙර යුගයේ තිබූ (ජේ.ආර්-සිරිමාවෝ සහ ප්‍රේමදාස-සිරිමවෝ) වයිරී දේශපාලනය වෙනුවට ඔහු චන්ද්‍රිකා සහ මහින්ද සමඟ සුහදව දේශපාලනයේ යෙදුනා.
ඔහු ජනප්‍රිය පොරොන්දු දෙන්නෙක් නෙමෙයි.ඔහු යන යන තැන ලමුන් වඩාගෙන සුරතල් කරන්නෙක් නෙමෙයි. මල් වට්ටි ගෙන හන්දියක්, හන්දියක් ගානේ පන්සල් සොයා යන්නෙක් නෙමෙයි.නමුත් මිනිසුන් කැමති එවැනි චරිතවලටයි. එමනිසායි ඔහු "මාකට්" කරන්න බැරි චරිතයක් ලෙස ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරු පවසන්නේ.

ඔහු ඤාතීන්ට හිත මිතුරන්ට තැන නොදෙන,විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය නොයොදවන වැදගත් දේශපාලනයක් වෙනුවෙන් උත්සහ දැරූවෙක්.ඇත්තෙන්ම එවන් උත්සහයක් අසාර්ථක වීම කණගාටුවට කරුනක්.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ නම් වූ දේශපාලන චරිතය සම්පූර්ණයෙන් විග්‍රහ කිරීම මෙවන් කුඩා ලිපියකින් කල නොහැක්කක්.නමුත් කෙටියෙන් පවසන්නේනම් ,මගේ පෞද්ගලික අදහස රනිල්ගේ බුද්ධියෙන්, හැකියාවෙන් සහ දැනුමෙන් අපේ රට නිසි ඵලය ලබා නොගත් බවයි; වර්තමානයේදී ආර්ථිකව සමෘධිමත් වීමේ අභියෝගයට මුහුණ දෙන ලංකාවට ඒ සඳහා සැබෑ නායකත්වයක් රනිල්ට ලබාදිය හැකි බවයි...ඔහුට අවස්ථාවක් දීමට තරම් ජනතාව බුද්ධිමත් විය යුතු බවයි.


-------TO BE CONTINUED..

1 comment:

  1. චර්චිල් දෙවෙනි ලෝක යුද්ධයෙන් බ්‍රිතාන්‍යයට ජය ගෙන ආවාට පසුව තිබුණු මැතිවරණයෙන් පරාජයට පත්වුණා. ඒකෙදී විපක්ෂ නායකවරයා අගමැති බවට පත්වුණා. මිනිස්සු කියලා තිබුණේ චර්චිල්ට යුද්ධ කරන පුලුවන් ඒත් රට සංවර්ධනය කරන්න බැහැ කියලා.

    ලංකාවෙත් ඒ කතාව ඇත්ත කියන එකයි මගේ අදහස

    ReplyDelete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters