Sunday, October 21, 2012

"සංකාරා" ගෙනා ප්‍රසන්න ජයකොඩිගෙන් "කර්ම"...


ප්‍රසන්න ජයකොඩිගේ අලුත් සිනමා පටය පිළිබඳව ප්‍රචාරක පෝස්ටරයක් හදිස්සියේ නෙත ගැටුණි. ඉතින් "සංකාරා" මතකයට ඒම පිළිබඳව අමුතුවෙන් කිව යුතුද? අපූර්ව වූ රසයක් විඳි "සංකාරා" නිර්මාණය කළ ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයක් නම් නැරඹීමට දෙවරක් සිතිය යුතුද? එනිසාවෙන් අද හවස රීගල් සිනමා හලට ගොඩ වැදුනේ "කර්ම" විඳ ගන්නටය.




ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා ඉහළය."හොඳ සිංහල චිත්‍රපට" නරඹන්නට ඇත්තටම ලංකාවේ විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිති."සංකාරා" තුළින් ප්‍රසන්න ජයකොඩි ඇති කරගත් ප්‍රතිරූපය මෙයට ප්‍රේක්ෂකයන් ඇදගන්නට උත්තේජනයක් සපයන්නටද ඇත.

නමුත් මෙය ලියවෙන්නේ අසතුටෙනි. "කර්ම" නැරඹීමෙන් "හොඳ නිර්මාණයක් රස විඳීමේ" මගේ බලාපොරොත්තුව කඩවිය.[අවංකවම මෙය මගේ රස වින්දනයේ අඩුවක් විය හැක.තව කෙනෙකුට මෙය උසස් නිර්මාණයක් විය හැක. නමුත් මා ලියන්නේ මට හැඟුණු දෙයයි.]

මෙය "බලහත්කාරයෙන් සම්භාව්‍ය " කිරීමට තැත් දැරූ නිර්මාණයක් බවයි මටනම් හැඟුනේ. 




අඩු දෙබසින් යුතුව, රූප වලින් කථාව කීම ප්‍රසන්න ජයකොඩිගේ සිනමාව බව අපි "සංකාරා" හිදී අත් දැක්කෙමු.නමුත් එය මෙහිදී අපූර්වත්වය මවනු වෙනුවට "බොරු සම්භාව්‍ය" බවක් මවයි. 

මේ කථාව වුව ඇඟට දැනෙන ගතියක් නැත. අහසේ පාවෙන, හුදෙකලා, මුල් නැති, ඕපපාතික වැනි වදන්
භාවිතා වෙන්නේ මෙවන් නිර්මාණ වලට යැයි සිතමි.

නමුත් මෙය අගය කළ හැකි දෙයක් ඇත්තේම නැති වර්ගයේ චිත්‍රපටයක් නොවේ. නිර්මාණශීලී රූප රාමු, අපූර්වත්වයක් ගෙනෙයි. ආලෝකකරණයද,පසුතලද අගනේය.අලුත් නළු නිළියන් යොදාගැනීම අගය කළයුතුය.නමුත් විශේෂයෙන් අගය කළ හැකි මට්ටමේ රංගනයක් ගැන කිව නොහැක.[මිෂෙල් නම් ලස්සනය. එය වෙනම කථාවකි.:)] 

රූප රාමුවලින්ද, දෙබස් වලින්ද විටෙක "හඳගම" සිහිවෙයි.

ප්‍රසන්න ජයකොඩි සුවිශේෂි යමක් සිංහල සිනමාවට දායාද කළ හැකි නිර්මාණකරුවෙක් බවට සැකයක් නැත. තම මුල් නිර්මාණය "සංකාරා" තුලින් ඔහු එය ඕනෑවටත් වඩා ඔප්පු කළේය.විය යුත්තේ "සම්භාව්‍ය එක්ටැම් ගෙවල්" වලින් එළියට ඒමට හිත හදා ගැනීම පමණකි...!!

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters