යහපාලන ආණ්ඩුව දැන් ඉතිහාසයට එක්වී හමාරය. 2015 ජනවාරි 8 න් ඇරඹී ඒ ගමන , 2019 නොවැම්බර් 16 දක්වා, අවුරුදු 4 කුත් මාස 10 ක පමණ කාලයකට පසුව සිය ගමන නිමා කළාය. ඒ යුගය අප හැඳින්විය යුත්තේ කන්දක් විළිලා මී පැටියෙක් වැදූ යුගයක් ලෙසද ? නැත්නම් නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති යුගයක් ලෙසද ?
යහපාලන ආණ්ඩුව ලද ප්‍රධානම චෝදනාවක් නම් මහ බැංකු බැඳුම්කර වංචාවයි. බලය ලබා මාසයක් ඉක්ම යාමට මත්තෙන් කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකෙරිණි.එයට වගකිවයුතු යැයි ඔප්පු වුණු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් , අගමැති රනිල්ගේ දැඩි වුවමනාව මත ඒ තනතුරට පත්කෙරුණෙකි. මිස්ටර් ක්ලීන් යැයි කියවුණු රනිල් ඒ සිද්ධියේදී සිය නම කැත කරගත්තේ, පැරණි හොරුන්ටද නැවත අලු ගසා දමා නැගිටීමට ජීවය පිඹිමිනි. මහින්ද රජයේ සියළු දූෂණ චෝදනා අහෝසි වී ගියේ, යහපාලන ආණ්ඩුවද හොරකම ඇරඹූ බැවිනි. හොරකමට, දූෂණයට එරෙහිව මහින්ද රජය ගෙදර යැවූ යහ පාලනයක් වෙනුවෙන් ක්‍රියාකල ජනතාව සිය යහපාලන නියෝජිතයන් විසින් පාවා දෙන ලදහ.
යහපාලන රජයේ අනෙක් ප්‍රබලතම පරාජය / අසාර්ථකත්වය වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීමයි.ජනපති ද අගමැති ද ආරක්ෂක අංශ ප්‍රධානීහු ද සිය වගකීම් පැහැර හැර තිබුණි. අකාර්යක්ෂම, අදක්ෂ, වගකීම් විරහිත නායකත්වය විසින් ජීවිත තුන්සිය ගණනකට අධික පිරිසක් බිලිගන්නට ඉඩ දුන්හ. සහජීවනයේ සැබෑ අර්ථය නොව ව්‍යාජය මත කටයුතු කළ ඔවුන්ට සැබෑ අන්තවාදීන්ට එරෙහිව කටයුතු කරන්නට දැක්මක් නොවිණි.
රනිල් ප්‍රමුඛ යූ.ඇන්.පි ය ආර්ථික කළමනාකරණය වඩා යහපත් තැනකට ගෙනෙනු ඇතැයි බලාපොරොත්තුවක් තිබුණි. නමුත් එය ප්‍රමාණවත් මට්ටමකින් ඉටුවූ බවක් පෙනෙන්නට නැත. බදු ආදායම වැඩි කරගත් නමුත්, එය ජනතා සහයෝගය ඇතිව කෙරුණක් නොවේ. රටේ ආර්ථික වර්ධන වේගය ඉතා පහළ අගයකට වැටුණි. 2017 දී ආර්ථික වර්ධන වේගය 3.1 % ක් විය. එය වසර 16 කට පසු වාර්ථා වූ අඩුම අගය විය.
යහපාලන ආණ්ඩුවේ යම් සාධනීය ලක්ෂණ නොතිබුණාම නොවේ. එයින් ප්‍රමුඛතම වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එල්ල වූ ප්‍රබලතම චෝදනාව වූ නීතියක් නැති රටක් වෙනුවට යම් ප්‍රජාතාන්ත්‍රික ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට සමත් වීමයි. නීතියේ ආධිපත්‍ය, අධිකරණ නිදහස, මාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ පනත සහ 19 වෙනි සංශෝධනය වැනි දේ ජයග්‍රහණ ලෙස සැළකිය හැකිය.
චම්පික රණවක ඇමතිවරයා මෙගාපොලිස් අමාත්‍යාංශයේද රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යාංශයේද කැපී පෙණුනු වැඩ කොටසක් කළහ. හර්ෂ ද සිල්වා 1990 සුව සැරිය සේවය ඇරඹීය.අකිල විරාජ් අධ්‍යාපන ඇමතිවරයා ලෙස සාධනීය වැඩ කොටසක් කළේය.
නමුත් මේ සාධනීය දැය සමස්තය ගැන ජනතාව තුළ ඇති වූ කළකිරීම දුරු කරවන්නට සමත් නොවීය.
රනිල් ගේ යූ.එන්.පී. ආණ්ඩු ස්වභාවයෙන්ම සිය වැඩ කොටස් ජනතාව අතර මාකට් කිරීමට අසමත්ය. හොඳම උදාහරණයක් නම් ණයක් නොව ආධාරයක් ලෙස දිනාගත් MCC ගිවිසුම ජයග්‍රහණයක් ලෙස ලකුණු දමාගත යුතු එකක් වුවද විපක්ෂය පහසුවෙන් බොරු බිල්ලෙක් මවා, එය ආණ්ඩුවේ ලකුණු කපා දැමීමට භාවිතා කළේය.
තමන් කළ හොඳ දෙයක් පවා මාකට් කරගෙන ජනතා සහයෝගය ලබා ගැනීමට නොහැකි ආණ්ඩුවක් අසමත් ආණ්ඩුවක් නොවන්නේද? ඉතින් ඒ අසමත් ආණ්ඩුවට නියතව උරුම පරාජය දැන් ඔවුන් හිමිකරගෙන සිටිති.
යහපාලන ජනතා නියෝජිතයන් තම ආණ්ඩුව බිහිකළ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට අසමත් වූහ. ඒ ගැන කිසිදු විවාදයක් නැත. එසේ වූ පමණින් යහ පාලනයක් ගැන වූ ඒ ජනතා අපේක්ෂාවන් නිමාවිය යුතුද ?
.