විශ්ව විද්‍යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහෝදර සගයන් අතරේ පිළිගත් නායකයෙක් වන්නටත් කෙනෙකුට හොඳ පෞර්ෂයක් තිබිය යුතු වෙනවා. විශ්ව විද්‍යාලවල දේශපාලනය යන්න බොහෝවිට විවේචනයට ලක්වන්නක් වුණත් බොහෝ සිසුන් තම නායකත්ව ගුණාංග ඔප මට්ටම් කරගන්නේ මේ ක්‍රියාකාරකම් හරහා.
ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් ඉහළ නායකත්ව කුසලතා ඇති නායකයන් බොහෝ ගණනක් බිහිකර තිබෙනවා. ඒ නායකයන් අතර ඉහළින්ම කියවෙන නමක් තමයි "නිෂ්මි"....
80 දශකයේ අග භාගයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් නායකයෙක් ලෙස මතුවුණු නිෂ්මි ඒ යුගයේ ස්වාභාවය අනුව "ජෙප්පෙක්" බව ඇත්ත. නමුත් අවුරුදු විසි ගණනකට පස්සේ අපි ආපහු හැරී බලා ඔහු කළ දේශපාලනය හරිද වැරදිද කියා විග්‍රහ කරනවා වෙනුවට මේ තරුණයා පෑ අසාමාන්‍ය නායකත්ව කුසලතාව හා විදහා පෑ අසාමාන්‍ය පෞර්ෂය විග්‍රහ කරගැනීමේ වටිනාකමක් තියෙනවා.
අද වෙනවිට නිෂ්මි ජීවතුන් අතර නැහැ. 88-89 ධවල භීෂණයේදී ඔහු ඝාතනයට ලක්වුණා.
ඔහු ඇසුරු කළ සගයන් එක්ව ඔහු ගැන මතකයන් එක් රැස් කර පොතක් නිර්මාණය කර තිබෙනවා. ඒ "සැඩ සුළඟ සහ මඳ පවන " නමින්. එයට ඔහුත් සමඟ විශ්ව විද්‍යාලයේ සිටි සගයන්, එක්ව දේශපාලනය කළවුන්, විරුද්ධව දේශපාලනය කළවුන්, එකල විශ්ව විද්‍යාලයේ සිටි උප කුලපති මහාචාර්ය අර්ජුන අළුවිහාරේ, ඔහුව මුණගැසී තිබූ ඉහළ හමුදා නිළධාරියෙක් වැනි බොහෝ පිරිසක් ඔහු ගැන සිය මතකයන් හා අදහස් එක්කර තිබුණා.
මේ ඒ පොතේ ඔහු ගැන සඳහන් මතකයන්ගෙන් බිඳක්.
"දැඩි මානුෂීය බවද, කැපී පෙනීමේ උද්ධච්ඡ අදහස් වෙනුවට නිහතමානී නායකත්ව ලක්ෂණද, දැඩි සහෝදර බැඳීමද ඔහු වෙත නොඅඩුව පැවතුණි."....
......"එවකට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිව සිටි මහාචාර්ය අර්ජුන අළුවිහාරේ මහතාගේ ගෞරවාදරයට නිෂ්මි පත්වීමේ හේතුවද, ඔහු සතු තාර්කික හැකියාව සහ අව්‍යාජ නායකත්ව කුසලතාව විය"..
"නිෂ්මි ශිෂ්‍යන් අතර ජනප්‍රිය ම හා නිර්මාණශීලී ම නායකයා බවට පත්විය.මෙහිදී අනෙක් නායකයන්ට වඩා ඔහු තුළ පැවති සුවිශේෂිම දක්ෂතාවය වූයේ හා කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඔහුගේ තාර්කික හැකියාවයි. ඔහු ඉදිරියේ දී කුමන මතවාදයක අයෙකුට වුව තම මතය ජයගැනීමට හැකියාවක් තිබුණේ නැත.ඔවුහු සෑම විටම මෙන් ඔහු ඉදිරියේ නිරුත්තර වූහ. දේශපාලන වශයෙන් ඔහු හා විරුද්ධ වූ අය පවා නිෂ්මි නිවැරදි අයකු ලෙසද, ඔහු තම ගෞරවනීය නායකයා ලෙසද පිළිගත්හ." ( නිමල් කරුණාසිරි - ආයුර්වේද කොමසාරිස්- බස්නාහිර පළාත් සභාව )
--------------------------------------------------
"නිෂ්මි රෑ එක දෙක වෙනතුරු වැඩ කරලා නිදා ගන්න අක්බාර් නෙල් ශාලාවට එනවා. ඔය වෙලාවට කොල්ලෝ ඒ කාමරේ උඩින් තියෙන හිලෙන් එල්ලිලා එබිලා බලනවා නිෂ්මි ඇවිත්ද කියලා. ඇවිත් නිදි කියලා දැනගත්තොත් ඒ ආරංචිය ඉක්මනට විසිරෙනවා. ඒක යන්නේ රහසින් කෙඳිරීම් වලින්. "නිෂ්මි ඇවිත්. සද්ද කරන්න එපා". මුළු ශාලාවම නිහඬ වෙනවා. හරියට මුළු ශාලාවම මීයට පිම්බා වගෙයි".............................(අයි.පී.ෂෙල්ටන්)
ඒ ඔහුට සහෝදර සිසුන් අතර තිබුණු ආදරය සහ ගෞරවය...
-----------------------------
"එක වරක් නිෂ්මිගේ බැච් එකේ හිටි විකොස (විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය) දේශපාලනය දැරූ සගයෙක් නුවරදී නිෂ්මිට මුණ ගැසුණ. ඒ වෙලාවේ ඔහු අහක බලා ගත්තා. නිෂ්මි ගොස් ඔහුට කථා කළා, පිටට තට්ටු කරමින්. එතකොට ඔහු කිව්වා "අපි අතරේ දේශපාලන ගනුදෙනු නෑ" කියලා. නිෂ්මි එතකොට කිව්වේ "මම මේ ආවේ දේශපාලන ගනුදෙනුවකට නෙවෙයි, උඹ මගේ බැචා හින්දා කථා කරලා යන්න" කියලා"....(අයි.පී.ෂෙල්ටන්)
-
------------------------------
පරිපාලනය ඉදිරියේ පෑ පෞර්ෂය..
"ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයේ කිසිම අයෙක් නොකළ විදිහට පරිපාලනය තමන්ගේ ග්‍රහණයට ගන්නට ඔහුට හැකි වුණා. ඔහු සමහරවිට ඔවුන්ට මූණට බැන්නා. නමුත් ඔහු මිය ගිය විට ඇඬුවේත් ඔවුන්. එය එසේ වූයේ ඔහුගේ වූ සුවිශේෂි ගුණය නිසායි. පුද්ගල ඇසුර ගොඩනඟා ගත් අයුර නිසායි. දැඩි විදිහේ ඝට්ටනවලට ගියා. ඔවුන් විසින් ම නිෂ්මිව ආරක්ෂා කළා. කොයිම මොහොතක හෝ පරිපාලකයින් නිෂ්මිව පාවා දෙනු මම දැකලා නැහැ.ඔවුන් වෙන අයව පාවා දෙන්නට ඇති. නමුත් නිෂ්මි පාවා දෙන්නට ඔවුන් දෙවරක් කල්පනා කළා." (කුමුදු බණ්ඩාර-වෛද්‍ය)
----------------------------------------------
විශ්ව විද්‍යාලය තුළදී ශිෂ්‍ය නායකයන් හා සංවාදයක නිරත වන්නට එකළ මධ්‍යම පළාත භාර ආඥාපති බ්‍රිගේඩියර් රංජන් ද සිල්වා මහතාට අවස්ථාවක් ලැබී තිබුණා. ඒ සංවාදය ගැන ඔහුගේ මතකය ඔහු පළකර තිබෙන්නේ මෙලෙස...
"මා සමඟ සංවාදයට පැමිණියේ නිෂ්මි. නිෂ්මි ඉතාමත් ලස්සනට තමන්ගේ කරුණු ගොනුකොට තර්ක කළා. වාදය ගියේ ඉතා උසස් ආකාරයකින්.ඉතා දියුණු ආකාරයකින්. ඔහු මුළු වාදය පුරාම හැසිරුණේ ඉතාම බුද්ධිමත් අයෙක් ලෙස.ඉතාම ලස්සනට තර්ක ඉදිරිපත් කළා. අතරමැදින් පැනීම් කළේ නැහැ.බාධා කළේ නැහැ.ඇත්තටම මගෙ හිතේ ඔහු ගැන ප්‍රශංසාවක්, ගෞරවයක් ඇතිවුණා." ( බ්‍රිගේඩියර් රංජන් ද සිල්වා )
------------------------------------
"දේශපාලන වශයෙන් පමණක් නොවෙයි. සෑම මිනිසෙකුම මිතුරකු වශයෙන්, සහෝදරයකු වශයෙන් ඔහු දිනාගත්තා." (මැතිව් ප්‍රනාන්දු-පශු වෛද්‍ය )
============================================================
අද නිෂ්මි නමින් පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ නේවාසිකාගාරයක් නම් කර තිබෙනවා.ඔහු ගැන පුරාවෘතය අලුත් සිසුන්ට අහන්නට ලැබෙනවා. සැබෑ නායකයන්, යුක්ති ගරුක මිනිසුන් ලෙස ගොඩ නැඟෙන්නට එය ඔවුන්ට ධෛර්ය සපයනවා. ඔහු ගැන සම්පූර්ණ මතක සටහනක් ගොඩ නඟන්නට කැපවූ මේ පොතේ සම්පාදකයන්ට සහ එයට දායක වූ සැමට අපගේ ස්තුතිය හිමිවෙනවා.
-------------------------------------------------------------
[මේ පොත සම්පාදනය සහ සංස්කරණය කර ඇත්තේ මහින්ද සෙනරත් ගමගේ සහ අනිල් ජයරත්න යන මහත්වරුන්.
නිෂ්මිගේ ඡායාරූපය ගත්තේ මෙතනින්.http://www.arunalla.tk/
ඒ වෙනුවෙන් ස්තූතිය:අරුණැල්ල ලියන රැංගෝට.]