Wednesday, May 9, 2012

හිරුණිකාගේ සෙල්ලම් තව කොච්චර කාලෙකටද?


පරණ හිංදි ෆිල්ම් වල සුලභ කථා තේමාවක් තමයි තම පියා මැරූ දුෂ්ටයාගෙන් පළිගැනීමට සටන් වදින වීරයාගේ කථාව. ඒ උනත් වීරයෙක් වෙනුවට වීරවරියක් ඉන්න කථානම් මට බලන්න ලැබිලා නැහැ. ඒත් ලංකාවේ දේශපාලනයේ වර්තමානයේ රඟ දැක්වෙන හිරුණිකා-දුමින්ද කථාන්දරෙන් ඒ අඩුව යම් තරමකට මඟ හැරෙන බවක් පේන්න තියෙනවා.
   
ධන බලය, මැර බලය, දේශපාලන බලය හැම එකක්ම තියෙන දුමින්ද සිල්වාට දුෂ්ටයාගේ චරිතය සඳහා හැම සුදුසුකමක්ම තියෙනවා. ඒ වගේම හිරුණිකාට ආකර්ශනීය රුවක් තියෙන එකත් මේක හිංදි ෆිල්ම් එකක් වගේ දකින්න හොඳ හේතුවක් සපයනවා.

දුමින්ද සිල්වා මීට කලිනුත් දුෂ්ටයාගේ චරිතය රඟපාපු අවස්ථා තියෙනවා. ඒ වෙලාවේ කෙල්ලගේ චරිතය කළේ අනර්කලී. අනර්කලී ඔහු හා අමනාපව ඔහුගෙන් ඉවත් වූ විට ඔහු සිය පිරිවර සමඟ ආයුධ සන්නද්ධව ඇගේ නිවසට  පැමිණ හැසිරුණු ආකාරය ඇය පුවත්පතකට විස්තර කර තිබුණේ "හරියට ෆිල්ම් එකක විලන් කෙනෙක් වගේ" කියලා.

හිංදි චිත්‍රපටනම් අවසාන වුනේ දුෂ්ටයා පරාජය වී සාධාරණය ජය ගැනීමෙන්. නමුත් හිරුණිකා-දුමින්ද කථාව හිංදි චිත්‍රපටයක් නොවන බව අපට මතක් කර දෙන්න එහි අවසානයට පුළුවන් වේවි.

            =============================================== 

පාඨලී චම්පික රණවක තමන්ගේ "පටිසෝතගාමීව තිස් වසක්" පොතේ සඳහන් කරනවා; දේශපාලනයේදී "මාධ්‍ය බුබුළු" වල වැදගත්කම. කාලය, මුදල්, ශ්‍රමය වැය කරමින් බොහෝ කැපවීමෙන් කරන සංවිධාන කටයුතු ඉක්මවා; මාධ්‍යය ආකර්ශනය හිමිවන සිද්ධිවලින් ජනතා අවධානය ලබාගැනීම කොතරම් ප්‍රබලව සිදුවෙනවාද යන්න ඔහු එහිදී විස්තර කරනවා.

කොළොන්නාව ප්‍රදේශය මූලික කර ගනිමින් 80 දශකයේ ආරම්භයේ පමණ සිට දේශපාලනයේ යෙදුණු භාරත ලක්ෂ්මන් ශ්‍රීලනිපය තුළ යම් මට්ටමකට ප්‍රබල චරිතයක් වුවත්, ජාතික මට්ටමේ අවධානයට ඔහු වැඩිපුර ලක්වූයේ යැයි පැවසීම අසීරුය. එසේ වුව ඔහුගේ ඝාතනයෙන් පසුව ගතවූ මාස 7 ක පමණ කාලය තුළ ඔහුගේ දියණිය, සිය පියා ඉක්මවා යමින් ජාතික මට්ටමේ අවධානයක් ලබන්නේ චම්පිකගේ වචනවලින් කියන්නේ නම් "මාධ්‍ය බුබුළක්" ලෙස මාධ්‍යයේ අවධානය ලබා ගන්නට සමත්වීම නිසාය.


ඒ එසේ වුව සුරූපී බව පමණක් සුදුසුකම් කරගත් අනර්කලී ආකර්ශා සහ උපේක්ෂා ස්වර්ණමාලී වැනි වර්තමාන "දේශපාලන නායිකාවන්" දෙස බලන විට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිටින්නේ ගව් ගණනක් ඉදිරියෙනි. ජනතා ආකර්ශනයට ඉවහල් වන "රූමත්කමට" අමතරව උගත්කමද දේශපාලනික දැනුමද කථිකත්වයද නිර්භීතකමද ආදී නායකත්ව සුදුසුකම් ප්‍රමාණවත් මට්ටමකින් තමන්ට ඇති බව ඇය පසුගිය කෙටි කාලය තුල පෙන්නුම් කළාය. කාන්තා නියෝජනය ප්‍රමාණවත් මට්ටමක නැති දකුණු ආසියානු දේශපාලනය තර්කයක් කර ගනිමින් අනර්කලීගේ සහ "පබා"ගේ දේශපාලන නායකත්වයන් සාධාරණීකරණය කළ අයට, දැන් ඔවුන්ට වඩා ඒ සඳහා සුදුසුකම් ඇත්තියක් ලෙස හිරුණිකා පිළි ගැනීමට සිදුවෙයි.

ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීමකදී, ජනතා කෝපය ඇවිලෙන සිදුවීමකදී, "කල් මැරීමේ" උපක්‍රමයෙන්, සිදුවීම ජනතාවට අමතක වන තුරු සිටීම නිරන්තරයෙන් භාවිතා වෙන උපක්‍රමයයි. සිදුවීමෙන් කලකට පසුව එළියට බසින දේශපාලඥයා නැවත සුපුරුදු හැසිරීම අරඹයි. මර්වින් සිල්වා සම්බන්ධයෙන් කීප වරකදීම සාර්ථකව මේ ක්‍රමය අත්හදා බැලිණි.ඒ අර්ථයෙන් ගත්විට, ඇත්තෙන්ම මාස 7 කට පසුව භාරත ඝාතන සිදුවීම ජනතාවට අමතකව යා යුතුව තිබුණකි.නමුත් එය එසේ නොවී ඇත්තේ හිරුණිකාගේ නිරන්තර හඬ නැඟීම නිසාය. එසේ නොවුනේ නම්, දුමින්ද සිල්වාට මේ වනවිට සිංගප්පූරුවේ සිට පැමිණ නැවත සුපුරුදු සෙල්ලම් පෑමට සහ නියෝජ්‍ය ඇමති ධූරයකින් පිදුම් ලැබීමටද අවස්ථාව සැකසී හමාරය. නමුත් මේ " නාහෙට නාහන" කෙල්ල නිසා එයට තවත් " කාලය" අවශ්‍යය වනු ඇත.


ඇගේ අනාගත දේශපාලන භූමිකාව තීරණය වනු ඇත්තේ භාරත නඩුවේ තීන්දුව මතය. ඇගේ අරමුණ දුමින්ද සිල්වා දඬුවම් ලබනු දැකීම බව පැහැදිලිය.නමුත් එය එසේ වීමට ඇති ඉඩකඩ අඩු බව පෙනෙන්නට තිබෙන කාරණයයි. දුමින්ද සිල්වා මෙම නඩුවේ වග උත්තරකරුවෙක් ලෙස නම් කෙරුණේ නඩුව ඇරඹී මාස කීපයකට පසුව වන අතර මේ වනවිට ඔහුද මේ සිදුවීමෙන් අගතියට පත්වූවෙකු ලෙස නම් කෙරී ඇත.මෙවැනි සිදුවීම් වලින් පෙනෙන්නේ ඇය බලාපොරොත්තු වන මට්ටමේ තීන්දුවක් ලැබීමට ඇති ඉඩකඩ අවම වන බවය. එදිනට ඇය කරන්නේ කුමක්ද?

තම පියාට නීතියෙන් සාධාරණය ඉටු නොවුණහොත් ජනතාව සමඟ පාරට බසින බව ඇය ප්‍රකාශ කර තිබුණි. නමුත් උසාවි තීන්දුවකට එරෙහිව පාරට බැසීමෙන් කල හැකි කෙංගෙඩියක් නැත.

ඇගේ එකම දේශපාලන ප්‍රකාශනය, පියාගේ ඝාතනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා පෙනී සිටීම පමණක්ම නම්, ඇයට ජනතාව සමඟ යා හැකි දේශපාලන ගමනක් නැත. මේ වෙනුවෙන් යම් හිතවතුන් කොටසක් ඇය සමඟ සිටිනු හැකි වුවද සාමාන්‍ය පොදු ජනතාව දිගින් දිගටම ඒ කාරණය වෙනුවෙන් ඈ පසුපස ඒ යැයි සිතිය නොහැක.

එක්කෝ ඇයට වන්නේ නිහඬ වීමටය. ඒ වෙනුවෙන් බොහෝ බලපෑම් දැනටමත් ඇයට එල්ල වනවා ඇත.තර්ජන, බිය ගැන්වීම් වලට අමතරව උපක්‍රමිකව ඇය නිහඬ කරලීමටද බොහෝ කටයුතු තිරයෙන් පසුපස ක්‍රියාත්මක නොවන්නට හේතුවක් නැත.දැනටමත් ඇගේ මව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තනතුරක් ලබාගෙන ඇත.මව සහ සොයුරා වෙනුවෙන් මෙය ඉවසීමට ඇයට සිදුව තිබේ. එබැවින් මව සහ සොයුරා වෙනුවෙන් නිහඬ වන්නටද ඇයට සිදු වුවහොත් එයට පුදුම වන්නට දෙයක් නැත.

අනෙක් අතට ශ්‍රීලමප ය හරහා දේශපාලන ගමනකට අවස්ථාව ලබාදීම මඟින් තමන්ට හානි නොවන තැනක ඇයව තබා ගැනීමද ආණ්ඩුව පැත්තෙන් හොඳ උපක්‍රමයකි. ඇය ලබන මාධ්‍ය අවධානය ක්‍රමයෙන් අහිමි වනදාට ඇගේ එම ගමනේ අවසානය උදාවනු ඇත.

එසේත් නැත්නම් ඇයට ඇති හොඳම විකල්පය කුමක්ද? ලැබූ ජනතා සහ මාධ්‍ය අවධානය උපයෝගී කර ගනිමින් වඩා පුළුල් දේශපාලන භූමිකාවකට ප්‍රවිශ්ට වන්නටය. ශ්‍රීලමප ය වැනි ආණ්ඩුවේ මුක්කුවකට එක්වීමෙන් ඇයට කළ හැකි කෙංගෙඩියක් නොමැති බව ඇය වටහා ගත යුතුව ඇත.


ඇයට වූ අසාධාරණය, රටේ නීතිය ක්‍රියාත්මක නොවීම ගැන හඬ නැඟූ ඇයට, එවන් හඬක් නැඟිය නොහැකි, එවන් සිවිල් බලයක් නොමැති අසාධාරණයට ලක්වූ අය වෙනුවෙනුත් හඬ නැඟිය හැකි නම්....හලාවත මියගිය ධීවරයාගේ දියණිය, සැමියා අතුරුදන්ව අසරණ වූ එක්නැලිගොඩ බිරිඳ ගැන ඇයට කථා කළ හැකිනම්.....පෞද්ගලිකව පමණක් නොව පොදුවේ අයුක්තියට, අසාධාරණයට, අවනීතිය රජ කිරීමට එරෙහිව හඬක් නැඟිය හැකිනම්....ඇය ධෛර්ය සම්පන්න, පුළුල් දැක්මක් ඇති දේශපාලන නායිකාවක ලෙස ජනතාව අතර පිළිගැනීමට ලක්වීම වැළැක්විය නොහැකි වනු ඇත...

10 comments:

  1. හොඳ පැහැදිලි විග්‍රහයක් , හිරුණිකා නෝන මහත්තයට හොඳ අවස්ථාවක් තියනව , නමුත් තමව ඒක සම්පූර්න පල ප්‍රයෝජනය ගන්න බවක් පේන්න නැහැ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුවා. මොකද කාලෙකින් ලිපියක් නැත්තේ? IPL නිසාද? :-)

      Delete
  2. "හිරුණිකාගේ සෙල්ලම් තව කොච්චර කාලෙකටද?" හිරුනිකා ගැන අසාධාරණ විවරණයක් [හිරුනිකා ගැන සාධාරණ විවරණයක් නොවේ.] අප රටේ (ශ්‍රී ලංකාවේ) විය යුත්තේ සිදු වුන හෝ සිදුවෙන අපරාධ උපහාසෙට භාජනය කිරීමක් හෝ අපරාධකාරයින් ආරක්ශාකිරිම නොව, එක හඩින් සියලු අපරාධ හෙළාදකිම සහ සාමුහිකව විසදුම සෙවීම. සියලු දෙනාට එක හා සමානව නිතිය ක්‍රියාත්මක කරවීමට රජයට බලකිරීම. අපරාධයක් උනා නම් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නිතිය කිරාත්මක නොවීම නිසා යමෙක් (හිරුනික) දේශපාලන හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගනී නම්, රටේ වැදගත් යුක්ති ගරුක පුරවැසියන් වශයෙන් අප කල යුත්තේ එම ක්‍රියාමාර්ග වලට සහය දීම විනා හැල්ලුවට පත් කිරීම නොවේ. හිරුනිකා තම පියාගේ මිනීමරුවාට දඩුවම් ලබාදීම සදහා නිතිය ක්‍රියාත්මක කරවීමට යම් ක්රියාම්රගයක් ගනී නම් අප එය අගය කල යුතුයි. හේතුව, අද හිරුනිකා ගේ ඒ වෑයම සමජ්ජලයට පත් වේනම්, හෙට අපට සිදුවන එවෙනි අපරාධයක් කදී, අපට වන්නේද හිරුනිකට අත් වූ ඉරණමමය. [පරණ හිංදි ෆිල්ම් වල සුලභ කථා තේමාවක් තමයි තම පියා මැරූ දුෂ්ටයාගෙන් පළිගැනීමට සටන් වදින වීරයාගේ කථාව.]

    ReplyDelete
    Replies
    1. ලිපියේ අරමුණ වූයේ පෞද්ගලිකව පමණක් නොව පොදුවේ ඇගේ හඬ මතුවේනම් ඇයට දිගු දේශපාලනයකට අවස්ථාව ඇති බව කීමය.සමච්චලයක් අදහස් නොකළෙමි. ලිපියෙන් එවන් දෙයක් හැඟවේනම් කණගාටුව ප්‍රකාශ කරමි.

      Delete
  3. හොද විග‍්රහයක්,අපි දකින දේට වඩා සෑලසුම් සහගත් ක්‍රියා වලියක් මේ ඝතන පිටු පස තියෙයි කියලා මට නම් හිතෙන්නේ,

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි අසංක."දකින දේට වඩා සෑලසුම් සහගත් ක්‍රියා වලියක් "..කියලා ඔබ අනුමාන කරන්නේ කුමක්ද?

      Delete
  4. දේශපාලන ලිපි වලට සාමාන්‍යයෙන් මා ප්‍රතිචාර නොදක්කුවද.. මෙම ලිපිය ලියා ඇති ආකාරය ඒ මාවතින් මා වෙනස් කරා..මේ රටේ නීච දේශපාලුවන්ගෙන් වල්මත්වී සිටින අපිට තරුණ බුද්ධිමත් කාලානුරුපි රටට සත්‍යවශයෙන්ම හිතැති දේශපාලකයන් අත්‍යවශ්‍යය.. අධ්‍යාපන සුදුසුකම්වලට මුල් තැන ලැබී දිගුකාලින ආර්ථික ඉලක්ක කරා සැලසුම් සදන දේශපාලනයක අවශ්‍යතාව අපට තදින් දැනේ.. හිරුනිකාගේ උත්සාහය තම පියාගේ මිනීමරුවන්ට දඩුවම් දීම පමණක්නම්.. මේ රටට සෙතක් වන්නේ නැත.. අරගලය අවශ්‍යවන්නේ සැබෑ චින්තනිය වෙනසකට මිස හුදු එක් අරමුණක් උදෙසා පමණක් නම් භාරත ලක්ෂ්මන් ගාතනයේ නඩු තින්දුවෙන් පසු හිරුනිකා කෙනෙකු සොයාගැනීමටත් අපහසු වනු ඇත. ..

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම ඔබත් සමඟ එකඟ වෙමි.උගත්, බුද්ධිමත්,වැඩක් කිරීමට උවමනාව ඇති, රටට හිතැති, අවංක, නායකත්ව ගුණාංග ඇති, තරුණ පිරිස් මේ රටේ හිඟ නැත. අවශ්‍ය වන්නේ ඔවුන් ඉදිරියට පැමිණීමයි.

      Delete
  5. හිරුණිකා කියන්නෙ තාත්ත දේශපාලකයෙකු අතින් ඝාතනය වුන තවත් එක් කාන්තාවක් පමණි. විශේෂත්වය වන්නේ ඇගේ පියා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම පමණි. මින් පෙර ඝාතනය වූ පියවරුන්ටත් දරුවන්ටත් යුක්තිය ඉටුවූයේ නැතිබව ඉතිහාසය සාක්ෂි දරයි. හිරුනිකා සම්බන්ධයෙන්ද එය එසේ වේ යයි කීමට කල් වැඩි වුවත් එය එසේ නොවේ යයි කීමටද නොහැකිය. ඔබ සදහන් කර ඇති පරිදි අනර්කලීටත් පබාටත් වඩා ඇය ඉදිරියෙන් සිටියා වුවද අනර්කලී හෝ පබා ලෙස ගග පහලට නොව ඉහලට පිහිණීම පහසු නැත. අනෙක් අතට පියාගේ දේශපාලන පක්ෂයෙන් ඉවත්වී (පවතින ආණ්ඩුවට එරෙහිව) වෙනම ගමනක් යෘමට තීරණය ගැනීමට පෙර වත්මන් ආණ්ඩුවෙන් ලබාගත හැකි උපරිම දේ ගැනීමට තිබුනේ යයි මගේ අදහසය.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි රාජ්."ආණ්ඩුවෙන් ලබාගත හැකි උපරිම දේ"..යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්දැයි මඳක් පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete

මේ ඇරැයුම ඔබේ අදහස්වලට....

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters