Wednesday, February 29, 2012

මාතා...යුද්ධයට මැදිවූ දහස් ගණන් ජීවිත වෙත හෙලූ දයාර්ද්‍ර බැල්මක්...




මාතා ගැන ලියන්නට පළමුව "බුඩී" ගැන යමක් ලිවියයුතු වෙනවා.."බුඩී" හෙවත් විශ්වනාත් බුද්ධික කීර්තිසේන...ලාංකේය සිනමාවට "සිහින දේශයෙන්" ගෙන ආ මිනිසා ඔහුයි..ඔහුගේ පළමු සිනමා නිර්මාණයෙන්ම ලාංකේය සිනමා රසිකයාට තියුණු සිනමා රස වින්දනයක් ගෙනදීමට ඔහු සමත්වුනා.

ඉන්පසුව ඔහු නිර්මාණය කළ "මිල්ලෙ සොයා" ද විශිෂ්ට නිර්මාණයක්..මිල්ලෙ සොයා ඉතාලියට පනින ලාංකේය තරුණයාගේ කථාව ඔහු එහිදී කදිමට නිරූපණය කළා.සහජ කුසලතාවත් සිනමාව පිළිබඳව ගැඹුරින් හදාරා තිබීමේ පසුබිමත් මෙවන් විශිෂ්ට නිර්මාණ බිහි කිරීමට අනිවාර්යෙන් හේතු වන්නට ඇති.

වර්තමානයේදී ඔහු නැවතත් අප හමුවට පැමිණ සිටිනවා..ඒ "මාතා" සමඟ.."යුද්ධය"...ඔව්..ඔබ අප සියළු දෙනා අත්විඳි ලාංකේය සමාජය තිස් වසරක් පෙලූ යුද්ධය එහි කථා පසුබිමයි.

පළමුව කිවයුත්තේ මේ තේමාව තෝරාගැනීම ඉතා වටිනා බවයි.යුද්ධය සම්බන්ධව තව තවත් නිර්මාණ බිහිවිය යුතුව තිබෙනවා.ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ බව සැබෑවක් නමුදු සිදුවූ සියල්ල ක්ෂණයෙන් අමතක කර දමා ජීවත්වීම වෙනුවට මේ යුද්ධයේ අක් මුල් තැන් උපේක්ෂා සහගතව විමසුම් කටයුතුව තිබෙනවා..මානුෂික බැල්මෙන් සිදුවූ සියල්ල විශ්ලේෂණය කර, නැවත එවන් ව්‍යසනයක් ඇති නොවන තැනටත්, සියළු ජන වර්ගයන්ට සාමයෙන් සතුටෙන් ජීවත්විය හැකි ලාංකේය සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙනුත් සැබෑ කලාකරුවන්ට කළ හැකි බොහෝ දේ තියෙනවා..

විශේෂයෙන්ම සිංහල චිත්‍රපටයක් වශයෙන් දෙමළ තරුණ තරුණියන්ගේ දෘෂ්ටි කෝණයෙන් මෙහි කථාව ඉදිරිපත් කිරීම ද අගය කළ යුතුයි.මන්ද ඔවුන්ගේ දෘෂ්ටි කෝණය අපට තරමක් ආගන්තුක සහ දුරස් නිසා.මේ යුද්ධයේදී කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනිවාර්ය දායකත්වයක් ඇති ඔවුන්ගේ සැබෑ කථාවට හා අදහස් වලට අප සමීප විය යුතුව තිබෙනවා. එබැවින් "පාර්වතී" සහ "යෝගරාජා" ගේ කථාව "මාතා" තුලින් ඉදිරිපත් වීම සැබැවින්ම අගය කළ යුතුයි.




මාතා නරඹන විට තියෙන්නේ වෙනත් සිනමා නිර්මාණයක් නරඹනවාට වඩා වෙනස් මානසිකත්වයක්.වෙනත් නිර්මාණයක් නරඹනවිට අප දන්නවා එය ප්‍රබන්ධයක් බව.නමුත් "මාතා" එසේ නොවෙයි."මාතා", ඔබ, අප සියළු දෙනා අත්විඳි තිස් වසරක යුද්ධයේ කථාව.අනිවාර්යෙන්ම සැබෑ යුද්ධය, මේ නිර්මාණයේ පෙන්නුම් කරනවාටත් වඩා දුෂ්කර සහ බියකරු බව අපි හැමෝම දන්නවා.සිනමා නිර්මාණයක් ලෙස පෙන්විය හැකි දෙයෙහි සීමාවක් තියෙනවා.මේ යුද්ධයේ ගලාගිය ලේ ගංඟාවන් එලෙසින්ම පෙන්වීමේ හැකියාවක් මේ නිර්මාණයට නැහැ.සත්‍යය, ප්‍රබන්ධයට ද වඩා දුෂ්කර සහ බියකරු අවස්ථාවක් මෙය.සියළු දෙනා අත්විඳි පීඩාවන්, දුෂ්කරතා සහ කළ කැපකිරීම් නිර්මාණයෙන් පෙන්වනවාට වඩා දස දහස් ගුණයෙන් වැඩියි.

තම සොයුරා LTTE ය විසින් බඳවා ගැනීම වළක්වා ගැනීම සඳහා "පාර්වතී" LTTE ය හා එක්වෙනවා.මෙය කී දෙනෙක්ට උරුම වුණු ඉරණමක්ද? LTTE යට පවුලකින් එක් අයෙක් බැඳීම අනිවාර්ය කෙරුණු විට සිය සොයුරු සොයුරියන්ගේ අනාගතය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත LTTE යුද්ධයට කැපකළ සොයුරු සොයුරියන් කොතෙක් වෙත්ද? සිය පවුල් සී සී කඩ විසිර විනාශ වී යනු දුටු, තම දරුවන් යුද්ධයට බිලිවනු දුටු, උමතුවට පත්වූ දෙමාපියන් කොතෙක් වෙත්ද?

මේ චිත්‍රපටයේ මා කැමති දෙයක් නම් යුද්ධය ගැන දේශපාලන ප්‍රකාශන දීමට නිර්මාණකරුවා ඉදිරිපත් වෙලා නැති එක.හරි ,වැරදි කවුරුන්ද ලෙස නිගමන දීමට හෝ තමන්ගේ පෞද්ගලික දේශපාලන දෘශ්ටිය නිර්මාණයට කවන්නට ඔහු උත්සාහ දරලා නැහැ. යුද්ධය ගැන අපි හැමෝටම එක එක කියවීම් තියෙන්නට පුළුවන්.නමුත් නිර්මාණය සෘජු ප්‍රචාරක වාදයෙන් බැහැරව තිබීම..එය නිර්මාණයක් ලෙස රස විඳීමට අපට ඉඩ ඉතුරු කරලා තියෙනවා.

චිත්‍රපටයේ තවත් මා සිත් ගත් තැනක් තමයි, ද්‍රවිඩ සමාජය තුල තියෙන දැඩි කුල පීඩනයට එල්ල කර ඇති අතුල් පහර.සියල්ල විනාශ වී ගිය යුද්ධය මැද වුව, ඉන්නට තැනක් නැතිව කූඩාරමක කන්නට දෙයක් නැතිව සිටියදී පවා, සිය හරක් බැලූ මිනිසා තමන්ගේ කූඩාරමට වැද්ද ගැනීමට ද්‍රවිඩ ගැහැනිය විරුද්ධ වෙනවා.පසුගාමී චින්තනයෙන් මිදිය නොහැකි වූ සාම්ප්‍රදායික සමාජය නිරූපනය වන්නේ උපහාසාත්මකව.

අප පසුකර පැමිණි දුෂ්කර වූත්, බියකරු වූත්, අඳුරු අතීතයට අපේ මනස නැවත අවදි කරවමින්, යුද්ධයට මැදිවූ දස දහස් ගණන් ජීවිත වෙත උපේක්ෂා සහගත වූත්, දයාර්ද්‍ර වූත් දෘෂ්ටියක් හෙළන.."මාතා"..
විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙසින් ලාංකේය සිනමාවට දායාද කිරීමට දායක වූ සියළු ශිල්පීන්ට මගේ ආචාරය...!

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters