Showing posts with label ආගම. Show all posts
Showing posts with label ආගම. Show all posts

Tuesday, March 19, 2013

ඇත්ත සිදුහත්....!!!





බුදු දහම නිදහස් චින්තනය අගය කරන දර්ශනයක්.විශ්වාසයෙන් යුතුව ඇදහීමකට වඩා කරුණු නුවණින් විමසා බැලීමට මඟ පෙන්වන්නක්.නමුත් බෞද්ධ වූ පමණින් සෑම කෙනෙක්ම මේ නිදහස් චින්තනයට හුරුවක් නැහැ. සාම්ප්‍රදායිකව එන දෙය ඒ ලෙසටම බාරගන්න අය වැඩියි, තමන් විසින්ම නුවණින් විමසා බලන්න පෙළඹෙන අයට වඩා.

සිදුහත් චරිතය සහ බුද්ධ චරිතය හැදෑරීම කෙනෙකුට විශාල බුද්ධිමය ආස්වාදයක්,ජීවිත අවබෝධයක්, ආදර්ශයක් ගෙනදෙන කාර්යයක්.නමුත් පොත් පත්වල ඇති මේ චරිත කථාවල අඩුපාඩු ගොඩක් තියෙනවා. භක්තිය විසින් එකතු කළ සාහිත්‍යමය කොටස් වලින් නියම චරිත කථාව වැසී ගිහින්. යථාර්තවාදීව සිදුහත් චරිතය දිහා බලන්න, හදාරන්න එය බාධාවක්.

සැබෑවටම සිද්ධාර්ථ ගේ ජීවිත කථාව කෙබඳු වන්නට ඇත්ද? මාටින් වික්‍රමසිංහයන් සිදුහත් චරිතය  නවකථාවකට නැඟුවා. ඒ "බවතරණය". එය නිර්මාණයක්. පැරණි පොත පතේ සඳහන් දේ හදාරා ඒ අනුවත් සිය පරිකල්පනයෙන් මැවූ සිදුවීම් ඇසුරිනුත් වඩා යථාර්තවාදී සිදුහත් චරිතයක්   මාටින් වික්‍රමසිංහයන් විසින් "බවතරණයෙන්" අප වෙත ගෙන එනවා.

මෙය ලියැවී ඇත්තේ 1973 දී. මාටින් වික්‍රමසිංහයන්ගේ අවසන් නවකථාව.ඔහුගේ ලේඛක ජීවිතයේ වඩාත් පරිණත අවදියකදී තමයි ඔහු මේ බැරෑරුම් කාර්යයට අත ගසන්නේ.



මේ මාටින් වික්‍රමසිංහයන් ලියූ පෙරවදනින්...

"රහත් බව ලැබූ තෙරුන් අතර කැත්, බමුණු කුලවල ජනයා පමණක් නොව සැඬොලුන්, දාසයන් හා අපරාධකාරයන්ද වූ බව ථෙර ගාථාවලින් හා සූත්‍ර දේශනාවලින් හෙළිවෙයි. බුදුන්ගේ දහම නිසා පොදු ජනකාය අතර පිබිදුමක් හා විප්ලවයක්ද ඇතිවිය. සිදුහත් ගිහිගෙය හැරගියේ උපත,ජරාව, මරණය නිසා හටගත් කළකිරීමෙන් තමාගේ ආත්මය ගලවා ගැනීමට නොවන බව එයින් හෙළිවෙයි.කුලබේදය හා අසමාන සමාජ ජීවිතය ද නිසා අපමණ දුක් පීඩා විඳිමින් ජීවත්වන ජනකායට එකසේ උචිත මාර්ගයක් සොයනු පිණිස සිදුහත් ගිහිගෙය හැරගිය බවද මේ නවකථාවෙන් හෙළි කරන්නට මම වෑයම් කළෙමි."


------------------------------------------------------------------


මේ නිර්මාණයේදී යසෝදරා සහ සිදුහත් අතර වන අවබෝධය වඩාත් ගැඹුරු දෘෂ්ටියකින් විවරණය වෙනවා.

යසෝදරා නින්දෙන් අවදි වූ රහල් කුමරා වඩාගෙන සිප අනතුරුව කුඩා මවගේ දෝතෙහි තැබුවාය.

"පියා පුතාත් අම්මාත් හැර වල් වදින්ට යනවා" යි කියමින් ගෝතමී, සිනාසෙන බිළිඳාගේ කම්මුල සිම්බාය.


"පුතා ටිකක් ලොකු නම් පුතාත් එක්ක මමත් පියා සමඟ තපසට යනවා" කියමින් යසෝදරා සිනාසුණාය.

"අම්මා තමයි පියාට අනුබල දෙන්නේ" කියමින් ගෝතමී යසෝදරාව දෙස බැලුවේ අමනාපයෙනි.

"කුඩම්මා සිදුහත් සමඟ තුන් හතර දවසක් කථා කළහොත් ඔය අදහස් වෙනස් කරගනීවි" යි යසෝදරා කීවාය.


----------------------------------------------------------------------------

  අකුරැටියේ අමරවංශ හිමියන් පොත වෙනුවෙන් ලියූ පසුවදන...

"සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසී භාෂාවලින් ලියූ බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹු වන අයුරු ලියා තිබීම ආශ්චර්යජනකය.
         බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්ටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින් සුදුසුය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන් ඇතිකළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නෙකුට උගත හැකිය."

----------------------------------------------------------------------------- 

අහසේ සක්මන් කරමින්, නාසයෙන් කටින් ඇඟෙන් ජල කඳ ගිනිකඳ පිට කිරීම් වැනි  සිදුවීම්වලින් බුදුන්වහන්සේගේ ජීවිත කථාව පුරවා උන් වහන්සේ දෙවියෙකු, ඊශ්වරයෙකු කරන්නට තැත්දැරීම උන් වහන්සේට කරන නිගාවක්. 

 වඩාත් යථාර්තවාදීව බුදුන් වහන්සේව හඳුනා ගැනීම, ඇදහීමෙන් ඔබ්බට ගොස්, එතුමන්ගේ දර්ශනය වඩාත් ගැඹුරින් හැදෑරීමට අපට පෙළඹවීමක් ඇති කරනවා.

 

Monday, October 29, 2012

ගෞතම බුදුනි..මේ ඔබ වෙනුවෙනි...!



පෝය දවසේ බුදුන් වහන්සේ ගැන කල්පනා වුණා.එතුමන්ගේ ඉගැන්වීම් තියරටිකලි ගත්තාම ඉතාම ඉහළයි  විතරක් නෙමෙයි; බුද්ධ චරිතය හදාරණ කොට අර තියරි ඔක්කෝම ප්‍රැක්ටිකලි ඔප්පු වෙනවා.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අතරින් මා කැමතිම ඉගැන්වීම තමයි "අටලෝ දහමින් කම්පා නොවන්න" කියන එක.මේක ඉගෙන ගත්තේ පොඩි කාලේ දහම් පාසලෙන් සහ ඉස්කෝලේ බුද්ධාගම පාඩමෙන්. ඒ කාලේනම් මේවා ඉගෙන ගෙන මතකයට ගත්තේ බුද්ධාගම විෂයට ඉහළ ලකුණු ගන්න.නමුත් මේ දර්ශනයේ අගය වැටහෙන්නේ සමාජයේ ජීවත් වෙනකොට..සතුට සේම දුකද ප්‍රශංසාවන් සේම නින්දාවන්ද උරුම ජීවිතය විඳිද්දී.

ඕනෑම දෙයක් නොසැලී දරාගන්න අවශ්‍ය පදනම ලබාදෙන දැනුමක් විදිහට, මේක මටනම් මාරයි...

නිකම් දේශනාව විතරක් නෙමෙයිනේ; බුද්ධ චරිතය ගත්තත් ඒක ප්‍රායෝගිකව පේන්න තියෙනවානේ. කොයි තරම් ශ්‍රේෂ්ට, විශිෂ්ට මනුස්සයෙක් වුණත් ගෞතමයන්ටත් කොයිතරම් නින්දා, අපහාස, දුක් කම්කටොළු විඳින්න වුනාද ;ගෞරවයන්, ප්‍රශංසාවන් වාගේම.නමුත් කිසිවකට නොසැලී, සන්සුන් මනසින් උන් වහන්සේ ඒවාට මුහුණ දුන් ආකාරය තම දේශනාවට ප්‍රායෝගික වටිනාකම එක් කළා. තියරි එක වාගේම ප්‍රැක්ටිකල් වලිනුත් බුදු හාමුදුරුවෝ මේ විෂන් එකේ අගය ඉහළින්ම පෙන්වා දුන්නා.

තවත් කැමතිම තැනක් තමයි කාලාම සූත්‍රය.

"කාලාමයෙනි, යමක් ඇසූ පමණින් හෝ පොත පතෙහි සඳහන් වන්නේ යැයි කියා හෝ මෙය මෙසේ වීයැයි කියා හෝ පරපුරෙන් පරපුරට නොනැසී, නොසිඳී පැවත ආවේ යයි කියා හෝ තර්කය හේතු කොටගෙන හෝ න්‍යාය හේතු කොටගෙන හෝ මේ අපගේ ශාස්තෘවරයා විසින් දේශන කරන ලද්දකැයි ගුරු ගෞරවයෙන් හෝ නොපිළි ගත යුතුය.

එය නුවණින් මෙනෙහි කර ස්වීය චින්තනයට යොමු කර සත්‍ය යයි තමන්ට වැටහෙන්නේ නම් පමණක් පිළිගත යුතුය"

පූර්ණ නිදහස් චින්තනය පිළිබඳ මෙවන් ඉගැන්වීමක් කොයි තරම් ශ්‍රේෂ්ටද? බෞද්ධ දර්ශනය හෝ විවේචනය කිරීමට, එරෙහිව තර්ක කිරීමට බාධා පමුණුවා නැහැ.

මෙහි අගය කොතරම් දැයි වැටහෙන්නේ නිදහස් චින්තනයට ඉඩක් නැති, ආගමික/දේශපාලනික දර්ශන ගැන සිතා බලන කොට.

සාගරයක් වගේ විශාල බෞද්ධ දර්ශනයේ කථා කළ යුතු තැන් අසීමිතයි.

ඒත් අදට මේ ඇති :)

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters