Tuesday, July 31, 2012

අපි විජය මැරුවේ ඇයි?...ලයනල් රණසිංහගේ පාපෝච්චාරණය...!




කලින් ලිපිය මා ලිව්වේ විජය කුමාරතුංගයන්ගේ ගීත ගැන. විශේෂයෙන්ම ඔහුගේ "වේදනා" නම් වූ සුවිශේෂි කැසට් පටය ගැන. මේ ගැන රාජ්ගේ නවාතැන ලියන රාජ් සහෝදරයාත් ලිපියක් ලියා තිබුනා මගේ ලිපිය ගැනත් සඳහන් කරමින්. ඒ වෙනුවෙන් රාජ් ට මගේ ස්තූතිය.

විජය කුමාරතුංග කියන්නේ සුවිශේෂි චරිතයක්. නළුවෙක්, ගායකයෙක්, දේශපාලඥයෙක් විතරක් නෙමෙයි සැබෑ මිනිස්කම්වලින් පිරි සුන්දර මිනිසෙක් ලෙසත්. ඒ මිනිස්කම හුදු මාධ්‍ය ප්‍රතිරූපයක් නොවෙන බව පැහැදිලි වෙනවා; අපේ රටේ සිටින විශිෂ්ටතම කලාකරුවන් ඔහුගේ මරණයෙන් කම්පිතව ඔහු ගැන ගීත පවා නිර්මාණය කර තිබීමෙන්.

අමරදේව විජය ගැන ගැයූ ගීතය..

මධුර ගායන- චතුර රංගන
නිසඟ පිළිවන්- වාසනා යුත්

විජය සබඳිනි- ගයමි ගුණ ගී
ඔබේ මනු ගුණ- බැතින් සමරමි...

එඩ්වඩ් ජයකොඩි ගායනා කරන "මිතුරේ" ගීතය ලියවී ඇත්තේද විජය වෙනුවෙන්.

මෙවන් අවංක, නිරායාස ගෞරවයක් දිනාගත් අයෙක් ලංකාවේ තවත් සිටියේද?

---------------------------------------------------------------

ඔහුගේ මරණය 80 දශකයේ අග භාගයේ ලාංකේය සමාජය හෙල්ලුම් කැවූ ඝාතනයක්. නාරාහේන්පිට, පොල්හේන්ගොඩ ඔහුගේ නිවස ඉදිරිපිටදී ඔහුට වෙඩිතබා ඝාතනය කරන්නේ 88 පෙබරවාරි 16 දා. ඝාතනය සම්බන්ධව අදටත් බොහෝ වාද විවාද/ මති මතාන්තර තියෙනවා.

මේ වෙඩි තැබූ T-56 තුවක්කුව ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ යැයිද මේ ඝාතනයට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි ද  කියවෙනවා.

මේ සම්බන්ධව රහස් පොලීසිය අත් අඩංගුවට ගත් ලයනල් රණසිංහ හෙවත් ගාමිණී නමැති ජේ.වී.පී. සාමාජිකයා පිටු 141 ක කට උත්තරයක් රහස් පොලීසියට ලබාදී තිබුනා.

මේ එම කට උත්තරයෙන් උපුටා ගත් කොටස්...



""අපි විජය මරා දමන්න සැලසුම් කළේ පිළියන්දල, දම්පේ තියෙන "San Michele" හෝටලයේදී. එදා ඒ හමුවට දේශ විමුක්ති ජනතා ව්‍යාපාරයේ කොලඹ දිස්ත්‍රීක් නායක ජයන්තත් JVP සාමාජිකයන් වන හේරත් සහ අසෝකත් මමත් සහභාගි වුණා. හෝටලයේ එළිමහනේ "cabana"එකක් යට ඉඳගෙන Coca-cola බොමින් අපි විජයගේ මරණය සැලසුම් කළා...."

"ජයන්ත මට සහ හේරත්ට කිව්වා අපට විශේෂ වැඩක් පැවරීමට තියෙනවා කියලා.ඔහු කිව්වා; විජය කුමාරතුංග ඉවත් කිරීමට තියෙනවා කියලා. ඒකට හේතුව විදිහට ජයන්ත කිව්වේ විජය ඉන්දු ලංකා සාම ගිවිසුමටත් පළාත් සභා ක්‍රමයටත් සහාය දැක්වීමයි"

-----------

"අපි නිවස ඉදිරිපිට පාරට වී බලා ඉන්න විට විජය ගෙදරින් එළියට ආවා. ඔහු එළියට ඇවිත් gate එක ලඟ කෙනෙක් එක්ක කථා කරන්න පටන් ගත්තා.ඔහු හිටියේ අපට පිටුපාලා. මමයි, හේරතුයි bike එකට නැංගා. මම bag එක ඇරලා gun එක අතට ගත්තා.

හේරත් bike එක නැවැත්තුවා විජයට යාර 20 ක් විතර දුරින්. විජය හිටගෙන හිටියේ gate එක ලඟ, අපට පිටුපාලා, අර මනුස්සයාට කථා කරමින්. මම විජයට පිටුපසින් වෙඩි දෙකක් තිබ්බා bike එකේම ඉඳගෙන. ඔහු ඇදන් වැටුණා. මම bike එකෙන් බැහැලා ඔහු ලඟටම ගිහින්, ඔහුගේ ඔලුවට වෙඩි පිට වෙඩි ගණනාවක් තිබ්බා.............................................................!!!!



Wednesday, July 18, 2012

වළාකුළකින් මුවාකළ හිරු හෙවත්....විජය කුමාරතුංග නම් වූ ගායකයා....






දවසක් ගොම්මන් වෙලාවේ...
මං අහුවුණා නා කපන වරුසාවකට...
දර කෝටු ටිකකුත් ඉනේ තියන්...
ළිඳක් ගාව තනිවුණු අම්මා කෙනෙක් මං දැක්කා..
ඇගේ මූණේ තිබුණා මහා දුක්බර ගතියක්.....
මොනවද ඈ හිතන්නේ...
මේ ඈ හිතන දේවල් වෙන්න ඇති කියලා මට හිතිච්ච හැටි...


වියූ පැදුර ගෙයි මිදුලේ....
ළිඳ ගාවයි වතුර කළේ...
තවම කැළේ දර උකුළේ...වහිනවා වැහී...
පුතා ගෙයි නිදී....පැල තෙමෙනවා ඇතී...
අහස ගුගුරුවා....
වහිනවා වැහී....
                                                ගීතය මෙතනින්.



එය අපූරු කටහඬක්. අතිශයින් විරල මෙන්ම පෞර්ෂයෙන් පිරුණක්; එහි අයිතිකරු වාගේම.




ජේ.ආර් යුගයේදී විජය නිකුත් කළ " වේදනා " කැසට් පටය සුවිශේෂයි. එය ගැයෙන්නේ කපුගේ ගේ "කම්පන" සහ නන්දා ගේ " පවන" ට කලින්. ලංකාවේ මුල්ම දේශපාලන විරෝධාකල්ප ගීත කැසට් පටය දැයි මා  දන්නේ නැහැ. සුනිල් ආරියරත්න ලියූ කපුගේ සංගීතවත් කළ මේ ගීතය අදටත් ජනප්‍රියයි.


දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්...
අළුගෝසුවනේ එල්ලාපන්....

අළුගෝසුවනේ එල්ලාපන්..
කටු ඉඹුලේ අප එල්ලාපන්...











මා දන්නා තරමින් මේ කැසට් පටය නිකුත් වුණේ 80 දශකයේ මුල් භාගයේ. උගත්, රැකියා විරහිත, සමාජ අසාධාරණයට ලක්වූ ලාංකේය තරුණ පරපුරේ අසහනය ගැන සමාජයට පෙන්වා දුන් මේ නිර්මාණ බිහිවුණේ ඒ අසහනය මෝරා පුපුරා යෑමට බොහෝ කලකට පෙර. නමුත් ඒ ගැන සමාජයේ හෝ පාලක පන්තියේ අවධානයට ලක් වූයේ නැහැ ඒ අසහනය පුපුරා යන තෙක්ම. වඩාත් අවාසනාව ඔහුද ඒ පුපුරා යාමේ ගොදුරක් වීම...

වහලේ යටලීයේ....
එල්ලී මිය ගිය මගේ මලේ..
මළේ කිමද නුඹ දනිමි මලේ...

බලය වෙනුවෙන් මුළු මහත් රටම අවුලට ඇද දමා,අද දවසේදී ගාලු මුවදොර පිටියේ පිළිම වෙමින්, උපන් බිමට පිටුපා මහ සයුර දෙස බලා හිඳින්නේ ඇත්තටම "වීරයන්ද"??? සුනිල් ආරියරත්නයන්ගේ චින්තනය විජය ගේ ගැඹුරු හඬින්...


උපන් බිමට පිටුපා..
කෞතුක මන්දිරයක මිදුලට බැස...
මහ සමුදුර වෙත දෑස යොමාගෙන...
සිටිනා වීරයිනේ....
නුඹය මෙදා අප විඳිනා ගැහැටට....
වග උත්තර කරුවෝ...

ගමේ වෙසෙන පෙම්වතිය ගැන කොළඹ රැකියාවකට පැමිණි තරුණයාගේ සිතුවිලි ගීයකට නැගුණු අපූරුව..


පාළු රැයකදි මුහුදු වෙරළේ...
තනිව හිඳිනා විට ඔහේ..
අහස මුදුනට සඳ ඇවිත් මට..
කියයි ඔබ ගැන කොඳුරලා...

කඳුකරේ සිටිනා මගේ පෙම්...
මිහිරියාවිය සිහිවෙලා..
කොළඹ නගරය හනික හැරදා...
එන්න හිතෙනවා පියඹලා....



වෙනස් ආකාරයේ මව් ගුණ ගීයක්...

තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න..
මගෙ රත්තරන් අම්මේ..
මං පඩි අරන් අද හෙට එනතුරු ගමට...
තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට...

පියෙකුගේ, සැමියෙකුගේ දයාබර සිතුවිලි....


කවුළුව අතරින් හිරිපොද එනවා...
පොල් අතු වහළින් පිණි බේරෙනවා..
සොඳුරිය මාගේ පුංචි පුතා මා...
උකුලෙ හොවා නළවනවා...



රට සල්ලි සොයා මැද පෙරදිග ගිය ශ්‍රමිකයන්ගේ ජීවන ගීතය....

වළාකුළක් ගෙන මුවා කරමු හිරු..
ගිනිගෙන වියරුව නළියන වැලි කතරේ...
රත්වුණු වැලිකැට පුපුරණ...
මැද පෙරදිග මරු කතරේ....






"සහරාවේ සිහිනය" චිත්‍රපටයට ගැයුණු මේ ගීයට ඔහුට එම වසරේදී හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සම්මානය හිමිවුණා.


ඔරු කඳ පාවී...දියඹට යාවී..
.සීතල මාරුතයේ.....

රළ පෙරලී විසිරී පාවී යාවී....
සිතුවිලි සාගරයේ...





දිවිපෙවත සරි කර ගැනීමට දිවි පරදුවට තබා මුහුදට යන ධීවර සොයුරන් ගැන දයාවෙන් ගැයුණක්..


නමුත් ධීවරයන් ගැන ගැයුණු  ගීත අතර ඉහළම ජනප්‍රියත්වය දිනාගත්තේ මේ ගීය.......

රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ...
යන්නම් දියඹට රෑ යාමේ....

අඹු දරුවෝ මා දෙවියො රකීවා...
එනතුරු මා උදේ මා...

                                                                                 


මෙය ගැයුණේ ගැල්කරුවන් ගැන...

මිණි කිංකිණි හඬ පරදා....
මේ ගැල් ගමනේ....
කළුවර කතරේ...
කඳු වැටි මානේ...
දුක් ගිනි රාවේ සවනත පෑවේ...
සුදු මැණිකේ...

                                                    ගීතය මෙතනින්.



ගඟ අද්දර ච්ත්‍රපටයට විජය ගැයූ මේ ගීයේ, වසන්ති චතුරානි සමඟ විජය රඟන රූප රාමු බොහෝ දෙනෙකුට මතක ඇති....

ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී...
හද සන්තක විය අනුහස් ආසිරි ගී...
ඔබ හමුවේ මා...
මුව ගොළු වූවා...

                                                    ගීතය මෙතනින්.



විජයගේ හඬට එක්වූ චන්ද්‍රලේඛාගේ හඬ මවන සෞන්දර්ය....


සැරයටියෙන් අපි යනෙන තුරා...
සංසාරේ අපි එකට ඉමු..
සංසාරෙන් අපි සමු ගන්නා දා..
ඒ ගමනත් අපි එකට යමු...

                                                        ගීතය මෙතනින්.


පායා සීත රැයේ, රූස්ස ගහ ලඟ, දේවදාර ගස් අතරින්... විජයගේ කටහඬින් ගැයුණු තවත් සුන්දර ගීත කීපයක්......





ලාංකේය සමාජයේ මෑත ඉතිහාසයේ ජීවත් වූ අසීමාන්තික ජන ප්‍රසාදය දිනූ මිනිසාගේ  කටහඬින්, ගායන කෞශල්‍යයෙන් නිමැවුණු ගී වල සෞන්දර්ය  සහ රස මිහිර හඳුනන්නෙක්ද ඔබත්? එසේනම් මේ ඇරැයුම "විජය ගීත" ගැන ඔබේ අදහස්වලට...

Thursday, July 5, 2012

කමල් අද්දරආරච්චි.... නැවතත්....!



උන්මාද වූ ප්‍රේමාදරේ....සමනල වසන්ත යව්වනයේ.....
සංසාරයේ සුභ ප්‍රාර්ථනා...ඉඳුනිල් දෙනයන සටහන් වේ......





සංගීතා වීරරත්න රඟන්නී ඔහු සමඟිනි. දමයන්ති ජයසූරිය ගයන්නී ද ඔහු සමඟිනි."සප්ත කන්‍යා" චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වූ මේ ගීය සිය ආකර්ශනීය රංගනයෙන් හා හැඟීම්බර කටහඬෙන් රස ගැන්වූයේ ඔහුයි.

 එච්.ඩී.ප්‍රේමරත්නගේ "සප්ත කන්‍යා" 90 දශකයේ ලාංකේය සිනමාවේ ආකර්ශනීයම චිත්‍රපටයක්.එහි අනෙක් ගීතය, රූකාන්ත ගයන "සුවඳ දැනී දැනී දැනෙනවා" හි ජනප්‍රියතාව ද අදට ද අඩුවී නැහැ. සප්ත කන්‍යා හි කමල්ගේ රංගනය ඔහුගේ ආකර්ශනීයම රංගනයන්ගෙන් එකක්.  

------------------------------------------------------------------


"සඳකැන් දහරින්  දෙනුවන් පිරිලා...
දෙනුවන් කැළුමෙන්  පියුමන් සැලිලා"....





ඒ "වෙද හාමිනේ". විස්මයජනක දේශීය වෛද්‍ය ක්‍රමය පසුබිම් කරගෙන ජයන්ත චන්ද්‍රසිරි මැවූ රූපවාහිනී වික්‍රමය...

.ලේ පිළිකාවවක් වැළඳෙන ධනවත් තරුණ ව්‍යාපාරිකයා..ඔහු අතින් අනාථ වන සහ අමතක කර දැමෙන වෙද මහතාගේ තරුණ දියණිය..දෛවයේ සරදමින් ලේ පිළිකාව ඔහුගේ පුත්‍රයාටද වැළඳුන විට........
අන් කවර පිහිටද? සොයා යනු හැර ...ඒ අනාථ කර අමතක කර දැමුණු වෙද හාමිනේවම....

ප්‍රේමය අභියස අප්‍රමාණ සුන්දරත්වයකින් විකසිත විය හැකිව තිබූ මනුෂ්‍ය ආත්මයක්,එකී ප්‍රේමයේම උහුලාගත නොහැකි පරිපූර්ණ පෞර්ෂය අභියස දැවී යන ආකාරය රූපවාහිනි තිරයේ මැවූ "වෙද හාමිනේ", ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ මහරු මිණක්."වෙද හාමිනේ" කොතරම් අපූරු සිනමා නිර්මාණයක් කරන්නට තිබුණි දැයි මට හිතෙනවා.

 ගුනේන්ද්‍ර නම් ධනවතාද දීමන්ත නම් ඔහුගේ පුත්‍රයාද ලෙසින් ද්විත්ව චරිත රඟපෑ කමල්ගේ  ප්‍රබල රංගන  "වෙද හාමිනේ" හි සාර්ථකත්වයේ ප්‍රබල සාධකයක්.

------------------------------------------------------------------




දේශීය අංගම්පොර නම් සටන් ක්‍රමය පසුබිම් කර ගනිමින් ජයන්ත චන්ද්‍රසිරි ලාංකේය රූපවාහිනි ප්‍රේක්ශකයා අමන්දානන්දයට පත්කළ අනෙක් නිර්මාණය "දඬුබස්නාමානය". අසරණ, අහිංසක, ගුටි කන කොලු ගැටයෙකුගේ සිට, එල්ලවන අනේකවිධ අභියෝග හමුවේ, ප්‍රබල අංගම්පොර සටන් කරුවෙක් දක්වා වර්ධනය වන " රනා" ගේ චරිතය..කමල් අද්දරආරච්චි නම් විශිෂ්ට  රංගධරයාගේ තවත් සුවිශේෂි රංගනයක්.

--------------------------------------------------------------------




  2005 දී තිරගත  වූ ජයන්ත චන්ද්‍රසිරිගේ  "ගරිල්ලා මාකටිං" ....

දේශීයත්වයේ මුල් සිඳගත්, විදෙස් ගැති ,"බෙර ෆෝබියාවෙන්" පෙළෙන "ග්‍රෙගරි මහාධිකාරම්" ලාට දේශීය සළුපිළි පළන්දන ගරිල්ලා මාකටිං ව්‍යාපාරය මෙහෙයවන නිර්මාණශීලී තරුණයා "තිසර"..

.කමල්ගේ තවත් මා අගය කරන රංගනයක්.  


------------------------------------------------------------------------


"මේ රාත්‍රිය ප්‍රදීප් ගෙද? ....ඔහු අතුරු සිදුරු නැතිව පිරී උන් ප්‍රේක්ශකාගාරයෙන් අසයි.මහා ප්‍රතිචාරයකි. අනෙක් පස හැරෙන ඔහු නැවත අසයි. " මේ රාත්‍රිය සුරේන්ද්‍ර ගේද" නැවත මහා ප්‍රතිචාරයකි. වේදිකාව ඉදිරිපසට හැරෙන ඔහු නැවත ප්‍රශ්න කරයි." මේ රාත්‍රිය කමල් ගේද?"

මා සිතන්නේ ඒ රාත්‍රිය ඔහුගේ බවයි.

 ඇත්තෙන්ම මුළු රටම ඒ වැඩසටහනට ආකර්ශනය කරගත් සැබෑම සුපිරි තරුව ඔහුයි.සමස්ථ ප්‍රේක්ශකයා තුළ කුතුහලය උපරිමයෙන් මවමින්.නවතම නිවේදන රටාවක් හඳුන්වා දුන්නේ අලුතෙන් නිවේදන කලාවට අතගැසූ මේ දක්ෂ මිනිසා.(ඉන්පසු බොහෝ රියැලටි නිවේදක, නිවේදිකාවෝ ඔහුව අනුකරණ‍ය කරමින් කුතුහලය මතුකිරීමට දැරූ උත්සහයන්ගෙන් මතුවුනේ කුතුහලයට වඩා හාස්‍යය.).

--------------------------------------------------------------------


 ඔහු සිනමාවට පිවිසෙන්නේ 1982 දී " සාගරයක් මැද " චිත්‍රපටයෙන්.

 "හිරුට මුවාවෙන්" හෙවත් "ඉඳි ආප්ප කථාව" ........ "රතු රෝස" ....යනු අමතක කළ නොහැකි , අතිශයින් ජනප්‍රියත්වය දිනූ ඔහු රඟපෑ ටෙලි නාට්‍යය.... 

සත් වසරකට පසු .කමල් අද්දරආරච්චි නැවතත් සිනමා නිර්මාණයකින් අප හමුවට එන බව කියවෙන්නේ,
 වියපත් සිත්තරෙකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධි දාමයක්
ඇතුළත් යැයි සඳහන් Colour  නම් වූ චිත්‍රපටයෙන්..

හිරුට මුවාවෙන් හි දඟකාර තරුණ්‍යය මැවූ කමල් .Colour හි වියපත් සිත්තරෙක් වන සැටි දකින්නට අපි බලා හිඳිමු.


.


Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters