කලින් ලිපිය මා ලිව්වේ විජය කුමාරතුංගයන්ගේ ගීත ගැන. විශේෂයෙන්ම ඔහුගේ "වේදනා" නම් වූ සුවිශේෂි කැසට් පටය ගැන. මේ ගැන රාජ්ගේ නවාතැන ලියන රාජ් සහෝදරයාත් ලිපියක් ලියා තිබුනා මගේ ලිපිය ගැනත් සඳහන් කරමින්. ඒ වෙනුවෙන් රාජ් ට මගේ ස්තූතිය.
විජය කුමාරතුංග කියන්නේ සුවිශේෂි චරිතයක්. නළුවෙක්, ගායකයෙක්, දේශපාලඥයෙක් විතරක් නෙමෙයි සැබෑ මිනිස්කම්වලින් පිරි සුන්දර මිනිසෙක් ලෙසත්. ඒ මිනිස්කම හුදු මාධ්‍ය ප්‍රතිරූපයක් නොවෙන බව පැහැදිලි වෙනවා; අපේ රටේ සිටින විශිෂ්ටතම කලාකරුවන් ඔහුගේ මරණයෙන් කම්පිතව ඔහු ගැන ගීත පවා නිර්මාණය කර තිබීමෙන්.
අමරදේව විජය ගැන ගැයූ ගීතය..
මධුර ගායන- චතුර රංගන
නිසඟ පිළිවන්- වාසනා යුත්
විජය සබඳිනි- ගයමි ගුණ ගී
ඔබේ මනු ගුණ- බැතින් සමරමි...
එඩ්වඩ් ජයකොඩි ගායනා කරන "මිතුරේ" ගීතය ලියවී ඇත්තේද විජය වෙනුවෙන්.
මෙවන් අවංක, නිරායාස ගෞරවයක් දිනාගත් අයෙක් ලංකාවේ තවත් සිටියේද?
---------------------------------------------------------------
ඔහුගේ මරණය 80 දශකයේ අග භාගයේ ලාංකේය සමාජය හෙල්ලුම් කැවූ ඝාතනයක්. නාරාහේන්පිට, පොල්හේන්ගොඩ ඔහුගේ නිවස ඉදිරිපිටදී ඔහුට වෙඩිතබා ඝාතනය කරන්නේ 88 පෙබරවාරි 16 දා. ඝාතනය සම්බන්ධව අදටත් බොහෝ වාද විවාද/ මති මතාන්තර තියෙනවා.
මේ වෙඩි තැබූ T-56 තුවක්කුව ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ යැයිද මේ ඝාතනයට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි ද කියවෙනවා.
මේ සම්බන්ධව රහස් පොලීසිය අත් අඩංගුවට ගත් ලයනල් රණසිංහ හෙවත් ගාමිණී නමැති ජේ.වී.පී. සාමාජිකයා පිටු 141 ක කට උත්තරයක් රහස් පොලීසියට ලබාදී තිබුනා.
මේ එම කට උත්තරයෙන් උපුටා ගත් කොටස්...
""අපි විජය මරා දමන්න සැලසුම් කළේ පිළියන්දල, දම්පේ තියෙන "San Michele" හෝටලයේදී. එදා ඒ හමුවට දේශ විමුක්ති ජනතා ව්‍යාපාරයේ කොලඹ දිස්ත්‍රීක් නායක ජයන්තත් JVP සාමාජිකයන් වන හේරත් සහ අසෝකත් මමත් සහභාගි වුණා. හෝටලයේ එළිමහනේ "cabana"එකක් යට ඉඳගෙන Coca-cola බොමින් අපි විජයගේ මරණය සැලසුම් කළා...."
"ජයන්ත මට සහ හේරත්ට කිව්වා අපට විශේෂ වැඩක් පැවරීමට තියෙනවා කියලා.ඔහු කිව්වා; විජය කුමාරතුංග ඉවත් කිරීමට තියෙනවා කියලා. ඒකට හේතුව විදිහට ජයන්ත කිව්වේ විජය ඉන්දු ලංකා සාම ගිවිසුමටත් පළාත් සභා ක්‍රමයටත් සහාය දැක්වීමයි"
-----------
"අපි නිවස ඉදිරිපිට පාරට වී බලා ඉන්න විට විජය ගෙදරින් එළියට ආවා. ඔහු එළියට ඇවිත් gate එක ලඟ කෙනෙක් එක්ක කථා කරන්න පටන් ගත්තා.ඔහු හිටියේ අපට පිටුපාලා. මමයි, හේරතුයි bike එකට නැංගා. මම bag එක ඇරලා gun එක අතට ගත්තා.
හේරත් bike එක නැවැත්තුවා විජයට යාර 20 ක් විතර දුරින්. විජය හිටගෙන හිටියේ gate එක ලඟ, අපට පිටුපාලා, අර මනුස්සයාට කථා කරමින්. මම විජයට පිටුපසින් වෙඩි දෙකක් තිබ්බා bike එකේම ඉඳගෙන. ඔහු ඇදන් වැටුණා. මම bike එකෙන් බැහැලා ඔහු ලඟටම ගිහින්, ඔහුගේ ඔලුවට වෙඩි පිට වෙඩි ගණනාවක් තිබ්බා.............................................................!!!!