Friday, August 1, 2025

"දේවි කුසුමාසන" ද ? "කොනප්පු බණ්ඩාර" ද?

 


ලංකාවේ ඉතිහාසය විෂයට ප්‍රිය කරන මගේ ලෝකයේ වීරයෙකු වන... සාමාන්‍ය වීරයෙකු නොව සුවිශේෂී වීරයෙකු වන. කොනප්පු බණ්ඩාර ගැන චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙද්දී එය නරඹන්න උවමනාවක් තිබුණා.

එය නිර්මාණය කරලා තියෙන්නේ දඬුබස්නාමානය, වෙද හාමිනේ සහ ගරිල්ලා මාකටිං වැනි ලංකාවේ කලාව  තුළ next level වැඩ පෙන්නපු ජයන්ත චන්ද්‍රසිරි වීම එය නැරඹීමේ උවමනාව තීව්‍ර කළා.

ඒ වගේම,  මහනුවර නගරයේ මැතකදි විවෘත වූ අළුත්ම සිනමා ශාලාව වන JP Cineplex එකේ චිත්‍රපටයක් නැරඹීමේ අත්දැකීම විඳගන්න උවමනාවක් තිබුණා.

ඒ සියළු කාරණා නිසාවෙන් පසුගියදා ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය "දෝන කුසුමාසන" නැරඹුවා.






මුලින්ම කියන්න තියෙන්නේ බොහෝ දෙනා ඉතිහාස කතා, රාජ කතා තම සිනමා නිර්මාණවලට වස්තු විෂය කරගන්නා  මේ කාලයේ කොනප්පු බණ්ඩාර වගේ ලංකාවේ ඉතිහාසයේ සුවිශේෂී වීරයෙකුගේ කථාව සිනමාවට ගෙන ඒම වෙන කෙනෙකු අත ගහන්නට කලින් ජයන්ත චන්ද්‍රසිරි අතින් සිදුවීම සතුටට කරුණක්.

දෙවනුව , මේ චිත්‍රපටයේ නම සමහරුන් ප්‍රශ්නයක් කරගෙන ඇති බව සමාජ මාධ්‍ය හරහා දකින්නට ලැබුනා. මේක කොනප්පු බණ්ඩාර ගැන කථාව බව ඇත්ත. නමුත් මේ චිත්‍රපටයට "කොනප්පු බණ්ඩාර" කියලා නම දැම්මානම් කී දෙනෙක් බලන්න එයිද? කී දෙනෙක් "කොනප්පු බණ්ඩාර" ගැන දැනගෙන ඉන්න ඇතිද මේ චිත්‍රපටයට කලින්. ඉතින් "දේවි කුසුමාසන" නම දාන්න ඇත්තේ marketing අරමුණකින්. එවැනි දේ කරන්න වෙනවා මන්ද, සිනමාව යනු කලාවක් සේම කර්මාන්තයක්ද වන නිසා.

චිත්‍රපටය ගැන ලියන්නට කලින් කොනප්පු බණ්ඩාර ගැන ලිවිය යුතුයි. (මන්ද,  අද කාලයේ ඉතිහාස දැනුම  ඇති අය අඩු බව පෙනෙන්නට තිබෙන නිසා.)

ලාංකේය ඉතිහසය හදාරන විට හමුවන වීරයන් අතරින් කොනප්පු බණ්ඩාර සුවිශේෂි වන්නේ ඇයි ? 




ඔහුගේ නමින් පවා ඔහු අනන්‍ය මිනිසෙක්.  ඔහුගේ මවගේ නම ඇසුරින් සාදාගත් විමලධර්මසූර්ය නම  එතෙක් සිංහල රාජාවලියේ භාවිතා වූ නමක් නොවේ. ඔහු පළමුවන විමලධර්මසූර්ය  මිස දෙවන,තුන්වන හෝ හතර වන  පරාක්‍රම බාහු  හෝ විජයබාහු නොවේ.

 සේනා සම්මත වික්‍රමබාහු විසින් 1469 දී ආරම්භ කෙරුණු සේ සැලකෙන මහනුවර රාජධනිය වසර 123 ක් පමණම පැවතුනේ කෝට්ටේ හෝ සීතාවක යටත් රාජ්‍යයක් ලෙසින්. 1592 දී එය ස්වාධීන රාජ්‍යක් බවට පත් කරන්නේ කොනප්පු බණ්ඩාර හෙවත් පළමුවන විමලධර්මසූර්ය විසින්.

 වසර දෙසීයකට වැඩි ගණනක් විදේශිකයන්ට යටත් කරගැනීමට බැරිවුණු එකම රාජ්‍යය ලෙස පැවතීමේ ගෞරවය, එය ස්වාධීන රාජ්‍යක් ලෙස ගොඩනැගූ ඒ මිනිසාට හිමිවිය යුතු නොවේද ?

තමන්ගේ ගේම් එක සාර්ථක අවසානයක් කරන ගෙනයාමට සමත් වූ වීරයෙක් විදිහට මට ඔහු ගැන සුවිශේෂි ගෞරවයක් තියෙනවා.

කැප්පෙටිපොල, පුරන් අප්පු පවා වීරයන් වූවත් ඔවුන්ගේ ගේම් එක ජයග්‍රහණය කරා ගෙනයන්න ඔවුන් සමත් වුනේ නැහැ ක්‍රිකට් මැච් එකක සීයක් ගැහුවට වැඩක් නැහැ මැච් එක පරාදයි නම්.

ඔහු රජ පෙළපතකින් පැමිණියේ නැහැ. ඔහු සැබෑ බුද්ධිමත්, උපායශීලි නායකයෙක්. දොන් පිලිප් පෘතුගීසීන්ගේ රූකඩයක් වූවත් දොන් ජෝන් එක්ක ඒ සෙල්ලම් දාන්න පෘතුගීසීන්ට බැරිවුනා.

ඒ කාලයේ ලංකාවේ පොලිටිකල් ගේම් එකේ හිටපු අණ්ඩපාලම චරිතය"අරිට්ට කී වෙණ්ඩු" ටත්  උපායෙන්ම  ගේම් එක දෙන්න කොනප්පු බණ්ඩාර සමත් වෙනවා.

Politics කියන්නේ ගේම් එකක්. ඒක වර්තමානයේත් එහෙමයි, අතීතයේත් එහෙමයි. ඒ කාලයේ, ලංකාවේ දේශපාලන ගේම් එකේ හිටපු පෘතුගීසීන්, සීතාවක රාජසිංහ විතරක් නෙමෙයි ඒ කාලයේ ලොකු ගේම් ගහපු, චිත්‍රපටයේ පෙන්වනවා සේම බොහෝ දුරට කොනප්පු බණ්ඩාරගේ පියා වීරසුන්දර බණඩාරගේ මරණයට හවුල් වූ  අරිට්ටකී වෙණ්ඩු වත් රණශූරත්වයෙන් විතරක් නෙමෙයි බුද්ධියෙනුත් පරාජය කරන්න ඔහු සමත් වෙනවා.


චිත්‍රපටය ගැන ගත්තොත්, මේ වගේ ඉතිහාස කථාවක් චිත්‍රපටයට නඟන විට එන විශාලම අභියෝගයක් තමයි අතීතය නිර්මාණය කිරීම. පසුතල, ඇඳුම් පැළදුම් වැනි දේ තුළින් ප්‍රේක්ෂකයාට ඒ යුගය පිළිබඳව නිවැරදි හැඟීමක් ලබාදීම. ඒ අභියෝගය ජයන්ත විසින් බොහෝ දුරට ජයගෙන ඇති බව කිව යුතුය.



කොනප්පු බණ්ඩාරගේ චරිතයට වර්තමානයේ හේමාල් හැර වෙන සුදුස්සෙක් නැහැ. ඔහුගේ හැඩිදැඩි පෙනුමත්, වර්ධනය කරගෙන ඇති රංගන කුසලතාවයත් ලාංකේය සිනමාවට ඒතිහාසික වීර චරිතයකට සැබෑ සුදුස්සෙක් නිර්මාණය කරදී තිබෙනවා.


උදාරි ගේ රංගනයත් හොඳයි කියන්නට පුළුවන් මට්ටමක තියෙනවා. හොඳම ස්වාභාවික රංගනය ඉදිරිපත් කරන්නේ "අරිට්ට කී වෙන්ඩු" ගේ චරිතය ඉදිරිපත් කරන මහේන්ද්‍ර පෙරේරා බව කිව යුතුයි. අනිත් බොහෝ දෙනෙකුගේ රංගනයන් ආධුනික මට්ටමේ බවත් කිවයුතු වෙනවා.






Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters